වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




පිළිකාවක් කියලා මනීෂා දැනගත්තේ අපේ කතාබහ අතරතුර

පිළිකාවක් කියලා මනීෂා දැනගත්තේ අපේ කතාබහ අතරතුර

භාෂිනී සමරසිංහ

දුක හිතෙන කතාවක් හෙළිදරව් කරයි

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. දැන් වෙලාව ප. ව. 02.00 යි. ටින් . . . ටින් . . . ටින් . . . හුරු පුරුදු ගොන්ගලයේ හඬ එදා ඇසුණේ තරමක් වෙනස් ලෙසිනි. තාලයට වදින හඬ වෙනස් වූයේ කෙසේදැයි සොයන්නට කඩි මුඩියේම විකාශන මැදිරියට දුවගෙන ආවේ ගුවන් විදුලියේ සභාපති වූ චිත්‍රානන්ද අබේසේකර මහතාය. වෙනදා විකාශන මැදිරියේ නිවේදිකාව ලෙස සිටින රත්නා සමරසිංහ අසල අද තවත් අමුත්තෙක් සිටියි. ඇය සුදු ඇඳුමින් සැරැසුණු කෙළි පැටික්කියකි. එතැන වූ සිදුවීම ගැන ඔහුට අවබෝධ වූයේ ඉන් පසුවය. රත්නා සමරසිංහ සමඟ සිටි ඇයගේ දූ සිඟිත්තිය අම්මාට සහායට ගොන්ගලය ගැසීම පුරුද්දකි. එහෙත් එදින ඒ හඬ වෙනස් ලෙසකින් වාදනය කිරීමට පුංචි දුව සිතුවාය. බරපතලකම නොදැන ඇය දිගටම එය වාදනය කළේ ඒ නිසාය.

මේ අකරතැබ්බයත් සමඟ ගුවන් විදුලියේ විකාශන මැදිරියට දරුවන් රැගෙන යාම තහනම් විය. එහෙත් ඒ වරද කළ රත්නාගේ දූ සිඟිත්තිය ගුවන් විදුලියට ඒම නම් නතර නොවීය. එදා සෙල්ලමට ගොන්ගලය ගෑසූ ඒ දඟකාර කෙලි පැටික්කි දැන් රටම දන්නා නිවේදිකාවකි. ශ්‍රී ඇහැව්වොත් සල්ලි තමයි කියූ පමණින් කවුරුත් දන්නා ඇය භාෂිනී සමරසිංහයි. ඈ මාධ්‍ය දිවියේ දිගු ගමනකට මුළු පිරූ දක්ෂ නිවේදිකාවකි.

භාෂිනී නංගී කියන්නකෝ ඔයා මේ තරම් දුර ගමනක් අවේ කොහොමද කියලා?

ඇත්තටම දක්ෂ නිවේදිකාවයි කිව්වාම ඒ ගෞරවය මුලින්ම යන්න ඕනෑ මගේ මවුපියන්ට. ඇත්තටම රත්නා සමරසිංහ, පාලිත සමරසිංහ කියන්නේ ගුවන් විදුලියේ හිටිය දක්ෂ නිවේදක දෙපොලක්. ඒ විතරක් නෙවෙයි මගේ පියා ප්‍රධාන නිෂ්පාදක තනතුර, අධ්‍යක්ෂ තනතුර දරපු ප්‍රවීණ, ප්‍රධාන නිවේදකයාත් කිව්වොත් වරදක් නැහැ. ඇත්තටම මට ලැබුණු ඒ ආභාෂය නිසයි මම මේ ක්ෂේත්‍රයට පිවිසුණේ. අපේ අම්මගෙයි, තාත්තගෙයි එදා ජීවිතය වෙලා තිබුණේ ගුවන් විදුලිය. අපේ මහ ගෙදර වෙලා තිබුණෙත් ගුවන් විදුලිය.

ඒ තරමටම ඔවුන් සේවයට කැප වෙලා හිටියේ. මම ඉපදෙන්න බඩේ ඉන්නකොටත් අම්මා නිවේදන කටයුතු කරනවා. ඒ කියන්නේ මම බඩේ ඉන්න කොටත් හිටියේ ගුවන් විදුලියේ. ඉතින් මම කුඩා කාලේම ගුවන් විදුලි නාට්‍යවලට සම්බන්ධ වුණා. සුගතපාල ද සිල්වා මහත්තයාගේ නාට්‍යවලට එකතු වුණේ මං තුනේ හතරේ පන්තිවලදී. ඒ කාලේ මම වගේම සෙට් එකක් හිටියා ගුවන් විදුලියේ අයගෙ දරුවෝ. උරේෂා, තමාලි, මම අපි ඔක්කොම ඉතින් පාසල් ඇරිලා කෙලින්ම එන්නේ ගුවන් විදුලි සංස්ථාවට.

පුංචි කාලේ පටන්ම මේවා දැකලා දැකලා අවුරුදු 13 – 14 කාලය වෙද්දී මටත් නිවේදිකාවක් වෙන්න ආසාව ඇති වුණා. මම විශාඛා විද්‍යාලේ ඉඳන් ලිබටි ප්ලාසා එකට කොණ්ඩේ කපන්න ගිය වෙලාවක ස්ටැන්ලි ප්‍රනාන්දු මහත්තයා අපේ තාත්තාට කිව්වා සහන නිවේදකයෝ බඳවා ගන්නවා කියලා. මම සුදු ඇඳුම පිටින්ම එදාම සම්මුඛ පරීක්ෂණයට ආවා. ඒ පරීක්ෂණය සමත් වුණා. ඉන් පසුව ‘සවන’ ගුවන් විදුලි සේවයට එක් වුණා. හැබැයි මම නිවේදිකාවක් කරන්න මවුපියෝ ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. මම A/L සමත් වුණාට පස්සේ මාව ඉගෙන ගන්න ඉන්දියාවට යවන්න තීරණය කළා. මම අකැමැත්තෙන් හරි ඉන්දියාවට ගියා. ඒත් මගේ ආසාව තිබුණේ නිවේදිකාවක් වෙන්න. දැන් මට හිතෙනවා ඇත්තටම එදා ගත්තු තීරණය නිවැරැදියි කියලා.

ඇත්තට ඇයි ඔබ එහෙම කියන්නේ? ඔබට වෛද්‍යවරියක් වගේ රැකියාවක් තෝරා ගන්න තිබුණු අවස්ථාවක් ඇයි මඟ හැරියේ?

ඔව්. මම ඒ ගත්තු තීරණය නිසා අද හොඳ අස්වැන්නක් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ මම වසර ගණනාවක්ම හොඳම නිවේදිකාව වුණා. ඒ වගේම විශිෂ්ඨතම නිවේදිකාව ලෙස වසර පහක්ම සම්මාන ලැබුණා. ඒ වගේම මට දකුණු කොරියාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා.

ඔබ ඉන්දියාවේ ඉගෙන ගත්තු දෙයින් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණාද?

ඇයි නැත්තේ . . . මගේ ජීවිතේ අමතකම නෙවෙන සිදුවීම් කොයි තරම් ඒ නිසා ලැබුණාද? එක සැරයක් මනීෂා කොයිරාල ලංකාවට රඟපාන්න ආපු අවස්ථාවේ මට එයත් එක්ක සාකච්ඡාවක් කරන්න ලැබුණා. මගේ සාකච්ඡාව කරගෙන යද්දී එයා ළඟ හිටපු එයාගේ යාළුවෝ කලබල වෙලා දඟලනවා මට පේනවා. ඒත් අපේ සාකච්ඡාව රසවත් නිසා ගලාගෙන යනවා. නමුත් ටික වෙලාවක් යද්දී ඇයටත් තේරුණා මොකක් හරි ලොකු දෙයක් එයාගේ යාළුවෝ දැනගෙන තියෙනවා කියලා. මොකද ඒ වෙනකොටත් මනීෂාට පිළිකාවක් ද කියලා පරීක්ෂණ කරමින් තිබුණේ. මගේ සාකච්ඡාව යද්දී තමයි ඒකේ වාර්තාව ලැබිලා තිබුණේ. ඇත්තටම . . . හරිම කනගාටුදායක විදිහට එයාට කැන්සර් එකක් බව රිපෝට් එක ඇවිත් තිබුණේ ඒ වෙලාවේ. තවත් අවස්ථාවක උදිත් නාරායන් හමුවීමටත් මට හැකි වුණා. ඔහු සමඟ කරපු සාකච්ඡාවෙන් පස්සෙ මට ඉන්දියාවේ චැනල් එකකට සේවය කරන්න ආරාධනය කළා. එදා ඒ ලැබුණු අගය කිරීම, ආරාධනය මට ඇත්තටම අදහා ගන්න බැරි තරම්. උදිත් නාරායන් වගේ ප්‍රවීණයෙක් කරපු ආරාධනය ඇත්තටම කොයි තරම් ද?

අපිට ආරංචියක් ආවා ඔයා කාර් රේස් පදින්නත් දක්ෂයි කියලා . . .?

අපෝ නැහැ. මම වාහන පදිද්දී ටිකක් වේගෙන් පදිනවා.. මොකද මම පොඩි කාලේ පටන්ම ටිකක් දඟයි. මොකද පවුලේ එකම දරුවානේ. මම වාහන පදින්න පුරුදු වුණේ අපේ තාත්තාගේ ගමේ තිබුණු ලොරියකින්. ඒ හින්දා වාහන පදින්න පොඩි කාලේ පටන්ම බයක් දැනුණේ නැහැ. ඔයාට කියන්න . . . දවසක් මගෙ කාර් එක තුන්පාරක් පෙරලුණා. එත් . . . පුංචි තුවාලයක්වත් මට නැහැ. වාහනේ පොඩි පට්ටම් වුණා.

ඔබ දැන් සෙවය කරන්නේ ශ්‍රී එෆ්. එම්. චැනල් එකේ. මොනවද ඔබ කරන ජනප්‍රිය වැඩසටහන්?

මගේ ජනප්‍රියම වැඩසටහනක් තමයි ශ්‍රී රශ්මිය මද්දාහන. ඒක උදේ 9 ඉඳන් දවල් 11 වෙනකම් ගීත ඉල්ලීම් වැඩසටහන. ඒ වගේම ශ්‍රී එෆ්. එම්. ටොප් චාට් වැඩසටහනේ ගායක ගායිකාවන්ගේ තොරතුරු ඉදිරිපත් කරන වැඩසටහන. මාව කවුරුත් දන්නේ ශ්‍රී ඇහැව්වොත් සල්ලි තමයි වැඩසටහන. ඒක අවුරුදු 14 ක්ම ලංකාවේ ජනප්‍රිය වැඩසටහනක්. සෙනසුරාදා උදේ 9.00 සිට 11.00 දක්වා ප්‍රචාරය වෙනවා.

භාෂිනී ඔයාගේ පවුලේ තොරතුරු කොහොමද?

දැන් මට අවුරුදු හතරක පුතෙක ඉන්නවා. එයා සංචිත් අධිකාරී. මගේ සැමියා රසික අධිකාරී. ඔහුත් මාධ්‍යයට සම්බන්ධයි. එයා යූ. ටී. වී. ආයතනයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා. ඇත්තටම අපි ටිකක් අවිවේකයි. ඒත් කාලය ලැබෙන විදිහට පවුලේ වැඩ ටික බෙදාගෙන අපි කරගෙන යනවා. බොහෝ වෙලාවට රසිකට වෙලාවක් නැහැ දරුවා ගැන බලන්න. මම වැඩි කාලයක් ඒ වැඩ ගැන සොයන්න කාලය ගන්නවා.

භාෂිනී ඔබ කිව්වා ඔයා වපුරපු අස්වැන්න ලැබුණා කියලා. ඇත්තටම ඔයා ලැබුණු සම්මානවලට අමතරව ඔයාගේ ජීවිතයට ලැබුණු තවත් වටිනා කියන දේ ඇතිනේ?

සැබවින්ම අනන්තවත් තියෙනවා. මොකද අපේ ගෙදර තිබුණු පරිසරය. අම්මයි, තාත්තයි මට ගොඩක් දේ කියා දුන්නා. ඒ වාගේම තාත්තා ඇසුරු කළ අය, පරිශීලනය කරපු පොත් . . . ඒ හැම දෙයම මගේ ජීවිතයට ආලෝකයක් වුණා. තේවිස් ගුරුගේ, කරුණාරත්න අබේසේකර වගේ විශාල පිරිසකගේ හිතවත්කම අපේ තාත්තාට තිබුණා. ඔවුන්ට තිබුණු දැනුම හරිම ඉහළයි. ඒ වගේම මම දැන් සේවය කරන ආයතනයේ විධායක අධ්‍යක්ෂතුමා රයන් හොන්ටර් මහතා, ඒ වගේම චාරුක සුරවීර මහතා මට ලබා දෙන මඟ පෙන්වීම හරිම ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි.

ඇත්තට භාෂිනී ඔයා දැන් තිබෙන රේඩියෝ කලාව ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන ඇත්තටම කතා කරන්න මම අකැමැතියි. එදා මගේ මවුපියෝ මට කියලා දුන්න දෙයක් තමයි කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කතාව. නමුත් අද කවුද පොත්පත කියවන්නේ. අද සෑම කෙනෙක්ම බුද්ධිමත්. අද ගම නගරය කියලා වෙන් කරන්න බැහැ. ඒ නිසා අපි ඉදිරිපත් කරන වැඩසටහන් සඳහා අපි දැනුමෙන් සන්නද්ධ විය යුතුමයි. ඒකට අපි හැම මොහොතකම අප්ඩේට් නොවුණොත් අපේ වැඩසටහන් අසාර්ථක වෙනවා.

ඒ නිසා මම හැම වෙලාවෙම රේඩියෝ කලාවේ අලුත් දේ සොයාගෙන යනවා. මගේ හීනයක් වෙලා තියෙන්නේ අපේ අම්මගෙයි, තාත්තගෙයි තිබුණු වටිනා පොත්පත් වගේම මම එකතු කරපු දේ එකතුවක් ලෙසින් ගුවන් විදුලි විශ්ව කෝෂයක් හදන්න. ඒ දේ මම ජීවිතේ කවදා හරි කරනවා කියන අධිෂ්ඨානය මට හැම මොහොතකම තියෙනවා.

ඒ වෙනුවෙන් ඔබට තොරතුරු ලබා දෙන්න ක්‍රමයක් තියෙනවාද?

ඔව්. මගේ විද්්‍යුත් තැපැල් ලිපිනය bashini@shreefm  එකට යොමු කරන්න.