වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




‘ටිප් ටොප්’ සිල්වා සිනමාවට හෙට සිට

‘ටිප් ටොප්’ සිල්වා සිනමාවට

හෙට සිට සතියකට මට රට බාර දෙන්න

‘අද මේ ඉන්න පුංචි සිඤ්ඤොලා වගේ නෙමෙයි මේ ටිප්ටොප්. මම ඇවිල්ලා 1947 ඉඳලා ඩී. එස්ලා, බණ්ඩාරනායකලත් එක්ක දේශපාලනය කරපු පොරක්. සතියකට මට රට භාර දුන්නොත් මං කොරලා පෙඤ්ඤංඤං. අරක්කු පොව පොවා කවාපියව් පාන් පිටි. හිස් මොළ නැති, කොන්ද පණ නැති උන් බිහි වන තරමට මුන්ට වාසියි. මට බලයක් ලැබුණොත් මුන්ගේ ඔළු ගෙඩි ගෝනි පඩංගුවල ඔතලා පැය විසි හතරක් පුරා අධෝ පක්ෂයට පයින් ගහන නීතියක් ගේනවා. කැපුවත් ලේ ඒ පාටයි, මේ පාටයි කියන්නේ අමු කෙබරයක් ඕයි. ඒක උන්ගේ පැවැත්මට හදා ගත්තු කෙබරයක් ඕයි . . .’

ටිප් ටොප් සිල්වාගේ ස්වරය ගලාගෙන ගියේ පැමිණ සිටි සියල්ලන් පුදුමයට පත් කරමිනි. ඔහුගේ කතාව ඇසූ එහි සිටි ජනයාගේ සිත්වල ඇති වූ අදහස් ඔවුන් කියා පෑවේ කසු කුසුවකිනි.

එමා සිය සැමියා වූ එලාරිස් දෙස හෙළුවේ විමසුම් සහගත බැල්මකි.

‘මේ මිනිහගේ උපන් ගති මමවත් වෙනස් කරන්න ඕන’

ඈ ඈටම පවසා ගත්තේ ඔහුගේ වැදි ගතිගුණ නිසා අපහසුතාවට පත් වන්නේ ඇය හෙයිනි. වැද්දෙකු මෙන් කිසිදු බියක් නැතිව එලාරිස් සතුන් මරන අයුරු ඇය බලා සිටියේ පිළිකුලෙනි. ඔහුට ආගමක දහමක නැඹුරුවක් නොවීය. අධ්‍යාපනයක් ද නොලත් මේ මිනිසාට ඇගේ සිත බැඳුණේ මන්දැයි එමා කල්පනා කළාය. ඔහුගේ අතීතය බොහෝ දුක්මුසුය. එලාරිස්ගේ ස්වභාවයට වගකිව යුත්තේ ඔහු විසූ ඒ සමාජයයි. ඔහු හැදුණු වැඩුණු පරිසරයයි.

‘මම මේකට මොකක්ද කරන්නේ?’

ඇය දස අතේ කල්පනා කළේ ඇගේ සැමියා උසස් සමාජයට කැන්දන් එනු පිණිසය.

‘මස් කඩයක් දමලා දෙන්න ඕන’

එමා අවසානයේ තීරණයකට පැමිණියාය. එවිටවත් ඔහු කරන කාර්යයට සමාජයේදී යම් වැදගත් තැනක් හිමිිවනු නියතය. සිය සැමියා වෙනුවෙන් මස් කඩයකට බලපත්‍ර ලබා ගත යුතු වෙයි.

පිටපත හා අධ්‍යක්ෂණය,

කැමරාකරණය - සෝමරත්න රාමනායක

සහය අධ්‍යක්ෂණය – තුෂාර සන්දනායක

සංස්කරණය – එම්. එස්. අලිමාන්

ශබ්ද පරිපානය – ලයනල් ගුණරත්න, ශෂ්ක රුවන්

වේෂ නිරූපණය – ගාමිණී කොස්තා

සංගීතය – නීල් වර්ණකුලසූරිය (සන්ෆල්වර්ස්) කපිල මැද්දේගොඩ

ගායනා - නීල් වර්ණකුලසූරිය, නෙල්සන් වාස්, විජේරත්න වරකාගොඩ

නිෂ්පාදනය – මීරියම් රංජනී රාමනායක

නළු නිළි පිරිස - විජේරත්න වරකාගොඩ, විනූ වෙත්තමුණි, රිචාඩ් වීරක්කොඩි, වසන්ත කුමාරසිරි, කීර්ති රංජිත් පීරිස්, ධම්මි ගොඩමුනේ, ජෝ ලිවේරා, කපිල සිගේරා, ස්වර්ණා රණසිංහ, ගාමිණී කොස්තා, රිචඩ් අබේවර්ධන, සඳරේඛා වීරසිංහ, නිලන්ත මානවැව

‘සල්ගාදු ඇමතිවරයා මට ලයිෂන් එක දෙයිද?

එමාගේ සිත සසල කළ ඒ අදහස කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු යැයි ඕ අදිටන් කර ගත්තාය.

සල්ගාදු ඇමතිවරයා සිය ප්‍රදේශයට ඇමතිවරයෙක් වුව ද ඔහු පිළිබඳ ලැබෙන ආරංචි නම් හොඳ ඒවා නොවේ.

‘මිස්ට ඇමතිතුමා කතා කරනවා’

සේවකයෙක් පැමිණ පැවසූයේ ඇගේ සිතුවිලි දැහැන බිඳ දමමිනි. ඈ තම ඇඳුම සකසා ගත්තේ ඔහු හමුවට යෑම සඳහාය.

‘වාඩි වෙන්න’

විනිවිද යන බැල්මෙන් එමා දෙස බලමින් ඇමතිතුමා පැවසුවේ මුවඟට සිනහවක් ද නඟන අතරතුරය. ඈ ඔහු ඉදිරිපස අසුනේ ඉඳ ගත්තා නොව ඉඳ ගැනිණි.

‘ඉතිං . . .’

ඔහු එමා සමඟ කතාබහ ආරම්භ කළේ කාලයක පටන් හඳුනන්නෙක් ලෙසය. ඇයට කිසි දිනෙක නොදැනුනු නුහුරු බවක් සිතට පිවිසියාය. ඒ මන්දැයි සිතමින් සිටීමට මේ කාලය නොවේ. ඒ නිසා ඈ සිය සිත එකතු කර ගනිමින් ඇමතිතුමාගේ දෙනෙත දෙස එක්වරම බැලුවේ ඕනෑම දෙයකට සූදානම්වය.

සල්ගාදු හිස ඔසවා බැලුවේ ඔහු ඉදිරිපස සිටින සුන්දර ගැහැනිය දෙසය. ඇගේ සැලකිය යුතු සුන්දරත්වයක් ඇතැයි ඔහුට සිතෙයි. නිශ්ශබ්දතාව රජයන මේ මොහොත කියන්නේ ඇගේ නුහුරු නුපුරුදු බවයි.

‘ඇමතිතුමා . . . මට ලයිසන් එකක් ගන්න ඕන’

ඇගේ ස්වරයේ ඇති පක්ෂපාති බව සල්ගාදුට පහසුවකි. ඔහු සිය හීසරය ඇය දෙසට මුදා හරිමින් සිටියේ සියල්ල සාවධානව අසා සිටින අයුරෙනි. ඇය පැමිණ ඇත්තේ ඔහුගෙන් උදව් ලබා ගැනීමටය. සල්ගාදුට ඔහුගේ සිතෙහි රජ කරන අදහසට පොටක් පෑදී ඇත. මේ සොඳුරු ගැහැනියව ඔහුට නතු කර ගැනීමට ලැබුණු ඉඩ තරමක් ප්‍රයෝජන ගත හැකිය. මෙතරම් කලක් මෑ තම දෑස මානයට නොපැමිණියේ මන්දැයි හේ සිතුවේ ගැටලුවට පිළිතුරු දෙන අතරතුරදීය.

එමා ඇමතිගේ නිවෙසින් පැමිණියේ දහසක් බලාපොරොත්තු හද පුරවාගෙනය. ඇමතිගේ දෑසේ දුටු ආරාධනය ඇයට නුපුරුදු නොවේ. ඈ සියල්ලටම පෙර තම අදහස ඉටු කර ගන්නට සෑදී පැහැදී සිටියාය.

‘මමත් ඕන දේකට ඔට්ටුයි’

ඈ පැවසුවේ තමාටමය. එමාට බලපත්‍රය ලැබිණි. එහෙත් ඔහුගේ පහස පතා තම සිත කෑ මොර ගහන අයුරු ඈ ඉවසූයේ ළඟදීම ඔහු මුණ ගැසෙන බව දත් හෙයිනි. එහෙත් ගැටලුවකට ඇත්තේ ඔහුගේ බිරිය නෙලාය. බිරියගේ අතට හසු නොවන්ට ඇය තම ජීවිතය පිළිබඳ වග බලා ගත යුතුය.

ඇමතිගේත්, එමාගේත් අනියම් සබඳකම නෙලා අතට හසුවේද? එලාරිස් මේ පිළිබඳ දැන ගනීවිද? ටිප් ටොප්ට මොකද වුණේ? මේ පිළිබඳ විමසීමට නම් මේ මාසයේ 31 වැනිදා තිරගත වන ‘සතියකට මට රට බාර දෙන්න’ චිත්‍රපටය නැරැඹීමට ඔබට සිදුවනු ඇත. සෝමරත්න රාමනායක නම් අධ්‍යක්ෂවරයා 1950 – 60 දශකයේ චරිත වර්තමානයට රැගෙන එමින් කියන්නට තනන දේ නරඹන්නට ඔබත් මෙහි පැමිණෙන්න ඔහු ආරාධනා කරයි.