වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ අහස යට ඉන්න වොල්ගා

කොළඹ අහස යට ඉන්න වොල්ගා

ජනාකීර්ණ වූ කොළඹ අහස යට තවත් එක් සැන්දෑවක් ගෙවෙමින් තිබිණ. මලානික වූ වියළි සුළං කෝඩ එකිනෙක හැප්පෙමින් මිනිස් සිත් සනහාලන්නට නිශ්ඵල උත්සාහයක යෙදෙමින් සිටියේය. එකිනෙකා පරයමින් ධාවනයක යෙදෙන මිනිස් පොදිය අතරින් ඇය නිසොල්මනේ මා වෙත පියවර නඟනු පෙනේ.

ගොඩක් වෙලා ද ඇවිත්?

ඇය මගෙන් අසයි.

චතුරි.

ඔව් . . .

කොළඹ අහස යට ගෙවෙන ජීවිතය සුන්දරද?

වාඩිවෙමු. අපි තේ කෝප්පයක් බොන ගමන්ම කතා කරමු.

හොඳයි.

වොල්ගා කල්පනී මම ඇයගේ සැබෑ නමින් අමතා ඇයව පියවි ලොවට ගත්තෙමි.

වොල්ගා . . . මේ දවස්වල ඔබ වඩාත් ජනප්‍රිය අනවර්ථ දෙකකින් කියලා කිව්වොත් මම හරිද?

හරියට හරි. මුතුපලස නාට්‍යයේ සඳමාලි සහ කොළඹ අහස යට නාට්‍යයේ චතුරි කියන නම් දෙකෙන් තමයි ප්‍රේක්ෂකයන් මට කතා කරන්නේ.

ඒ අතරින් ගොඩක් අයට මතක?

චතුරිව.

ඔබ රංගනයට එන්න කලින් නිවේදිකාවක්?

හරියටම හත වසරෙදියි කැමරාවක් ඉස්සරහට ගියේ. ඒ රූපවාහියේ අතුරු මිතුරු වැඩ සටහනෙන්.

ඊට පසුව?

දේදුනු හැන්දෑව, දෙරණ ලිට්ල් ස්ටාර්, ඊටත් පස්සේ ස්වර්ණවාහියේ හිතට වදින එක.

නිවේදිකාවක් වෙන්න වගෙයි පුංචි කාලේ ඉඳලා ආස කළේ?

අපොයි ඔව්.

එතකොට නිළියක් වන්නේ?

ස්වර්ණවාහිනියේ හිතට වදින එක වැඩසටහන කරමින් ඉන්න කොට එම ආයතනයේ බුද්ධික කුලසේකර සහ චාමර සමරවික්‍රම යන මහත්වරුන්ගෙන් ආරාධනාවක් ලැබුණා රංගනයට.

මොකද හිතුණේ?

නුහුරු අත්දැකිමක් නිසා මොකක්ද වගේ කියලා දැනුණා. ඒත් බැහැ කිව්වේ නැහැ. මට කතා කළේ මුතුපලසෙහි සඳමාලි චරිතය.

එතකොට කොළඹ අහස යට චතුරිව ලැබුණේ?

චින්තක විජේරත්න සහ බුද්ධික ඉරෝෂන් කියන අයියලා දෙන්නගේ මාර්ගයෙන් ගයා රම්‍ය අල්විස් මහත්මයාව හඳුනා ගත්තා. ඔහු තමයි මාව ඊට ගත්තේ.

චතුරි ඔබගේ සැබෑ ජීවිතයට ටිකක් සමානයි කියලා දැනගන්නට ලැබුණා?

ඒ කොහොමද?

මං කිව්වා හරිනේ?

හරි තමයි. චතුරි වගේම මමත් දැන් ආස නිළියක් වන්න. ඒ වගේම හැම තීරණයක්ම ගන්න කලින් ගෙදර අය ගැන හිතනවා? චතුරිල පොළවේ පය ගහලා ඉන්න තැනැත්තියන්. මාත් එහෙමයි.

ඇත්තටම දැන් ඔබ නිවේදිකාවක් ලෙස අප හමුවට එන්නේ නැහැ නේද?

හිතට වදින එක ප්‍රෝග්‍රෑම් එකෙන් පසුව නිවේදනයට තරමක විරාමයක් තැබුවා. අවංකවම කිව්වොත් රංගනය නම් වූ කොහොල්ලෑ බබාගේ ඇෙඟ් ඇලිලා ඉන්නේ මං. ගොඩක් ආස වුණා රංගනයට. ඒත් ලබන මාසේ මැද විතර ආයෙත් අලුත් වැඩසටහනකින් නිවේදිකාවක ලෙස පෙනී සිටිනවා මං.

හිතට වදින එක සජීවී වැඩසටහනක්. එය නිවේදනය කරද්දී අකරතැබ්බවලට මුහුණපාලා ඇති?

හොඳම වැඩේ මේකයි. ඔන්න දවසක් මම අසනීප වෙලා ඉස්පිරිතාලේ හිටියා. සේලයිනුත් මට දිදී තිබුණේ. කොහොම හරි ගෙදර ගිහින් දවල් දොළහට ප්‍රෝගෑම් එක කරලා ආයෙත් හවස ඉස්පිරිතාලෙට ඇවිත් සේලයින් බටේ ගහ ගත්තා.

කලාව වෘත්තිය කර ගන්න හිතක් තියනවා වගෙයි?

අනිවාර්යයෙන්ම.

ලංකාව ඇතුළේ වෘත්තීය කලාකරුවකු වෙලා ඉන්න පුළුවන්ද?

එහෙම ඉන්න තමයි ට්‍රයි එක.

රඟපාන්න ආස චරිතයක් තියෙනවාද?

මං හරිම ආසයි මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණියකගේ චරිතයක් කරන්න.

ක්ෂේත්‍රය කොහොමද?

ගොඩක් හොඳයි.

අයුතු යෝජනා ඇවිත් නැතිද ඔබට අන් නිළියන්ට මෙන්?

දෙයියංගෙ පිහිටෙන් කවදාවත් එහෙම ඒවා ඇවිත් නැහැ.

වොල්ගගෙ ගෙවල් කොහෙද?

රාගම.

පාසල?

ඉස්කෝල දෙකකට ගියා. කඳාන ශාන්ත සෙබස්තියන් සහ මොරටුව වේල්ස් කුමරි විදුහල් තමයි ඒවා.

එතකොට උපන් දිනය?

1990. 07. 19

ලග්නය?

මකර.

මේ වන විට ප්‍රේමවන්තියක්ද?

නැහැ. ඒත් විරහ වේදනාවක් වින්දා.

දුක හිතුනම මොකද කරන්නේ?

තනියම හොඳටම අඬනවා. මට තියෙන්නේ බිදුණොත් හදාගන්න අමාරු හිතක්. ඒ නිසා දුක හිතෙන දේවල් වෙනවට මං හරිම අකැමැතියි.

වොල්ගට මේතාක් දුර එන්න කවුද උදව් කළේ?

අම්මා, තාත්තා, අක්කා, වසන්ත ඥාණප්‍රිය, විජිත ප්‍රේමප්‍රිය, ප්‍රතිභා අයියා, ස්වර්ණා මිස්, බුද්ධික කුලසේකර, චාමර සමරවික්‍රම, ගයා රම්‍ය අල්විස්

ඔබ ගැන ඔබම කෙටියෙන් හඳුන්වා දෙන්න?

නිතර හිනාවෙලා ඉන්න කැමැති කෙනෙක්.