වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

වනමෝහිණි චිත්‍රපටයේ ‘මිණි පහන ඔබයි අමා නිවන ඔබයි පෙම්බර අම්මේ’ ගීතය ගයන්නේ ජමුනා රාණි ද, කේ. රාණි ද?

කේ. පී. පියසේන

බොරගොඩවත්ත

ජමුනා රාණි.

ගීත කෝකිලාවි රුක්මණි දේවිය ගායනා කළ ප්‍රථම චිත්‍රපට ගීතය කුමක්ද? ඒ කුමන චිත්‍රපටයේද?

පී. වයි. අනුලාවතී

අවිස්සාවේල්ල

කඩවුණු පොරොන්දුව චිත්‍රපටය.

රාජ් කපූර් ආග් ලේබලය යටතේ චිත්‍රපට දෙකක රඟපා තිබේද?

ජයම්පති නවරත්න

මාතලේ

රාජ් කපූර් ආග් නමින් චිත්‍රපට දෙකක රඟපා නැහැ. එක් චිත්‍රපටයක් ආග්. අනෙක් චිත්‍රපටය ආහ්.

යූල් බ්‍රයනර් නැමැති බටහිර නළුවා පිළිබඳ විස්තරයක් දැනගත හැකිද?

අයිලින් සෝවිස්

රාගම

රුසියාවේ ඉපිද අමෙරිකාවේදි දක්ෂ සිනමා සහ වේදිකා නළුවෙකු වූ යූල් බ්‍රයනර් ‘කිං ඇන්ඩ් අයි’ චිත්‍රපටයේ රංගනයෙන් හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානයටත් නිව්යෝක් විචාරක සිනමා සම්මානයටත් පාත්‍ර විය. ටෙන් කමාන්ඩ්මන්ඩ්ස්, ටාරස් බුල්බා, සොලමන් ඇන්ඩ් ශීබා, මැග්නිෆිෂන්වි සෙවන් වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය බොහෝ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන රංගනයක් විය. උත්තුංග දේහධාරි සිරුරත්, එකදු කෙස් ගසක්වත් නොමැති තට්ට හිසත් තේජාන්විත ගමනත් තියුණු දෑසකින් යතු අපූරු මුහුණත් බ්‍රයිනර්ගේ චිත්‍රපට නැරැඹූ කිසිවෙකුට ඔහු අමතක කළ නොහැකි සළකුණුය. 1920 වසරේ ඉපිද 1985 වසරේ මිය ගිය ඔහු සිව් වතාවක් විවාහ වූවෙක්.

හින්දි සිනමාවේ හොඳම නළුවා ලෙස වැඩිම වාර ගණනක් ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත් දිලිප් කුමාර් සම්මාන දිනූ චිත්‍රපට මොනවාද? එම චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ නිළියන් කවුද? ඔහු ගැන කෙටි විස්තරයක් කියන්න.

ඇල්. එම්. ප්‍රේමසේන පෙරේරා

කළුබෝවිල

දිලිප් කුමාර් සාග්, දේව්දාස්, අසාද්, නයාදෝර්, කොහිනූර්, ලීඩර්, රාම් ඕර් ශ්‍යාම්, ශක්ති යන චිත්‍රපට සඳහා හොඳම නළුවා ලෙස සම්මාන දිනුවා. මධුමති, අල්ගාම්, ගංගා ජමුනා, දිල් දියා දාර් දියා, ශංගුෂ්, ආද්මි, ගෝපි, සජිනා, බයිරාශ්, මෂාල්, සව්දගල් යන චිත්‍රපට සඳහා හොඳම නළුවාට නාමයෝජනා දිනා ගත්තා. එය සම්පූර්ණ වශයෙන් සම්මාන 19 ක්. එයට අමතරව යාවජීව සම්මානය ද හිමි ලොව වැඩිම සම්මාන ගණනක් රංගනය වෙනුවෙන් දිනා ගිනස් පොතට ඇතුළත්ව ඇත්තේ ද දිලිප් කුමාර්ය.

අද කෙතරම් බොදු ගීත ඇසුනත් මාගේ අදහස නම් මූලිකම හා ජනප්‍රියම බෙදු ගීතය වන්නේ අල්හාජ් මොහිදින් බෙග් ගායනා කරන බුද්ධං සරණං ගච්ඡාමි යන ගීතය බවයි. ඔබගේ අදහස කුමක්ද?

ලක්ෂ්මන් රණසිංහ

වත්තල

වෙසක් සමයේදී අපට නිරතුරු සිහි වන්නේත්, ඇසෙන්නේත් මොහිදින් බෙග් ගායනා කරන මෙම ගීතයයි.

අමිලා නදීශානිගේ නවතම ලිපිනය සඳහන් කරන්න.

වසන්ත කේ. ප්‍රනාන්දු

කැළණිය.

අංක 67,
දියවන්නා උද්‍යානය,
පැලවත්ත,
බත්තරමුල්ල.

අභීත දියණිය නාට්‍යයේ ‘දොං යි’ ලෙස රඟපෑ හං හෙංජු ද ‘ෆුල් හවුස්’ චිත්‍රපටයේ ජි එයුන් ගේ චරිතය නිරූපණය කරන්නේ?

මධුෂිකා සඳරුවනි රුද්‍රිගු

කො/ හෙන්රි ඕල්කට් මහා විද්‍යාලය

ඔව්.

හෙළ සිනමාවේ සක්විති ලෙස හැඳින්වීමට මෙරට තුළ මෙතෙක් පහළ වූ සුවිශේෂ කලාකරුවා නම් ගාමිණී ෆොන්සේකා මහතාය. ඔහුගේ සිනමා දිවිය පුරාම පසුබිම් ගී ගැයීම සඳහා අතිශය ජනප්‍රිය ගායන ශිල්පීන් දෙදෙනෙකුට අවස්ථාව සැලසී තිබුණි. ඒ එච්. ආර්. ජෝතිපාල සහ මිල්ටන් මල්ලවආරච්චි යන දෙදෙනාය. එක් නළුවෙකු වෙනුවෙන් සමාන ලෙසින් ගී හඬ යෙදීමට ගායකයන් දෙදෙනෙකු වරම් ලද එකම අවස්ථාව මෙය බව මගේ අදහසයි. එය විශේෂ කරුණකි. ඒ පිළිබඳ ඔබේ අදහස් කුමක්ද?

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

මේ දෙදෙනාට අමතරව පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක දෙදෙනාත් ගාමිණී වෙනුවෙන් පසුබිම් ගී ගැයුවා. කොහොම වුණත් ගාමිණීගේ හඬට හොඳීන්ම ගැළපුණේ ජෝතිපාල සහ මිල්ටන්ගේ හඬවල්ය.

මෙම වසරේ ඊ ඒ පී හා සී ඊ එල් මණ්ඩලවල තිරගත වන චිත්‍රපට මොනවාද?

සුමිත් සුදර්ශන

වතුරුගම

ඊ ඒ පී මණ්ඩලයේ මීළඟට ‘සිරි දළදාගමනය’ සහ සී ඊ එල් මණ්ඩලයේ ‘සැමීගේ කතාව’ චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව ඇත.

‘කරාටේ කිඩ්’ චිත්‍රපට මාලවේ රඟපෑ නවක ළමා නළුවෙකුව සිටි රැල්ප් මැකියෝ රඟපෑ මෙරට තිරගත වූ වෙනත් චිත්‍රපට මොනවාද?

දිනූ ප්‍රසන්න

පානදුර

කරාටේ කිඩ් චිත්‍රපටයෙන් පසු මිචර්ස්, ක්‍රොස් රෝඩ්ස් සහ මෑත භාගයේදී හිච්කොක් චිත්‍රපටයේත් රඟපෑවා.