වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ හඬ ඇහෙන කොට හැරිල බලන අය ඕනෑ තරම්

මගේ හඬ ඇහෙන කොට හැරිල බලන අය ඕනෑ තරම්

හෙට දිනයේ සවස බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදි මෙලනි අශෝකා රචනා කොට අධ්‍යක්ෂණය කරන නවතම වේදිකා නාට්‍ය ‘ඒකම තමයි මේක’ හි මංගල දැක්ම පැවැත්වේ. දක්ෂ හඬ කැවීම් ශිල්පිණියක ද ලෙසින් අප හමුවන ඇය මේ දිනවල ජනප්‍රිය වැඩසටහන් රැසකම ප්‍රධාන චරිතයන්ට සිය හඬ දායකත්වය ලබා දෙමින් සිටියි.

එමෙන්ම මෙලනි වේදිකාවේ ද තම දස්කම් විදහාලූ අයකු ද වෙයි. ඇය තකහනියක් අප සරසවියට ගොඩ වැදුණේ ඒකම තමයි මේක ගැන වගේම තමන්ගේ කලා ජීවිතයේ නවතම තතු ඔබ වෙත පවසන්නටයි.

ඒකම තමයි මේක වගේ නාට්‍යයක් මේ යුගයේ ගෙන එන්න හිතුවේ ඇයි?

මේ නාට්‍යයේ ප්‍රස්තුථය මගේ ඔළුවට ආවාම මට හිතුණා පිටපතක් ලියන්න. මේ වන විට හොඳ ප්‍රේක්ෂක පිරිසක් හිටියට හොඳ නාට්‍ය අඩුයි. එබැවින් මෙය කාලීන අවශ්‍යතාවයක් මත නිර්මාණය කළ නාට්‍යයක් යනුවෙන් හැඳින්නුවොත් මා නිවැරැදියි.

මෙහි අන්තර්ගතය ගැන කතා කළොත්?

මෙය සම්පූර්ණ හාස්‍යෝත්පාදක නාට්‍යයක්. කතා වස්තුව ද වෙනස්ම එකක්. මෙහි එක්තරා මල මිනිසකු ඉන්නවා. ඔහුට ජීවත්ව සිටියදී පවුලේ උදවිය විසින් නොසලකා හරිනවා. නමුත් මියගිය අවස්ථාවේදී ඔහුව ඉතාමත් ලස්සනට සරසලා ලෝකෙට පෙන්නල මහ ඉහළින් අවමංගල්‍යය පවත්වන්න උත්සාහ ගන්නවා. මේ වගේ පවුල් ඕනෑ තරම් ඉන්නවා. අපි මිනිසෙකුට සලකන්න ඕනෑ ජීවත් වෙලා ඉන්න ටිකේනේ. ඒ සිද්ධි මාලාව තමයි මේ නාට්‍ය හරහා සමාජයට කතා කරන්නේ.

වේදිකා නාට්‍ය හරහා සමාජයක් නිසි මගට ගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද?

මෙහෙමයි. සමස්ථ සමාජයක්ම අපට හදන්න අමාරුයි. නමුත් එකෙකු දෙන්නෙකු හෝ හැදේවිනෙ. මට ඒ ඇති.

කොහොමද මේ දවස්වල ඔබේ හඬ කැවීම කටයුතු?

ඒ ගැන නම් කතා කළ යුතුමයි. මාව හමු වෙලා නැති බොහෝ දෙනෙකු මාව හඩින් හඳුනනවා. තැනකට ගිගින් කතාබහ කරද්දී ඇතැම් අය ආපසු හැරි හැරි බලනවා. ඒ කියන්නේ හඬින් මං ජනප්‍රියයි. මේ දවස්වල ජෝ(ර්)දා අක්බාර් හි බිසවගේ චරිතයටත්, යහපත් මහරජ හි කැං පාලිකාවටත් මං හඬ කවනවා. ඊට අමතරව තවත් කිහිපයකටම ඇරැයුම් ලැබී තිබෙනවා.

වරාමලී විකාශය වන කාලේ සෙදෝ හරිම ජනප්‍රියයි. ඒ ගැනත් නොකියම බැහැ නේද?

ඒක නම් ඇත්ත. මට කාලෙකට පස්සේ ලැබුණු හොඳම චරිතයක් තමයි ඒක. කවදාවත් අමතක වෙන එකක් නැහැ ප්‍රේක්ෂකයන්ට සෙදෝව. මේ වෙලාවේ වරාමලී නාට්‍යයේ අධ්‍යක්ෂ ඇතුළු සියළු දෙනාව මතක් කරන්න ඕනෑ. එයාලගේ සහායෙන් තමයි ඒ චරිතය වඩාත් හොඳින් නිරූපණය කළේ. අනික මගේ කොණ්ඩා මොස්තරය කතා කරන ශෛලිය පවා වෙනස් කළා සෙදෝ වෙනුවෙන්.

මේ දවස්වල මෙලනි තවත් නාට්‍යයක ඉන්නවා නේද?

ඔව්. ඒ චන්ද්‍රරත්න මාපිටිගමගේ සබඳ බබානිස්. ඒකේ මම එන්සිනා.

ඔබ ටයිටස් තොටවත්තයන්ගේ ගෝලයෙක්. මං අහලා තියෙනවා ඔහුත් එක්ක වැඩ කිරීම හරිම අමාරුයි කියලා?

මට අතුල රන්සිරිලාල්ගේ මාර්ගයෙන් තමයි ටයි මහත්තයාව හමු වුණේ. එතුමා සමග වැඩ කටයුතු කිරීම මා ලැබූ භාග්‍යයක් ලෙසයි මා සලකන්නේ. ටයි මහත්තයා ඉස්සරහට ගිහින් මුහුණ බලාගෙන කතා කරන්නත් බයයි. බිම බලාගෙනගයි අදහස් හුවමාරු කර ගත්තේ. ටයි මහත්තයා විදෙස් රටවල නිර්මාණ අප රටට ගෙනත් හඬ කවලා පෙන්නුවා. ඒවායින් ළමා මනස දියුණු වුණා පමණක් නොව වැඩිහිටියන් පවා උස් රස වින්දනතාවයකට ඔසවා තැබුවා. එම නිර්මාණ මඟිනුයි අප වෙනත් රටවල සංස්කෘතිය, සාරධර්ම දැක්කේ.

අදත් එවැනිම වූ වැඩසටහන් අනන්තවත් විකාශය වෙනවා නේද?

ඔව්. නමුත් ටයි මහත්තයාගේ පිළිවෙත් ඒ අයුරින්ම ඉදිරියට ගෙන යන කෙනෙක්ට ඉන්නේ අතුල රන්සිරිලාල් වගේ අය. පිටරටින් මොන දේ ගෙනාවත් ඒවා ළමුන්ට ගෝචර විය යුතුයි. ටයි මහත්තයා වින්දනය ලබාදෙන ගමන් ළමයින්ට පණිවුඩයක් ද ලබා දුන්නා.

මෙලනි මේ කටයුතුවලට අමතරව ග්‍රන්ථකරණයට ද දක්ෂතාතාවයක් දක්වන අයෙක්. අලුතින් පොතක් දෙකක් ලිව්වේ නැතිද?

මේ වන විට පොතක් ලියනවා. ඒකේ නම ‘ඕ’. එයත් සමඟම කෙටි කතා සංග්‍රහයකුයි, ළමා පොත් හතරකුයි ලියාගෙන යනවා.

කොහොමද මෙච්චර කාර්යබහුලතාවයක් එක්ක පොත් ලියන්නේ?

ඒකට තමයි කියන්නේ කාලය කළමනාකරණය කර ගැනිම කියලා. කොච්චර වැඩ තිබුණත් තමන්ට ඕනෑ කටයුතුවලට වෙලාව වෙන් කරගත යුතුයි. එතකොටයි ජීවිතය දිනන්න පුළුවන්.

හරි අපි දැන් අයේ එමු ඒකම තමයි මේක ගාවට. කවුද මෙහි නළු නිළියන් පිරිවර?

චරිත් සේනානායක ධනුෂ්ක ජයරත්න, කේ. ඩී. සිරිපාල, යූ ධනවංශ, ප්‍රියන්ත කහපළආරච්චි, රොෂාන් දොඩංගොඩ, සිසිල් බොතේජු, නිශාදි ගමගේ, නිලංග කාංචනා සමඟ මමත් රංගනයෙන් එක් වෙලා ඉන්නවා.

හෙට මෙහි මංගල දැක්ම නේද?

එන්න හැමෝම, ඇවිත් නරඹලා ගුණදොස් කියන්න. බොහොම ආදරයෛන් මං බලාගෙන ඉන්නවා මට ළැදි ප්‍රේක්ෂකයෝ මෙය නරඹා අවසානයේ මා හමු වී ගුණ දොස් කියනතුරු.