වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




රංගන ශිල්පිනියක් වුණාට මං තරුපතිගෙ බිරිඳයි

රංගන ශිල්පිනියක් වුණාට මං තරුපතිගෙ බිරිඳයි

කලකට පසු ගයනි හමු වී

සෙල්ලම් ගෙදර බොනික්කී දුව පැන නැටුවාය. ගී සින්දු ගැයුවාය. මැකරුන් අහුරක් සාක්කුවට දමා හෙල්මට හොරෙන් එකින් එක ගෙන කෑ ඈ හෙල්ම දුටු විට මැකරුන් හංගා ගත්තාය. සිය පවුලෙහි අනාගතය වෙනුවෙන් වෙහෙසෙන්නී පිළිබඳ අල්ප මාත්‍රයකුඳු වටහා ගැනීමක් නොමැති හෙල්ම සිතුවේ අනෙකකි. නෝරා හෙවත් සිය බිරිය වගකීම් විරහිත කෙනෙකු ලෙසය. එනමුදු ‘සෙල්ලම් ගෙදර’ වේදිකා නාට්‍යය අවසානයේදී හෙල්ම නොදත් බොහෝ දේ ප්‍රේක්ෂකයා වටහාගෙන අවසානය.

ඒ සෙල්ලම් ගෙදර වේදිකා නාට්‍යයෙහි බෝනික්කී නොහොත් නෝරා අප අසලය. ඈ ගයනි ගිසන්තිකාය. මීට වසර කිහිපයකට ඉහත මේ බෝනික්කීව මට මුණ ගැසෙන්නේ වේදිකාවේදීය. ඒ හමුවීමත් සමඟ නැවතත් ඇය කාලයකට පසු වේදිකාවට පිවිස සිටින්නීය.

කාලයකට පසු කෙරෙන රංගන ආගමනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මා විමසුවේ ඇගේ රූප සොබාව පිළිබඳව ද සැලකිලිමත් වෙමිනි.

‘කාලයකට පස්සෙයි මා මේ රංගන කටයුත්තට මුල පිරුවේ. තරුත් එක්ක ලංකාවට එනකොට නම් මම තීරණය කරගෙන හිටියේ රංගන කටයුතු ආරම්භ කරන්නේ බින්දුවේ ඉඳල බවයි. ඒත් අධ්‍යක්ෂවරුන් ඒකට මට ඉඩ තිබ්බේ නැහැ. මුලින්ම මම ලංකාවට ආ බව ආරංචි වුණු බුද්ධික දමයන්ත ඔහුගේ අලුත්ම වේදිකා නාට්‍යයට මා තෝරා ගෙන තිබුණා. මෙහි මම රඟපෑව චරිතය සඳහා ඊට පෙර තෝරා ගෙන තිබුණේ වෙනත් රංගන ශිල්පිනියක්. ඒ රංගන ශිල්පිනියගෙන් ඔහුට අවශ්‍ය චරිතය නියම අයුරින් නොලැබුණු නිසා මේ චරිතය මට ලැබුණා.

මා ඒ චරිතයට වඩාත් හොඳීන් ගැළපුණා. දිගින් දිගටම පුහුණුවීම් කළාට පස්සේ මගේ පෙර රංගන පුරුදු යළි පැමිණියා. රංගන කටයුතුවලින් කාලයක් ඈත් වෙලා සිටියත් ඒ සියල්ල පෙර අයුරෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. ඒ සඳහා තරමක් මහන්සි වෙන්න වුණත් මට ඒ ගැන දුකක් නැහැ. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර තව තවත් මා වේදිකාවට ඇඳ බැඳ තබනවා.’

කාලයකට පසුව ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ප්‍රමුදිතව ඈ පැවසුවාය.

‘ඒ වේදිකා නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලටත් ඉදිරිපත් වෙලා නේද?’

‘ඔව්, පසුගියදා ටවර් රඟහලේදී ‘මරා දැමූ ජීවත් වන මිනිසා’ වේදිකා ගත වුණා. කාලයකට පස්සේ රඟපෑ රංගනයත් සමඟ මට තරගයක යෙදෙන්නට සිදුවුණා. ඒ නිසා අලුත් පරපුරේ අය වගේම පැරැණි අයත් ඒ තරගයේ ඉන්නවා. චේ ගුවේරා නම් දේශපාලන චරිතය හා බැඳුනු ජූලියාගේ චරිතයට මා සාධාරණයක් ඉටු කිරීමට උත්සාහ ගත්තා.’

ගයනි පවසන්නේ දැඩි අධිෂ්ඨානයෙනි.

‘කලකට පසුව ආදරය කරන්න පහසු වුණාද?’

‘ආදරය කරන්න බොහොම ලෙහෙසියි. අප මුලින්ම ආදරය කරන්නේ අපට ලැබෙන පිටපතටයි. ඒ පිටපතෙහි බලාපොරොත්තු වන අයුරෙන් මා චේ ගුවේරාට ආදරය කළා. ඒ වගේම ආදරය කියන්නෙත් එක්තරා හැඟීමක්. ඒ නිසා ආදරවන්තියක් ලෙස රඟපාන්න මට අපහසු වුණේ නැහැ.’

ගයනි ගිසන්තිකාත්, තරුපති මුණසිංහත් විවාහ වන්නේ ආදරයේ බැඳීමක ප්‍රතිඵලයකිනි.

‘චේට ආදරේ කළේ තරුපතිට ආදරේ කළ විදියටද?

‘නැහැ. මම නෙවෙයි එතැන ඉන්නේ. ජූලියා කියන චරිතය තමයි එතැන ඉන්නේ. ජූලියාට ඕන විදියට චේට ආදරය කළා. ගයනි ගිසන්තිකාට ඕන විදියට තරුපතිට ආදරය කළා.’

‘තමන්ගේ පෞද්ගලික ආදරයේ තිබෙන යම් යම් දේ වේදිකා නාට්‍යයේ ආදරය ඇතුළත නොතිබෙනවා කියලා කියන්න පුළුවන් ද?’

‘ඔව්. ඇත්තටම පෞද්ගලිකව මට හා තරුට දැනෙන හැඟීම් මා කරන චරිතවලදී ඒ ඒ අවස්ථාවලට බොහොම ප්‍රයෝජනවත්. අපට දැනෙන හැඟීම නියම අයුරෙන් අපි වටහාගෙන තිබෙනවා නම් චරිතය රඟපාන අවස්ථාවලදී ඒ හැඟීම ඉබේම එනවා. එතකොට ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ නෑ අප රඟපානවා කියලා. අපිට ලැබෙන අත්දැකීම්, අප දකින දේ සියල්ල යම් විදියකින් ග්‍රහණය කරලා තියාගෙන හිටියොත්, අපි රඟපාන අවස්ථාවේදී අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඒ අත්දැකීම් අපට වඩා ප්‍රයෝජනවත් වන්නේ ඒ වගේ අවස්ථාවලදීයි.’

දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස නමක් දිනා සිටි ගයනි ගිසන්තිකා සිය රංගන දිවියේ සරුම කාලයෙහි හදිසියේම විදේශගත වූවාය. මේ වන විට ඈ නැවත ලංකාවට පිවිස සිටින්නීය.

‘ඔබ නැවතත් විදේශ ගතවීමට අදහස් කරනවාද?’

‘අපි ඔස්ට්‍රේලියාවට ගිය මූලිකම කාරණය වෙන්නේ මගේ සැමියාගේ වැඩිදුර අධ්‍යාපනය සඳහායි. එහේ ඔහු මෙල්බන් විශ්ව විද්‍යාලයේ කළේ සවුන්ඩ් ඩිසයින් පිළිබඳ මාස්ටර් එකක්. ඒකෙන් පස්සේ තමයි අපි ලංකාවට ආවේ. අවුරුදු හයක් වගේ කාලයක් එහි හිටියත් ලංකාවට එනවාය කියන මතයේ තමයි අපි දෙදෙනාම මුල ඉඳලාම හිටියේ. නැවතත් විදේශ ගතවීමේ අදහසක් අපට නැහැ.’

ඒත් ඔබ විදේශ ගත වූයේ ඔබගේ රංගන දිවියේ හොඳම කාලයේ?’

‘මම රංගන ශිල්පිනියක් වුණාට තරුපතිගේ බිරිඳනේ. අනිත් එක තමයි රංගන ශිල්පිනියක් විදියට විවාහ වුණු කාලයේදී ඒ මාර්ගයේ ගමන් කරන්න සම්පූර්ණ ඉඩ හසර ඔහු මට ලබා දුන්නා. ඒ නිසා ඔහුගේ අනාගත සිහිනයක් වුණු අධ්‍යාපන කටයුත්තට විදේශ ගතවීමට මා මගේ කාලය කැප කළා. ඒක මම කළේ බොහොම සතුටින්. ඒ වගේම මමත් රංග කලාව පිළිබඳ පුංචි හැදෑරීමක් කළා. ඒ කාල වේලාව තිබුණු විදියටයි.’

සිංහල ජනතාව වැඩි සංඛ්‍යාවක් වාසය කරන ඔස්ට්‍රේලියාව වැනි රටකදී ලැබුණු පිළිගැනීම කොපමණ තරම් වන්නට ඇත්දැයි නොඇසුවොත් අඩු පාඩුවකි.

‘ඇත්තටම එහේ වාසය කරන සිංහල පවුල්වල බොහෝ දෙනෙක් අපට උදව් කළා. ඔවුන් නිතරම එහේ හිටියත් ළමයින්ව හදා වඩා ගන්න උත්සාහ කරන්නේ සිංහල හුරුවටයි. තරු ඒ අයට සංගීතය ඉගැන්නුවා. ලංකාවට එනකොටත් ගුවන්තොටුපලේදී මාව හඳුණා ගන්නට තරම් ප්‍රේක්ෂකයෝ කිහිප දෙනෙක් එහි සිටීම පිළිබඳ මට තියෙන්නේ බොහොම සතුටක්. එයින් කියන්නේ අවුරුදු 6 ක් විදේශයක හිටියත් මාව තවමත් ඔවුන්ට අමතක නොවූ බවයි.’

‘ඔබගේ රූපය දැන් තරමක් වෙනස් වෙලා’

‘ඔව් පුතාලා දෙන්නා ලැබුණට පස්සේ මම තරමක් මහත් වුණා. මයෝන් මොවිඳු කියන්නේ ලොකු පුතා. ඔහු මේ වෙනකොට ළදරු පාසල් යනවා. මිතුන් සහස් කියන්නේ දෙවැනියා. ඔහුට තවම අවුරුදු දෙකයි. ඒ අයට කිරි දෙන්න වුණ නිසා ටිකක් වැඩිපුර කන්න වුණා. ඒත් දැන් නම් ටිකක් කෑම පාලනය කළ යුතුයි. මේ ළඟදී රඟපෑමෙන් සම්බන්ධ වුණා අශෝක අතාවුද හෙට්ටිගේ චිත්‍රපටයකට. එතැනදි ඔවුන් කිව්වේ මගේ පෙර තිබුණු මූහුණට වඩාත් කැමැති බවයි. පෙර සිටිය තත්ත්වයටම එන්න බැරි වුණත් ඒ හා සමාන තත්ත්වයකට රූපය හදා ගත යුතුයි. කොහොම වුණත් දරුවන්ගේ කටයුතුත්, නිවසේ කටයුතුත් අතර සිටින විට නම් කාලය ගත වෙනවා නොදැනෙන තරම්. තරුපතිගේ වැඩ කටයුතුවලටත් සහයෝගය දෙන අතරම මට ලැබෙන නිර්මාණ කටයුතුවලටත් දායක වෙනවා. ළඟදී තරුපති ර්3 ස්ටුඩියෝ කියලා ස්ටුඩියෝ එකක් විවෘත කළා. කොට්ටාවේ රුක්මල්ගම තිබෙන අපේ නිවෙසෙමයි ඒ ස්ටුඩියෝ එකේ කටයුතු කෙරෙන්නේ.’

අනාගත බලාපොරොතේතු රැසක් හද පුරවා ගනිමින් සිය දරු දෙදෙනා සහ සැමියා සමඟ දවස ගෙවන ගයනි ගිසන්තිකා ගත කරන්න් තෘප්තිමත් ජීවිතයකි. ඕ ඒ සතුට හද රඳවමින් අපට සමු දුන්නේ දඟකාර පුතුන් දෙදෙනා තමා වෙත කැඳවා ගනිමිනි.

තරුපති ගයනි දරුවන් සමඟ