වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

උස කෙල්ලෝ පේලියයි මිටි කොල්ලෝ පේලියයි

තිරයේ පෙම්වතුන් ආදරය අහස උසට පෙන්වීමට උත්සාහ කළත්, පෙම්වතියගේ උස පෙම්වතාට වඩා අඩුවෙන් තිබීම හොඳ සුදුසුකමක් විය. එහෙත් කලියුග කාලයේ මේ සුදුසුකම උඩු යටිකුරු වී තිබේ. අද කාලයේ තිරයේ පෙම්වතුන් ආදරය කිරීමට කැමැති තමන්ට වඩා උස තාරකාවන්ට වාගෙයි.

මේ වන විට බොලිවුඩයේ සියලු පෙම්වතුන්ගේ අංක එකේ ආදරවන්තිය වී සිටින්නේ දීපිකා පදුකෝන්ය. ඇය ෂාරුක් ඛාන්ට වඩා අඟලක් උසය. ‘කොක්ටේල්’ සිනමාපටයේ දීපිකාගේ පෙම්වතා වන සායිෆ් ඇයට වඩා අඟල් දෙකකින් උස අඩුය. එහෙත් තාරකාවගේ උස වැඩිකම ඔවුන් සියලු දෙනාම භාර ගත්තේ සතුටිනි. ‘රූගත කිරීම් අතරේ ඇය මට උස රාක්කවලින් ඇඳුම් අරගන්න උදව් වෙනවා’ ෂාරුක් පවසන්නේ මහත් විනෝදයෙනි. අඩි පහයි අඟල් හයක් උස අමීර් ඛාන්, අඩි පහයි අඟල් අටක් උස කත්‍රිනා කායිෆ්ට ‘ඩූම් 3’ සිනමාපටයේ පෙම් කිරිමෙන් පසු කියා සිටියේ උස නිළියන්ට ආදරය කිරීමට තමන් වඩාත් කැමැති බවයි.

එහෙත් සෑම කාලයකදීම තිරයේ පෙම්වතුන් එසේ සිතුවේ නැත. ඔවුන් විශාල අකරතැබ්බවලට මේ නිසා මුහුණ පා තිබේ.

සීනත් ආමන් අසූවේ දශකයේ සිටි උසම උස නිළියකි. ඇය අඩි පහයි අඟල් නවයක් උසය. සීනත්ගේ උස නිසා ඇය සමඟ රඟපෑ වීරයන් මුහුණ පෑ දුෂ්කරතා සහ උසට එල්ල වූ නොමනාපකම් ගැන ඇයගේ දිනපොත් පුරා සටහන් වී තිබේ. ඇය ඉදිරියේ උසට පෙනීමට ඔවුන්ට අඩි උස පාවහන් පැළඳීමට, කුෂන් මත නැඟී රඟපෑමට පවා සිදු වී තිබේ. ඒ යුගයේ ජනප්‍රියම ප්‍රේමවන්තයන් වූ රාජේශ් ඛන්නා සහ රිෂි කපූර් වැනි තරමක් උසින් අඩු නළුවන්ට ඇය හා රංගනයේ යෙදීම දුෂ්කර ක්‍රියාවක් විය.

පැරැණි නිළියක වූ සහීඩාට, සංජීව් කුමාර් වැනි නළුවන්ගෙන් තහංචි එල්ල විය. ‘අඩි උස පාවහන් පලඳින්න එපා. කොණ්ඩෙ උසට පීරන්න එපා’ යනුවෙන් අණ දෙද්දී සහීඩා ඒවා ඉවසාගෙන සිටියේ අසීරුවෙනි. ඇය අඩි උස පාවහන් දැමීමටත් කොණ්ඩය උස්සා පීරීමටත් කැමැති තාරකාවක වූවාය.

ෂාරුක් පවසන්නේ දැන් ඔහුට රඟන්නට ලැබෙන්නේම තමන්ට වඩා උස තාරකාවන් සමඟ කියායි. අඩි පහයි අඟල් හතක් උස සල්මන් ඛාන් සුෂ්මිතා, කත්‍රිනා වැනි නිළියන් නිසා දැඩි අසීරුතාවකට පත් වෙයි. සෝනම් කපූර් සමඟ රඟපෑමේදී ෆාරන් අක්තර්ට ද, අඩි පහයි අඟල් තුනක් උස හියුමා කුරේෂිට සහ අඩි පහයි අඟල් පහක් උස අර්ෂාඩ් වර්ෂිට දීපිකා සමඟ රඟපෑමේ දී ද ගැටලු ඇති විය.

අනුව දශකයේ තාරකවන් වූ මධූරී ඩික්සිත්, කරිෂ්මා කපූර්, කාජල්, රාණි මුඛර්ජි, ප්‍රීති සින්තා සාමාන්‍ය උසකින් යුතු වීම නිසා නළුවන්ට උස පිළිබඳ ගැටලු මතු නොවීය. එහෙත් දැන් අන් කවරදාටත් වඩා උස ගැටලුවක් වී තිබෙන්නේ රූප රාජිනියන් සහ මෝස්තර නිරූපිකාවන් සිනමා ක්ෂේත්‍රයට පා තැබීම නිසයි. ඔවුන් සියලු දෙනාටම උස අවශ්‍යම සුදුසුකමක් වී තිබේ.