වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




මේ කදිරාගේ පුතා විශ්වනාත් මිගල්

මේ කදිරාගේ පුතා විශ්වනාත් මිගල්

විශ්වනාත් මිගල්. ඔහු කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණි සාමාජිකයෙක්. වේදිකාව, ටෙලි නාට්‍ය වගේම ගුවන් විදුලි වැඩසටහන්වලත් තම හැකියාවන් දක්වමින් ඉදිරියට එන විශ්වනාත් තමාගේ හිත තුළ කලාවට ඇති ලැදියාව දැක් වුවේ මේ අයුරින්.

‘මම පාසල් කාලයේ පටන්ම කලාවට ලොකු ලෙංගතුකමක් තිබුණා. පවුලේ ආභාෂයත් එයට බලපාන්න ඇති කියලා මම හිතනවා. මුලින්ම ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්නයන්ගේ ගුරුහරුකම් ලබා ගන්නත් මට අවස්ථාව ලැබුණා. ඊට පසුව රැකියා කටයුතු නිසා කලාවෙන් තරමක් දුරස් වෙන්න සිදු වුණත් දැන් නම් මම පූර්ණකාලීනව කලාවට යොමුවෙලා ඉන්නේ. ඒ ගැන තියෙන්නේ විශාල සතුටක්. මේ දවස්වල මම ‘සිරීගේ ඉරණම’ ටෙලි සිත්තමේ නාමල් මහත්තයා ලෙසින් රසික ඔබ හමුවට එනවා.’

එතකොට ඔබේ කලා දිවියේ ආරම්භය සිදු වුණේ කොහොමද?

මුලින්ම වේදිකාවට ආවේ ඩී. කීරගල ආරච්චිගේ ‘සතරකන් මන්ත්‍රණය’ වේදිකා නාට්‍යයෙන්. ඊට පසුව තවත් වේදිකා නාට්‍ය රැසකට දායක වුණා. ඒ අතරතුර තමයි මට විදෙස්ගත වෙන්න අවස්ථාව ලැබෙන්නේ. නැවත පැමිණ පෞද්ගලික ආයතනයක සේවයට එක්වීම සමඟ කලාවට දායකවීමට ඇති ඉඩ ටිකක් නැති වුණා. ඊට පසුව වසර 2000 දී යළිත් ටෙලි නාට්‍ය ක්ෂේ්ත්‍රය සමඟ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව ‘පෙම් පියවර’, ‘ඉසුරු යෝගය’, ‘පුතු සෙනෙහස’, ‘ෆෙංෂුයි ගෙදර’, ‘මලී’, ‘යශෝදරා’ වැනි ටෙලි නාට්‍ය රැසකට දායක වෙන්න අවස්ථාව ලැබුණා.

වික්ටර් මිගල්, රත්නාවලී කැකුණවල මෙරට කලාවේ නම රැන්දූ ඔබේ පවුලේ සාමාජිකයන්. ඔවුන්ගෙන් ඔබේ කලා දිවියට ඇති වුණේ මොන වගේ බලපෑමක් ද?

වික්ටර් මිගල් මගේ තාත්තා. ඒ කාලයේ මුවන් පැලැස්සේ කදිරා ලෙසින් තාත්තාට අතිශය ජනප්‍රියත්වයක් තිබුණා. රත්නාවලී කැකුණවල මගේ නැන්දා. ඇය ගුවන් විදුලියේ වගේම රූපවාහිනියේත් අතිශය ජනාදරයට පාත්‍ර වුණා. මම කලාවට එන එක සම්බන්ධයෙන් තාත්තාගේ නම් එතරම් පැහැදීමක් තිබුණේ නැහැ. ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්න කියලා තමයි හැමදාම කිව්වේ. නැන්දා තමයි මාව ගුවන් විදුලියට කැඳවාගෙන ගියේ. මම විතරක් නෙවෙයි ජයන්ති, විනීතා, විචිත්‍රා, විමෝලා කියන මගේ සහෝදරියනුත් ගුවන් විදුලි ශිල්පිනියන්. මම පුංචි කාලෙත් ගුවන් විදුලි ළමා වැඩසටහන් රැසකට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම තාත්තාගේ අභාවයෙන් පසුව මුවන්පැලැස්සේ කොටස් කිහිපයකදී කදිරාගේ චරිතයට මට හඬ ලබා දෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක්.

එතකොට ඔබ කොහොමද ඔබේ කලා ජීවිතයේ ඉදිරිය සැළසුම් කරලා තියෙන්නේ?

දැන් මට පූර්ණකාලීනව රංගනයට දායක වෙන්න අවස්ථාව තියෙනවා. රංගනයෙන් ඉදිරියට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මේ දක්වා ලැබුණු චරිත ගැනත් හරිම සතුටක් තියෙන්නේ. ඒ වගේම ටිකක් හාස්‍යයට බර චරිතයක් ලැබෙනවා නම් සතුටුයි. මේ වන විට තවත් ටෙලි නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ අතරතුර වේදිකාවට වගේම සිනමාවටත් අවස්ථාවක් ලැබුණොත් උපරිම සාධාරණයක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. 0772258092 දුරකතන අංකයට ආදරණීය රසික ඔබට මගේ රංගයන් පිළිබඳ අදහස් දක්වන්නත් අවස්ථාව තියෙනවා.