වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




අබේ හැමදාම මගේ හිතේ ජීවත් වෙනවා

අබේ හැමදාම මගේ හිතේ ජීවත් වෙනවා

නිරංජලා සරෝජනී

ඇය කැමතිම චරිත හත

පුදුම හතට අද පැමිණියේ හෙළ සංගීත ක්ෂේත්‍රයට මිහිරියාව එකතු කළ සොඳුරු සිතැත්තියක්. එහෙත් අද ඇය ඒ ගැන නම් කතා නොකරාවි. පුදුම හතට තම සිතැඟි පවසන්නට එන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී. යුග යුග ගණන් සිංහල සංගීතයට සිය මිහිරි හඬ එක් කළ ඇය පුදුම හතට පවසන්නේ තම සිත් ගත් ළබැඳි පුද්ගලයන් හත් දෙනකු පිළිබඳවයි.

හැරිසන් පීරිස් (පියා)

මගේ ජීවිතයේ මට හමු වූ පුද්ගලයන් අතරේ ඉහළින්ම සිටින පුද්ගලයා තමයි මගේ පියා. ඔහු ඉංග්‍රීසි දැනුමින් ඉතා පොහොසත් වූ පුද්ගලයෙක්. පුවත්පත් කලාවේදියෙක් ලෙසින් රටට කළා වූ මෙහෙවර ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. ඔහු බොහෝම වගකීමෙන් කළා වූ ලේඛන කටයුතු දෙස එදා අපි බලාගෙන හිටියේ ආසාවෙන්. මගේ පියා සතු වූ නිවුණු ගති පැවතුම් අපේ ජීවිතවලට එක් කළේ නිස්කලංක බවක්.

ඔහු මොනම හේතුවක් නිසාවත් කේන්තියට පත් වූ පුද්ගලයෙක් නම් නෙවෙයි. පුංචි කාලයේ පටන්ම අපට කියා දුන්නු පිළිවෙළකට ජීවත්වීම අපේ ජීවිතවල සාර්ථකත්වයේ රහසයි. ඔහු අපි අතරින් සමු ගත්තේ 1987 වසරේදියි. මගේ ජීවිතයේ මුලින්ම නෙත ගැටුණු පිරිමි රුව තමයි මගේ පියා. මගේ ජීවිතයේ සදාකල් මූලිකව සිටින්නෙත් මගේ පියා. සසර වසර තුරාවට ඔහු මගේම පියා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අබේවර්ධන බාලසූරිය (සැමියා)

තාත්තාගෙන් පසුවට මගේ ජීවිතයට සමීප වූ පුද්ගලයා ඔහුයි. මම අබේව දැනහඳුනා ගත්තේ ළමා කාලයේදීමයි. ගුවන් විදුලියේ ළමා පිටියට මා සහභාගි වන විට අබේ මල්කාන්ති අක්කාගේ හිතවතෙක්. ඒ සමඟින් ඇති වූ සහෝදරත්වය පසුව ආදරයකට පෙරළුණා. අපේ ජීවිත සාර්ථකව සැළසුම් සහගතව ඉදිරියට ගෙන ආවේ ඔහුගේ ශක්තියයි. අබේත් සෘජු ගති පැවතුම්වලින් හෙබි පුද්ගලයෙක්. සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක වෙන්න මට සවියක් වුණෙත් ඔහුයි. මගේ ජීවිතයට ආලෝකය වුණේ ඔහුයි. වසර 29 ක් අපි හරිම ලස්සනට ජීවත් වුණා. ඒ නිසාමයි අබේගේ වියෝවෙන් පසු මම සංගීත දිවියට සමු දුන්නේ. හැමදාමත් අබේ මගේ හිතේ ආදරණීය ලෙසින් ජීවත් වෙනවා.

මාලිනී ෆොන්සේකා

සිනමාවට බෙහෙවින්ම ප්‍රිය කළ කුඩා අවදියේ පටන් දකින්නට ලැබුණු සුන්දර රුවක් තමයි නිළි රැජන මාලිනී ෆොන්සේකා. ඇය එකල අපේ නිවසට පැමිණියේ අනුලා කරුණාතිලක සමඟින්. අනුලා අක්කා අපේ මල්කාන්ති අක්කාගේ මිතුරියක්. මගේ මතකයේ හැටියට ඒ වෙන කොට ඇය රඟපා තිබුණේ පුංචි බබා චිත්‍රපයේ පමණයි. කාලය ගත වුණත් එදා ඇය අපේ නිවෙසට පැමිණි දවස මට අද වගේ මතකයි.

ඇයගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ ‘සසර චේතනා’ චිත්‍රපටයේ පසුබිම් ගායනයට මා දායක කර ගැනීමත් මට සුවිශේෂයි. එහිදී ග්‍රේෂන් ආනන්ද සමඟින් මා ගැයූ ‘හිම කඳු යහනේ’ ගීතය සංගීත ක්ෂේත්‍රයේ අදටත් රැව් පිළිරැව් දෙන ගීතයක් බවට පත් වෙලා. නිළි රැජන මාලිනියගේ රංගනය මා බෙහෙවින් ප්‍රිය කරන්නක්. ඇයගේ රංගනය තාත්විකයි. එහිදී ඇය අන් සැම අතරේ සුවිශේෂ වගේම සිනමාව පරිපූර්ණ කළ රංගන ශිල්පිනියක් ලෙසින් මා දකිනවා.

සනත් නන්දසිරි

සනත් අයියා අපේ පවුලට එක් වූ මහා පුරුෂයෙක්. අපටත් ගායනය පිළිබඳ ඇල්මක් ඇති කළේ ඔහුයි. සනත් අයියා අපේ මල්කාන්ති අක්කා සමග විවාහ වී අපේ පවුලට සම්බන්ධ වන විට අපි පාසල් අවදියේ සිටියේ. සනත් අයියා අපේ පවුලේ හැමට ආදරයෙන් සැලකූ සහෝදරයෙක්. ඔහු දැවැන්ත නුග රුකක් සේ අපේ පවුලට සෙවණ ලබා දුන්නා.

සනත් අයියාගේ අවවාද අපට හැමදාම නිවැරදි පාර කියා දුන්නා. වැඩිමහල් සහෝදරයෙක් ලෙසින් ඔහු තුළ වූ ළෙන්ගතුකම අපට ලොකු සවියක් වුණා. එය අදටත් එලෙසමයි. මගේ සංගීත දිවියටත් සනත් අයියාගෙන් ලද සහාය වචනයෙන් විස්තර කරන්න බැහැ.

එම්. ජේ. පෙරේරා

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මුල්ම සභාපතිවරයා වූ එම්. ජේ. පෙරේරා මහතාත් මා කැමතිම පුද්ගලන් අතරේ ඉහළින්ම සිටින අයෙක්. එතුමා අපට පියෙක් හා සමානව සැලකුවා. ඒ වගේම අපේ රටේ සිටි දැනුමින් පරිපූර්ණ දැවැන්ත චරිතයක්. ශ්‍රේෂ්ඨ පාලකයෙක්. එම්. ජේ. පෙරේරා මහත්මා තමයි මට රූපවාහිනි නිවේදනයට අවස්ථාව සලසා දුන්නේ. එම අවස්ථාව ලබාදීම පිළිබඳ මගේ හිතේ තියෙන ස්තූතිය වචනයෙන් විස්තර කළ නොහැකියි. එවැනි වූ පුද්ගලයෙක් හඳුනාගන්න ලැබීමත් සතුටක්.

සිරුරෙන් කුඩා පුද්ගලයෙක් වුවත් මහා දැවැන්ත චරිතයක් ඔහු තුළ ජීවත් වුණා. නිවේදිකාවක් ලෙසින් මා බොහෝ දේ එතුමාගෙන් ඉගෙන ගත්තා. වරදක් සිදු වුණත් එතුමා එය නිවැරදි කර කියා දුන්නේ පියෙක්, ගුරුවරයෙක් ලෙසින්. එවැනි වූ පුද්ගලයන් අපේ රටට වාසනාවක්.

මහාචාර්ය සුනිල් ආරියරත්න

සුනිල් අයියාත් අපේ පවුලට ළෙන්ගතු සහෝදරයෙක්. මගේ සංගීත දිවියේ සාර්ථකත්වයට ඔහුගේ දැනුමින් පෝෂණය වූ අරුත්බර ගී ශක්තියක් වුණා. සුනිල් අයියාත් අපේ පවුලට කිට්ටුවෙන් ඇසුරු කරන්නට ලැබුණු සොඳුරු චරිතයක්. ඔහුගේ ඇසුරින් එදා මෙදාතුර අප ලබා ගත් දැනුම අප්‍රමාණයි.

ඒ වගේම සුනිල් අයියා අපේ කලා ක්ෂේත්‍රයේ පිනට පහළ වූ මහා පුරුෂයෙක් ලෙස මා දකිනවා. සුනිල් අයියා තැම්පත් ගති පැවතුම්වලින් හෙබි නිහතමානි පුද්ගලයෙක්. එවැනි පුද්ගලයෙක් ඇසුරු කරන්නට ලැබීම අපේත් වාසනාවක්.

ආචාර්ය වික්ටර් රත්නායක

වික්ටර් අයියා තමයි මට මුලින්ම සරල ගීයක් නිර්මාණය කර දුන්නේ. ඒ 1971 වසරේදියි. ‘ලොව නිසසල වී නවතින මොහොතේ’ නම් වූ ඒ ගීතයයි මගේ සංගීත දිවියේ පෙරගමන් තැබූයේ. ඒ නිසාම මගේ සංගීත දිවියේ සාර්ථකත්වය පසුපස වික්ටර් අයියාත් සිටිනවා. ඔහු නිර්ලෝභීව ඒ සඳහා උපරිම දායකත්වය ලබා දුන්නා. ඔහුගේ ‘ස’ ප්‍රසංගයේ දහස් වරකටවත් වඩා මා ගී ගයා ඇති. ඒ ගැන මම වික්ටර් අයියාට අනේක වාරයක් ස්තුති කර සිටනවා.

වික්ටර් අයියා නිහතමානි සෘජු ගතිගුණ තියෙන පුද්ගලයෙක්. මා ගැයූ ගීත රැසකම තනු නිර්මාණය වුණේ ඔහු අතින්. ඒ නිසාම සංගීත දිවියේ නොමැකෙන නමක් ඇති කරන්න වික්ටර් අයියාගෙන් ලද සහාය අප්‍රමාණයි. ඔහු අපේ සංගීත ක්ෂේත්‍රයට මියුරු හඬක් හිමි ගායකයෙක් වගේම අපට ළෙන්ගතු සහෝදරයෙක්.