වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




ක්‍රිෂ්ණජිනා ලෙසින් පාසල් වේදිකාවෙන් රංගන වරම් ලැබූ ගයන්ති

ක්‍රිෂ්ණජිනා ලෙසින් පාසල් වේදිකාවෙන් රංගන වරම් ලැබූ ගයන්ති

මම ආවේ හෙමින් ගමනක්

පාසල් වේදිකාවෙන් රංගන ජීවිතයට අවැසි පන්නරය ලබා ගත් ඇය නදීරා ගයන්ති ප්‍රේමසිරියි. දිවුලපිටිය ප්‍රදේශයෙන් බිහිව ගලපිටමඩ වළගම්බා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නදීරා පුංචි අවධියේ සිටම රංගන ශිල්පිනියක් වීමේ සිහිනය සිතෙහි තබාගෙන සිටි තැනැත්තියකි. නදීරා මේ වන විට ඇගේ ඒ සිහිනය එළි පෙහෙළි කර ගැනීමට සමත් වී සිටී. වසරක් වැනි කෙටි කාලයක් තුළ සිනමාව, ටෙලි නාට්‍ය හා වේදිකාව යන තුන් ක්ෂේත්‍රයන්හි දස්කම් පාන ඇය මේ වන විට ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පිනියකි.

පබසරා,පැතුම් මල්, මුතු, රජ දරුවෝ හා දැනෙයි සිත් පොහොය නාට්‍ය ආදී නාට්‍යවලට රංගනයෙන් දායක වී ඇති නදීරා වෙළෙඳ දැන්වීම්වලදී ද ඇගේ රංගන හැකියාවන් ප්‍රදර්ශනය කරයි. බමණ මදු වේදිකා නාට්‍යයේ රඟපෑ ඇය දිවි නැගුම ව්‍යාපෘතියේ වෙළඳ දැන්වීමෙහි ගැමි කතගේ චරිතයට ද රංගනයෙන් එක් වී ඇත.

“පාසලේදී මට වෙස්සන්තර නාට්‍යයේ ක්‍රිෂ්ණජිනාගේ චරිතයට පණ පොවන්න අවස්ථාව ලැබුණා. එදා තමයි රංගනය ගැන මම පළමු අත්දැකීම ලැබුවේ. උසස් පෙළින් පසුව මම ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටය සඳහා පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වුණා. එහිදී වෛද්‍යවරියකගේ චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා තමා මම ආධුනික රංගන ශිල්පිනියක් ලෙස සිනමාවට පැමිණියේ.”

රංගනය පිළිබඳ සුගත් සමරකෝන් හා අනුරුද්ධ ගාම්භීරආරච්චි යටතේ හදාරා ඇති නදීරාට මේ දිනවල සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන ‘පටාචාරා’ චිත්‍රපටයේ චරිතයකට හා අජිත් ජයවර්ධනගේ ‘සියපත් අරම’ ටෙලි නාට්‍යයේ චරිතයකට ද ඇරයුම් ලැබී තිබේ.

“මම මෙතෙක් ආවේ රංගන ජීවිතයේ බොහොම සෙමින් ගමනක්. ඒ ගැන මට සතුටුයි. රූගත කිරීම්වලදී මම අත්විඳපු අමතක නොවන සිදුවිමක් තියෙනවා. ඒ ඩොක්ටර් නවරියන් චිත්‍රපටයේ වෛද්‍යවරියකගේ චරිතය. එහි රූගත කිරීම් තිබුණේ නවලෝක රෝහලේ. මම වෛද්‍යවරියක් ලෙස වෙස්වලාගෙන කාමරයටම වෙලා හිටියා දෙබස පටන් ගන්නකම්. එතකොට රෝගියෙක් කාමරයට ආවා. මම චිත්‍රපටයේ කොටසක් කියලා හිතලා ලෙඩා එක්ක වෛද්‍යවරියක් වගේ කතාබහ කරලා පරීක්ෂා කළා. ඒත් පසුව තමයි දැනගත්තේ ඒ ඇවිත් තියෙන්නේ ඇත්තම රෝගියෙක් කියලා. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ.”

අනාගතයේ දක්ෂ රංගන ශිල්පිනියක වීමට බලාපොරොත්තු වන නදීරා ඇයට උදව් උපකාර කළ රන්ජන් රාමනායක, සුගත් සමරකෝන්, අනුරුද්ධ ගාම්භීරආරච්චි හා ප්‍රභාෂ් සේනානායකටත්, පවුලේ සැමට හා නන් අයුරින් උදව් කළ අයටත් ස්තුතිය පුද කරයි.

“මම මෙතෙක් රඟපෑ චරිතවල අඩුපාඩු තියෙන්න පුළුවන්. එවායේ හොඳ ලක්ෂණ තියෙන්නත් පුළුවන්. ”රසික සැමගෙන් ඒ ගැන මට ප්‍රතිචාර ලැබෙනවා නම් මම කැමතියි.

0774312777 නදීරාගේ දුරකථන අංකයයි.