වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




දේශපාලනයේදී රඟපෑමත්, රඟපෑමේදී දේශපාලනයත් ඕනෑ නෑ

දේශපාලනයේදී රඟපෑමත්, රඟපෑමේදී දේශපාලනයත් ඕනෑ නෑ

අනර්කලී ආකර්ෂා

අනර්කලී ආකර්ෂා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ වගේම දේශපාලන ක්ෂේත්‍රයේත් බැබළෙන තරුවක්. රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නිවේදිකාවක් ලෙසත් කාගේත් ආදරය දිනාගත් ඇය සිංහල සිනමාවේ ජනපි‍්‍රයම නිළි සම්මානයට හිමිකම් කියූ ළාබාලතම රංගන ශිල්පිනිය ද වන්නීය. පසුගිය වසර කිහිපය තුළදී දේශපාලන ක්ෂේත්‍රයේ මන්ත්‍රීවරියකගේ භූමිකාව තුළ ජනතා මෙහෙවරට කැප වූ අනර්කලී මේ දිනවලත් දේශපාලන වේදිකාවේ ඉතා කාර්යබහුල චරිතයක්. මේ අතරතුර ආදරණිය රසික ඔබ වෙනුවෙන් සරසවිය අමතන්නත් ඇය අමතක කළේ නැහැ.

රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න අවස්ථාව තිබියදී ඔබ ඇයි එකපාරටම දේශපාලනට පිවිසෙන්න තීරණය කළේ?

මම එකපාරටම දේශපාලනයට ආ කෙනෙක් නෙවෙයි. මට තියෙන්නේ දේශපාලනික පවුල් පසුබිමක්. මගේ සීයා ආර්. ආර් ජයතිලක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක සහ දහනායක මහත්වරුන්ගේ කාලයන්හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක්. ඒ විතරක් නෙවෙයි මගේ ආච්චි අම්මා එෆී සමරක්කොඩි මෙරට ප්‍රථම කාන්තා ප්‍රාදේශිය සහා සභාපතිනිය. ආච්චි අම්මාගේ මල්ලි එඩ්මන්ඩ් සමරක්කොඩි සමසමාජ පක්ෂය ගොඩනැංවීමේ පුරෝගාමියෙක්. ඒ පසුබිම එක්ක දේශපාලනය අපේ පවුලට ඉතාම සමීප දෙයක්. ඒ නිසා මම දේශපාලනයට එකපාරට කඩපාත් වුණේ නැහැ.

ඒ නිසාද රංගන ක්ෂේත්‍රය පැත්තකින් තියලා අඩු වයසින්ම දේශපාලනයට එන්න තීරණය කළේ ?

2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිටදී තමයි මම එතුමාට සහය ලබා දුන්නේ. එතකොට මට වයස අවුරුදු දහ අටයි. එදා මම පක්ෂය දිනවන්න ලංකාව පුරාම ගියා. එහිදි ලද අත්දැකීම් නිසා මට දේශපාලනයට එන්න හිතුනේ. ඒ වගේම අවුරුදු විසිතුනේදී මෙරට ළාබාලතම මන්තී‍්‍රවරිය වගේම දකුණු පළාත් සභාවේ එකම මන්තී‍්‍රවරිය ලෙසත් තේරි පත් වෙන්න ලැබුණා. එහිදි රංගන ශිල්පිනියක් ලෙසට වඩා මන්තී‍්‍රවරියක ලෙසින් මට ජනතාවට විශාල සේවයක් කරන්න අවස්ථාව ලැබුණා. ගම් ප්‍රදේශවල තිබෙන ගැටළු නිරාකරණය කරන්න ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්න මේ කාලය පුරාවටම මට හැකියාව ලැබුණා. ඒ ගැන තියෙන්නෙ විශාල සතුටක්.

සීයා ගැන මොන වගේ මතකයක්ද අනර්කලීට තියෙන්නේ?

මට කවදාවත් සීයා හමුවෙලා නැහැ. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ පුදුමාකාර දුකක්. මම සීයාගේ කතා අහලා තියෙනවා. අනිත් අයත් මට එතුමා ගැන ගොඩක් දේ කියලා තියෙවා. සීයා ඉගෙන ගෙන තියෙන්නේ ගාලලේ රිච්මන්ඩ් විද්‍යාලයේ. ඔහුගේ පැරණි මිතුරන් ඔහු පිළිබඳ බොහෝ දේ මට පවසනවා. අලෙවි මවුලානා මැතිතුමාත් ඒ අතරේ ඉන්නවා. සීයා හිටියා නම් අද මම ඉන්න තැන ඔහු තමයි වැඩියෙන්ම සතුටු වෙන්නේ. ඒ වගේම මට දැනෙනවා සීයා මාත් එක්ක ඉන්නවා කියලා.

ඔබ තරුණියක් විදියට දේශපාලනය පිවිසීමේදි අභියෝග රැසකටත් මුහුණ දෙන්න ඇති?

ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. ඒත් මම සැලුණේ නැහැ. එකක් ජය ගන්නකොට තවත් අභියෝගයක්. ඇත්තටම මට වයසට වඩා වැඩි අභියෝග තමයි එල්ල වුණේ. ඒත් ඒවාට මාව පරාජය කරන්න බැරි වුණා. ඒ කාලේ සමහරු මට කිව්වා හරියට භාෂාව හසුරුවන්නවත් බැහැ කියලා. මම අධ්‍යාපනය ලැබුවේ ජාත්‍යන්තර පාසලක. එදා ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලැබුවත් අද මට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. ඒ මගේ හැකියාව සහ උනන්දුව නිසා. ඒ වගේම හොඳ ආත්ම ශක්තියක් මට තියෙනවා. ඒනිසා කෙනෙකුට මාට වට්ටන්න බැහැ.උනන්දුව කැමැත්ත තියෙනවා නම් රටට සමාජයට යමක් කළ යුතුයි කියලා හිතනවා නම් දේශපාලනයට ආවාට කමක් නැහැ. ඒත් කාගෙවත් බලපෑමකට නම් දේශපාලනයට එන්න හොඳ නැහැ. ඒකට තමන්ගේ උනන්දුව තියෙන්න ඕනි. සිනමාව හා දේශපාලනය කියන්නේ එකිනෙකට වෙනස් අංශ දෙකක්. දේශපාලනයේදි රඟපාන්නවත් රංගනයේදි දේශපාලනයවත් තියෙන්න හොඳ නැහැ. සිනමාවේ හැමදාම රඟපාන්න පුළුවන්. ඒත් දේශපාලනයේ හැමදාම රඟපාන්න බැහැ.

දේශපාලනයට වඩා රංගනය හොඳයි කියලා හිතුනේ නැද්ද ?

මේ ක්ෂේත්‍ර දෙකම ජනතාව සමඟයි කටයුතු කරන්නේ. ඒ වුනත් කලා ක්ෂේත්‍රයට වඩා විශාල සේවයක් දේශපාලනයේදි ඉටු කරන්න පුළුවන්. ක්ෂේත්‍ර දෙකටම මම කැමැතියි. එහිදි රංගනයට දේශපාලනයවත් දේශපාලනයට රංගනයවත් ගාවගන්නේ නැහැ. ක්ෂේත්‍ර දෙක තුළම කළ යුතු දේ නියම ආකාරයෙන් සිදු කිරීමයි වැදගත් වෙන්නේ.

ඔබ ඉපදුනේ කොළඹ. මුලින්ම ඡන්දයට ඉදිරිපත් වුණේ ගාල්ලෙන්. මෙවර මාතර දිස්ත්‍රික්කයෙක්. කිසිම සම්බන්ධයක් නැති දකුණු පළාතෙන් මැතිවරණයට ඉදිරිපත් වීමත් අභියෝගයක් නේද?

ගාල්ල ප්‍රදේශයෙන් ඡන්දය ඉල්ලන්න අවස්ථාව ලැබෙන කොට මට ඒ ප්‍රදේශය අඳුනාගන්න ලොකු කාලයක් ලැබුනේ නැහැ. මට ලැබුන කෙටි කාලයේදි ගාල්ල පිළිබඳ සොයා බැලුවා. ජනතාවටයි අපි සේවය කරන්න ඕනි. ඒක මොන ප්‍රදේශයෙන් වුනත් කමක් නැහැ. එදා මම ගාල්ලෙන් ඡන්දයට ඉදිරිපත් වුනා. අද මම මාතරින් ඉදිරිපත් වෙනවා. ඒක මට අභියෝගයක් නෙවෙයි. ගාල්ලෙ ජනතාවගෙන් මට හොඳ පිළිගැනීමක් තිබුණා. ඒ මම ජනතාව සමඟ සිටි නිසා. මාතර දිස්ති‍්‍රක්කයේදිත් ඒක වෙනස් වෙන්නේ නැති බව විශ්වාසයි.

එහෙනම් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලවල් එහෙමත් සූදානම් ඇති?

පළමුවෙන්ම සංචාරක ක්ෂේත්‍රය තැන අවධානය යොමු කරන්න ඕනි. ගාල්ලේ නම් ගොඩනංවා තිබු දේ තවත් සවිමත් කිරීමයි කළ යුතුව තිබුණේ. ඒත් මාතර එයට වඩා වෙනස්. එය ගොඩනැංවිය යුතුයි. ඒ වෙනුවෙන් සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සුදානම්. එයට අමතරව ඉංගී‍්‍රසි දැනුම උසස් මට්ටමට ගෙන එන්නත් විවිධ වැඩසටහන් සූදානම් කරන්න අදහස් කරගෙන ඉන්නවා. අද මුළු ලෝකයේම අවධානය ලංකාවට යොමු වෙලා තියෙන වෙලාවක ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන්න දැනුවත් විය යුතුයි. ඒ වගේම කාන්තාව කියන්නේ අපේ රටට විශාල සම්පතක්. ඒ නිසා කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන්ද විශේෂ වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාවට නංවන්නත් සූදානම්.

වර්තමානයේදි කලා ක්ෂේත්‍රයේ තරු දේශපානයට පිවිසීම අද බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙලා වගේම එය රැල්ලක් බවටත් පත්වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

ආචාර්ය එන්. එම් පෙරේරා මහතා තමයි මෙරට දේශපාලනයට පිවිසි පළමු රංගන ශිල්පියා වුණේ. රංගන ශිල්පිනියන් ගෙන් මම තමයි මුලින්ම දේශපාලනයට පිවිසියේ. තවත් අය එන එක ගැන සතුටුයි. සුදුසු අය එනවා නම් ගොඩක් හොඳයි. ඔවුන්ට මගේ උපරිම සහයෝගය මම දෙනවා. ඕනිම ප්‍රශ්නයකට ඔරොත්තු දෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් වගේම රටට සේවයක් කරන්න පුළුවන් නම් විතරයි එන්න ඕනි. එක එක කාලෙට එක එක විදියේ රැළි එනවා. ඒ වගේම ඒවා නැති වෙලා යනවා. සමහර ඒවා කාලයක් පුරාවට පවතිනවා. සමහර ඒවා ටික දවසකින් නැති වෙලා යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.

දේශපාලය නිසා අනර්කලී ආකර්ෂා නැමැති රංගන ශිල්පිනිය අහිමි වීම ගැන ආදරණිය ප්‍රේක්ෂයන්ගේ හිත් තුළ දුකක් ඇති ?

සංජය නිර්මාල්ගේ අලුත්ම චිත්‍රපටය ජූලි හතයි සමඟින් මම රිදි තිරයෙන් ළඟදීම ඔබ හමුවට එනවා. මගේ ආදරණීය රසික රසිකාවන්ට ඒක අලුත්ම අත්දැකීමක් වේවි. මම කවදාවත් රංගනයෙන් ඈත් වෙන්නේ නැහැ. සිනමාවේදි තෝරා බේරා ගෙන නිර්මාණ සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අනර්කලී ආකර්ෂා නම් රංගන ශිල්පිනිය අහිමි වෙන්නේ නැහැ. ඕනිම දෙයක් මම ඉතා කැපවීමෙන් කරනවා. ඒ නිසා මේ ක්ෂේත්‍ර දෙකටම අසාධාරණයක් නොවෙන්න කටයුතු කරන්න මට පුළුවන්.