වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




මේ රිලීස් එකේදීත් අපි අලුත් යමක් ඉගෙන ගනීවි

මේ රිලීස් එකේදීත් අපි අලුත් යමක් ඉගෙන ගනීවි

“රූපාන්තරණ” නිෂ්පාදක දේශබන්දු, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු කියයි..

‘සංවේදී තනුවකට ලියැවුණු අසංවේදී ගීතය’ රූපාන්තරණ නමින් අපූර්ව සිනමා සිත්තමක් ව දැන් රිදී තිරය මත දිග හැරේ. “අනිත්‍යා” චිත්‍රපටයෙන් අධ්‍යක්‍ෂණයට පිවිසි නාලක විතානගේ හා නිෂ්පාදනයෙන් දායක වූ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ගේ සුසංයෝගයෙන් ‘රූපාන්තරණ’ නිමැවී ඇත්තේ දේශීය සිනමාවේ වෙනස්ම මානයක් සලකුණු කරමිනි.

තම ප්‍රථම චිත්‍රපටය තිරගත වීමටත් මත්තෙන් චිත්‍රපට හතක් සඳහා අර්ථපති දායකත්වය පුදකළ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු අද මෙසේ අප හා එක්වන්නේ ‘රූපාන්තරණ’ පිළිබඳ සුවිශේෂී කතාබහකටය.

“අනිත්‍යා”, “ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ” චිත්‍රපටවලට පසුව දැන් ඔබේ තෙවැනි චිත්‍රපටය තිරගත වෙනවා. මම හිතන්නේ “රූපාන්තරණ” නව සිනමාත්මක ප්‍රවේශයක්...?

ඇත්තෙන්ම මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගත් චිත්‍රපටයක්. මෙතනදි අපේ රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන ජාත්‍යන්තර දේශපාලන බලපෑම් ගැනත් කිසියම් විදිහක කතිකාවක් මේ චිත්‍රපටය හරහා සිදුකෙරෙනවා. විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සලය මඟින් අපේ රටට කරන බලපෑම්. චිත්‍රපටයේ ප්‍රධාන තේමාව ඒ දේශපාලන පසුබිම නෙවෙයි. ඒත් යම් ආකාරයකට මේ දෙමළ ඩයස්පෝරාව හරහා අපට එල්ලවෙන බලපෑම් ගැන කිසියම් දැනුම්වත් කිරීමක් ප්‍රේක්‍ෂකයාට ලබාදෙනවා. මොකද හුඟ දෙනෙක් මේ වචන දැනගත්තට ඇත්තටම දන්නේ නෑ ඒවායේ තේරුම. මෙතනදි නාලක ඉතාමත් සරලව, උපක්‍රමශීලිව ඒ තත්ත්වය ගැන අවබෝධය ප්‍රේක්‍ෂකයාට ලබාදෙනවා.

නමුත් මෙය ආකර්ෂණීය සිනමාපටයක්?

යොවුන් ආදරය පසුබිම් කරගෙන තැනුණ චිත්‍රපටයක්. ඒ සුන්දරත්වය චිත්‍රපටය පුරාම දිවෙනවා. අර දේශපාලන පණිවිඩය අපි ප්‍රේක්‍ෂකයාට ලබාදෙන්නේ නීරස විදිහට නෙවෙයි. මම හිතන්නේ මීට පෙර අපේ සිනමාවේ මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය වී නැහැ. අද අපට ජාත්‍යන්තරයෙන් එල්ල වී තිබෙන අභියෝග කොහොමද අපි ජය ගන්නේ කියන කාරණය අපි මතුකර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ තමයි මේ චිත්‍රපටය අපි රූගත කළේ.

ප්‍රවීණ සහ නවක නළු, නිළි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටයට ලැබෙනවා...?

ඔව්, ඇත්තෙන්ම දැන් රවීන්ද්‍ර රන්දෙණිය, තිස්ස විජේසුරේන්ද්‍ර, ඇන්ජලා සෙනෙවිරත්න, රන්ජන් රාමනායක වගේ ප්‍රවීණයෝ මේ චිත්‍රපටයේ රඟපානවා. රන්ජන් ද්විත්ව චරිත නිරූපණයක යෙදෙන්නේ. ඒ වගේම නවකයන් හතර දෙනෙකුත් නාලක මේ චිත්‍රපටයෙන් ප්‍රේක්‍ෂකයාට හඳුන්වා දෙනවා. තරුණයන් තිදෙනෙක් සහ තරුණියක්. මේ ඔවුන්ගේ ප්‍රථම චිත්‍රපටය. ඉතින් මේ ප්‍රවීණයන්ගේ සහ නවකයන්ගේ මේ සුසංයෝගය ගොඩක් හොඳයි කියලා මම හිතනවා.

මේ චිත්‍රපටය හරහා තවත් පිරිසක් ක්ෂේත්‍රයට එක්වෙනවා...?

සමිත අලහකෝන් මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂවරයා. ඔහුගේ ප්‍රථම චිත්‍රපටයත් ‘රූපාන්තරණ’ තමයි. ඊට පස්සෙ අපි සංස්කරණය ගත්තොත් නිශාන් මොටාගෙදර. ඔහුගේත් ප්‍රථම චිත්‍රපටය. ඒ වගේම ජනපි‍්‍රය ගායන ශිල්පී ළහිරු පෙරේරා ගේ කුලුඳුල් චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණය. ඉතින් මේ ඔක්කොම එක්ක බැලුවාම ‘රූපාන්තරණ’ සුවිශේෂී චිත්‍රපටයක් කියලා මට කියන්න පුළුවන්.

ඔබේ කලින් චිත්‍රපට දෙකටම වඩා අඩු පිටපත් සංඛ්‍යාවකුයි ‘රූපාන්තරණ’ සිනමා ශාලාවලට මුදාහැර තිබෙන්නේ?

‘අනිත්‍යා’ චිත්‍රපටයේ පිටපත් විසි අටක් සහ ‘ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ’ පිටපත් විසි හතරක් අපි ප්‍රදර්ශනය කළා. ‘රූපන්තරණ’ පිටපත් විස්සක් පමණයි අපි මුද්‍රණය කළේ. ර්.ර්‍ථ.ධ් මණ්ඩලයේ තමයි අපි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ. නමුත් ඛ්ඡ්ඹ් සහ රිත්මා මණ්ඩලවල සිනමාශාලාත් අපි ලබාගෙන තියෙනවා. ජොයින්ට් රිලීස් එකක් විදිහට තමයි අපි මේ චිත්‍රපටය රීගල් ඇතුළු සිනමාහල්වල ප්‍රදර්ශනයට එක්කර තිබෙන්නේ.

ඇතැම් නිෂ්පාදකවරු පිටපත් පනස්පහ දක්වා තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට උත්සුක වන යුගයක ඉන් අඩකටත් වඩා අඩු පිටපත් සංඛ්‍යාවකින් වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි කියා ඔබ හිතනවාද...?

මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තියෙනවා. පිටපත් ප්‍රමාණය වැඩිකර ගන්නා තරමටම අපට කියන්න බෑ ආදායම වැඩි වෙනවා කියලා. ඒක මම සහ අනෙකුත් අධ්‍යක්‍ෂවරුන් අත්දැකීමෙන් දන්නවා. සමහර සිනමාහල්වලින් ඒ පිටපතට වැය කරන මුදල පවා පියවා ගන්න බෑ. සමහර චිත්‍රපට පිටපත් පනස්පහ දාලා සාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම සමහර චිත්‍රපට අසාර්ථක වුණා. මුලදී ඇතැම් නිෂ්පාදකවරු උත්සාහ කළේ උපරිම පිටපත් ප්‍රමාණයක් මුදා හරින්න. ඒත් දැන් ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා. හොඳට හිතලා, මතලා තමයි අද පිටපත් සංඛ්‍යාව තීරණය කරන්නේ. මම මහා පරිමාණයේ චිත්‍රපට නිෂ්පාදකයෙකුත් නෙවෙයි නේ. ඒ නිසා ඒ වගේ පිටපත් ප්‍රමාණයකින් පුළුවන් මගේ ටා(ර්)ගට්ස්වලට යන්න.

ඔබ ව්‍යාපාර කළමනාකරණය ගැන හසල දැනුමක් තිබෙන අයෙක්. සිනමාව දකින්නෙත් ව්‍යාපාරයක් හැටියටද...?

අසංක, මම සිනමාවට පය තියන්නේ ව්‍යාපාරික අරමුණු පෙරදැරිව නෙවෙයි. ඒකෙන් මම කියන්නේ පාඩුවෙන්න චිත්‍රපට හදනවා කියලත් නෙවෙයි. හැබැයි මම එහෙම අධික ලාභ බලාගෙන, ප්‍රධාන ව්‍යාපාරයක් හැටියට සිනමාවේ රැඳී සිටින්නේ නැහැ. මම සිනමාවට සම්බන්ධ වුණේ ඒකට මගේ තිබුණ අසීමිත කැමැත්ත සහ පවුල් පසුබිම නිසයි. එතනදි මම බලන්නේ නාලක වගේ තරුණ අයට උදවු කරලා ඔවුන්ට යම්කිසි සහයෝගයක් දෙන්නයි. මහා පරිමාණයේ චිත්‍රපට නිෂ්පාදනයට මම යනවා කියන්නේ ඒ ආකල්පයෙන් මිදෙන්න වෙනවා. එතකොට ඒ ගන්න තීන්දු, තීරණවලදී මට රැඳෙන්න වෙනවා වාණිජමය පැත්තේම. ඊට වඩා හොඳයි මධ්‍යස්ථව මේ කර්මාන්තයේ නියැළීම. සිනමාව වෙනුවෙන් ඉදිරියේදී මම කරන්න හිතාගෙන ඉන්න දේවල්වලට ඒක ලොකු රුකුලක් වේවි.

මීට ඉහත ප්‍රදර්ශනය වූ ඔබේ චිත්‍රපට දෙකම මම හිතන්නේ ලාභ ඉපැයුවේ නැහැ. අද ප්‍රේක්‍ෂකයො සිනමාහල්වලට ගෙන්වා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න නිෂ්පාදකයාට සිදු වී තිබෙනවා. මේ චිත්‍රපටයේ දී කොහොමද ඒ අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ?

ඕනෑම ක්ෂේත්‍රයක වගේම සිනමාවේදීත් අත්දැකීම් තුළින් තමයි අපි ඒ දේවල් ඉගෙන ගන්න ඕනෑ. දැන් කලින් චිත්‍රපට ප්‍රදර්ශනයේදී අපෙන් සිදු වූ අඩුපාඩු, අපට වැරදුණු තැන් මොනවද කියලා තේරුම් අරගෙන වැඩකළ යුතු වෙනවා.

මේ වෙනකොට ඔබ ඒවා නිවැරදිව හඳුනාගෙන තියෙනවාද?

සියයට, සීයක් කියන්න බෑ. මොකද මේ රිලීස් එකේදීත් අපි අලුතින් තව දේවල් ඉගෙන ගනියි. ගිය පාර අපට වැරදුණු තැන් සියල්ලටම අපි පිළියම් යොදලා තියෙන්නේ. මේක අලුතින් දේවල් ඉගෙන ගනිමින් ඉදිරියට යන්න ඕනෑ තැනක්. එතනදි මම හිතනවා කලින් චිත්‍රපට දෙකෙන්ම ලබපු අත්දෑකීම් එක්ක ගොඩක් සාර්ථක තැනකට මේ චිත්‍රපටය ගේන්න පුළුවන්ය කියා.

එතකොට ඔබ විශේෂ ප්‍රේක්‍ෂක පිරිසක් මේ චිත්‍රපටයට ඉලක්කර ගෙන තියෙනවාද?

‘රූපන්තරණ ඇත්තටම ෆැමිලි ෆිල්ම් එකක් කියන්න පුළුවන්. අර මම මුලින් කිව්වා වගේ සමාජමය, දේශපාලනමය පසුබිමකුත් චිත්‍රපටයේ තියෙනවා. ඒක ඉතාමත් සූක්ෂම ලෙස තමයි ප්‍රේක්‍ෂකයාට දැනුම් දෙන්නේ ඒ පණිවිඩය. හැබැයි ඒක ඇතුලේ ඉතාමත් රසවත් කතා පුවතක් තියෙනවා. කලාත්මක සහ වාණිජ කියන දෙපැත්තම තියෙන මැද මාවතේ චිත්‍රපටයක් කියලා හඳුන්වන්න මම කැමැතියි. ප්‍රේක්‍ෂකයා මොහොතින්, මොහොත කුතුහලයෙන් පුරවන චිත්‍රපටයක්. පටන් ගැන්මේ ඉඳලා අවසානය දක්වාම ඒක තියෙනවා. ;ප්‍ර්ක්‍ෂකයා බලාපොරොත්තු වෙන, ඔවුන් සිතන අවසානය නෙවෙයි චිත්‍රපටය නිමාවෙදි තියෙන්නේ.

නිෂ්පාදකවරයකු ලෙසින් ඔබ අපේ අනාගත සිනමාව පිළිබඳ දකින සිහින කොයි වගේද?

ලාංකික සිනමාව අනිවාර්යයෙන්ම අපි ජාත්‍යන්තරයට රැගෙන යා යුතුයි. සමහරු කියනවා ඒක අපහසු කාර්යයක් කියලා. ඒත් අපි එය කළ යුතුයි. අපි ඊට අවශ්‍ය පසුබිම හදන්න ඕනෑ. ඒක හදිස්සියේ කරන්න බෑ. අද ඉන්දියාව ගත්තොත් හොලිවුඩ් ගාණටම නැත්නම් ඊටත් වැඩිය ඉදිරියෙන් ඉන්නවා කියන්න පුළුවන්. ඒ අය දවසෙන් දෙකෙන් නෙවෙයි ඒ තත්ත්වයට ආවේ. ඔවුන්ගේ වාණිජ සිනමාව අති දැවැන්තයි.

ඔබ ඒ කතා කළේ සිනමාවේ දැවැන්තකම ගැන. නමුත් කලාත්මක සිනමාවේදී අපේ සිනමාකරුවන්, නළු, නිළියන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙනවා නේද?

ඔව්, ඒක හොඳ ප්‍රවණතාවක්. අද ජාත්‍යන්තර සිනමා උලෙළවලදී නම්බර් වන්, නම්බර් ටූ එන චිත්‍රපට දිහා බලපුවාම අපට හිතාගන්නවත් බෑ ඒ රටවල සිනමා කලාව ඒතරම් දියුණුයිද කියලා. මොකද මහා සිනමා සම්ප්‍රදායක් තියෙන රටවල්වලට විතරක් නෙවෙයි අද ඒ සම්මාන හිමිවෙන්නේ. අපේ රටෙත් එහෙම නිර්මාණශීලී සිනමාකරුවන් ඉන්නවා. හැබැයි ඔවුනට කිසිවකු අතහිත දෙන්නෙ නෑ. ඒ වගේම අපේ සිනමාවේ තිබෙන ගැටලුවලට ඉක්මන් විසඳුම් අවශ්‍යයි. අපි ඩිජිටල් සිනමාව වෙත ඉක්මණින්ම යා යුතුයි. චිත්‍රපට බෙදා හැරීම විධිමත් කළ යුතුයි. ඒවාට අපි වැඩ පිළිවෙළවල් සකස් කළොත් මම හිතන්නේ ඒ ගැටලු විසඳගන්න බැරි වෙන්නේ නැහැ.

නිෂ්පාදකවරයකු ලෙසින් ගත්තොත් කඩිනමින් විසඳාගත යුතු ගැටලු විදිහට ඔබ දකින්නේ මොනවාද?

චිත්‍රපට බෙදා හැරීමේ පිළිවෙත මීට වඩා ක්‍රමවත්ව සහ සාධාරණව ඉටුවිය යුතුයි. මොකද මගේ පසුගිය චිත්‍රපට දෙකේදීම ඒක මම අත් වින්ඳා. මේ චිත්‍රපටයේදීත් යම්තාක් දුරකට අපි ඒක අත්විඳීමින් සිටිනවා කියා කියන්න පුළුවන්. ඉතින් එතනදි මීට වඩා සාධාරණ සිස්ටම් එකක් හැදෙන්න ඕනෑ. මම කාටවත් චෝදනා කරනවා නෙවෙයි. නමුත් චිත්‍රපට සංස්ථාව හරහා තමයි මේ කාරණාවට විසඳුම් සෙවිය යුත්තේ. මොකද ඒ අධිකාරී බලය සංස්ථාව සතුයි. නමුත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි ප්‍රශ්නය. ඒ වගේම අපි තවම ඩිජිටල්කරණයට නොයාම නිසා සිදුවන අනවශ්‍ය මුදල් වැය කිරීම්. මෙවැනි අභියෝග අපි ජයගත යුතුව තිබෙනවා. එතකොට අපේ සිනමාවේ අනාගතය ගැන අපට මීට වඩා සුබවාදීව කතා කරන්න පුළුවන්.

ඉදිරියේ තිරගත වීමට නියමිත ඔබේ අනෙකුත් චිත්‍රපට ගැන සඳහන් කළොත්...?

නාලකගේම තුන්වැනි චිත්‍රපටය “අග්නි වර්ෂා” ඒකෙ රූගත කිරීම් අඩක් දැන් නිමයි. ඊළඟට අර්ජුන් කමලනාත් ගේ “ආශාවේ මායා” චිත්‍රපටයේ ඩබින් කරන්න තියෙනවා. උපාලි ගම්ලත් අධ්‍යක්‍ෂණය කළ “ගුරු ගීතය” සම්පූර්ණයෙන්ම වැඩ නිමයි. මම නිෂ්පාදනයෙන් දායකවන හත්වැනි චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නේ ප්‍රසන්න විතානගේ. ඒක ටිකක් දීර්ඝකාලීන ව්‍යාපෘතියක්. තවම එහි තිරනාටකය අධ්‍යයනය කරමිනුයි මම ඉන්නේ.