වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




ඉස්පිරිතාලෙටම ලෙඩෙක් වුණ හැටි

ඉස්පිරිතාලෙටම ලෙඩෙක් වුණ හැටි

රඟපාලා මම ජනප්‍රියත්වයේ හිණි පෙත්තෙම ඉන්න වකවානුවේ මාව හදිසිියේ අසනීප වුණා. අසනීප තත්ත්වය එන්න එන්නම දරුණු වුණා. එලොව ගිහින් මෙලොව එන තරමට අසනීපය දරුණු වුණු නිසාම මාව කොළඹ මහ ඉස්පිරිතාලෙට ඇතුළත් කළා. මේ ආරංචිය එදා ලංකාදීප පත්තරයේ මල් පිටුුවේ පළ වුණා බර්ටිට අසාධ්‍යයයි කියලා. මේ නිවුස් එක දැකලා මගේ රසිකයෝ මාව බලන්න මහ රෝහලට එන්න ගත්තා. නෑදෑයෝ හිතවතුන් වගේම මම දැකලවත් නැති රසිකයෝ පවා එදා මාව බලන්න රෝහලට ආවා.

ඒ එන කවුරුවත් හිස් අතින් මාව බලන්න ආවේ නැහැ. තමන්ට පුළුවන් මොනව හරි දෙයක් අරන් තමයි මාව බලන්න ආවේ. මම හිටිය වාට්ටුවේ දොස්තරලත්, මිසීලත් මට පණ ඇරල. එක වෙලාවකට මේ අයගේ සාත්තු සත්කාර නිසාම ගෙදරට වඩා මෙහෙ හොඳයි කියලත් මට හිතුණා. ලෙඩ්ඩු බලන වෙලාවට මගේ ඇඳ වටේ මිනිස්සු පිරිලා. වාට්ටුවේ ඉන්න අනිත් ලෙඩ්ඩු බලන්න එන අයත් ඒ එන වැඩේට වඩා මාව බලන්න වැඩිය උනන්දු වුණා කියලයි මට හිතුණේ.

ඔහොම ඉස්පිරිතාලේ ඉන්න කොට ඉස්සරින් දවසේ නිදාගත්ත මම පසුවදා උදේ පාන්දර අවදි වෙන කොට වෙනදාට වඩා වාට්ටුවෙ දොස්තරලා මිසීල කලබලෙන් රාජකාරි කරනවා. මුලු වාට්ටුවම අතු ගානවා. ඇඳන් පිහිනවා. අලුත් ඇතිරිලි දානවා. අවට කාණු සුද්ද කරනවා. මල් වාස් ගෙනත් තියනවා. ඒ හිටිය කාලෙට මම නොදැක්ක දෙයක්. ඒ විතරක් නෙවේ, තැනින් තැන ආරක්ෂක අංශයේ අයත් ඉන්නවා. මට හිතා ගන්නත් බෑ. බැරිම තැන මේ මොකද කියලා මම මිසී කෙනෙක්ගෙන් අහලා බැලුවා අද මේ විශේෂත්වය මොකක්ද කියලා.

ඒ විශේෂත්වය ඔයා නිසා. ඇයි දෙයියනේ මම නිසා විශේෂත්වයක්. වෙන දෙයක් නෙමේ, අද ජනාධිපතිතුමා එනවා ඔයාව බලන්න. ඒකයි අද මේ කවුරුත් වෙනදට වැඩිය කඩිසර වෙලා තියෙන්නේ. අනේ මිසී හැමදාම මෙහෙම තියෙනවා නම් කොච්චර හොඳ ද? එහෙනම් ඉතිං ඔයත් සනීප වෙන්නේ නැතුව ඔහොම ඉන්න. එතකොට අපිට ඔය විදියට වැඩ ගොඩක් තියෙයි. කොහොම හරි එවකට ජනාධිපති ප්‍රේමදාස මහත්තයා මට අසාධ්‍යයි කියලා පත්තරේ තිබුන ප්‍රවෘත්තිය දැකලා මාව බලන්න ඇවිත් තිබුණා. එදා එතුමන් මගේ ළඟට ඇවිත් ගියහම මගේ තිබුණ ලෙඩෙත් හොඳ වුණා වගේ මට දැනුණේ හිතේ ඇති වෙච්ච සතුටට වෙන්න ඇති.

එක දවසක් මාව බලන්න ආව කෙනෙක් මොනවද ගෙනත් දෙන්න ඕනේ බර්ටි මහත්තයට කියලා ඇහුවා. ඕනෑ දෙයක් කියන්න කිය කියා මේ පුද්ගලයා මට කීප වතාවක්ම පෙරැත්ත කරනවා. එන එන අය එක එක දේවල් ගෙනත් ඇඳ ළඟ ගොඩ ගහලා තිබුණ නිසා ගේන්න කියලා කියන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. හැබැයි ඉතිං දොස්තර මහත්තයා පිට ෆාමසියකින් ගන්න කියලා ලියලා දුන්න බෙහෙත් තුණ්ඩුවක් නම් ඒ වෙන කොට මම ළඟ තිබුණා. මම ඒ තුන්ඩුව ඒ පුද්ගලයාට පෙන්නලා කිව්වා පුළුවන් නම් මෙන්න මේ බේත් ටික ගෙනත් දෙන්න කියලා. ඒ පුද්ගලයා කිසිම වෙනසක් නොදක්වා ඇඟට පතට නොදැනීම වගේ කිව්වේ නැතෑ අයියෝ ඕක සුළු දෙයක්නේ මම දැන්මම ගිහින් ඕක ගෙනත් දෙන්නම් කියලා එයා තුණ්ඩුවත් අරන් ගියා ගියාමයි. බෙහෙත් ටිකත් නෑ. තුණ්ඩුවත් නෑ. ඒ මිනිහත් ඊට පස්සේ නෑ.

තව දවසක් ඉතාම කරුණාවන්ත පෙනුමක් තියෙන මහත්තයෙක් මාව බලන්න ඇවිත් ඇඳ ගාවට වෙලා මට හොඳ දේශනයක් දෙන්න පටන් ගත්තේ නැතෑ.

අපි කවුරුත් මනුස්සයෝ, ඉපදුණොත් මරණය නියතයි. ජීවත් වෙලා ඉන්න කාලේ කාටවත් ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ. අපි කවුරුත් සහෝදර ප්‍රේමයෙන් ජීවත් වෙන්න ඕනෑ කියලා බොහොම ශාන්ත විදියට කියාගෙන යන කොට මගේ හිතත් භාවනාවකට සම වැදුණා වගේ ඉබේටම මට නින්ද ගියා. ඔහොම ඉතිං නින්ද ගිහින් ටික වෙලාවකින් මම ඇහැරිලා බලන කොට අර පුද්ගලයා මම ළඟ හිටියෙත් නෑ. මගේ ඇඳ ළඟ තිබුණ උණු වතුර බෝතලය තිබුණෙත් නෑ.

මම ලෙඩ ඇෙඳ් ඉන්න කොට දුර බැහැර පළාත්වලින් මම දන්න හඳුණන අය ආවා මාව බලන්න. ඒ අයට මගේ ලෙඩේ ගැන කියලා මට ඒ වෙන කොටත් එපා වෙලා තිබුණේ. එන එන අය විස්තර අහලා ඉවරයක් නෑ. උගුර ලේ රහ වෙනකන් කියනවා. ඒත් ඉවරයක් නෑ. බැරිම තැන මේකෙන් බේරෙන්න ඇඳේ ගැහුවා බෝඩ් එකක් රෝගියා සමඟ කතා කිරිම තහනම් කියලා. ඒත් බේරුමක් නෑ. ඊට පස්සේ එන එන කෙනා ගොලු භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා.

බලන්න එන අයගේ ගොළු භාෂා අංග චලන දැකලා මටත් හිනා. ඔය විදියට ගොළු භාෂාවෙන් කතා කරන්න ගිහින් හොඳ හොඳ දේවල් සිද්ධ වුණා. දවසක් මම ළඟට ඇවිත් එක් කෙනෙක් ගොළු භාෂාවෙන් කතා කරනවා. මේ වැඩේ ඉවරයක් නෑ. බැරිම තැන මම කළේ මගේ අතේ දබර ඇඟිල්ල කටට තියලා පෙන්නුවා මට කතා කරන්න හොඳ නෑ කියලා. ඒ පාර අර පුද්ගලයා යන්න ගියා. මට ඉතිං වැස්සක් පෑයූවා වගේ සැහැල්ලුවක් හිතට දැනුණා. ඒ හින්ද ඇෙඳ් පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්න කොට අර පුද්ගලයා ආයේ ආවේ නැතෑ මට දත් බුරුසුවකුයි, ටූත්පේස්ට් එකකුයි අරගෙන. මම කටට ඇඟිල්ල තියලා කිව්ව දෙයින් මිනිහා හිතලා තියෙන්නේ මම දත් මදින්න ඕනෑ දෙයක් ඉල්ලුව කියලා.

මම හිටිය වාට්ටුවේ අනෙක් රොගීන්ට මම ඉන්නවා කියලා හරිම සතුටුයි. එයාලව බලන්න එන හැමෝටම මම ගැන කියනවා. ලෙඩ්ඩු බලන වෙලාවට මුළු වාට්ටුවෙම ලෙඩ්ඩු බලන්න ආපු අය මගේ දිහා බලන් ඉන්නවා. එහෙම නැත්නම් ළඟට ඇවිත් කතා කරලා යනවා. මට යාන්තම් ඇඳෙන් බැහැලා ඇවිදින්න පුළුවන් වුණාම මම කළේ වාට්ටුවේ ඉන්න අනෙක් ලෙඩ්ඩුන්ගේ ඇඳන් ගාවට ගිහින් ඒ අයත් එක්ක කතා කරන එක.

මම ලෙඩ්ඩු ළඟට යන කොට ඒ අය කළේ නැගිටලා මට ආයුබෝවන් කියන එක. එයාලට හරිම සතුටුයි මම ළඟට ආවහම. මේ වැඩේ වාට්ටුවේ හිටිය මිසී නෝනලට කරදරයක් වුණා. නැගිටින්න එපා කියලා තියෙන ලෙඩ්ඩුත් නැගිටලා මට ආයුබෝවන් කියන කොට ලෙඩ්ඩු ගැන ඒ අයට තියෙන වගකීම ගැන හිතලම අන්තිමේදී මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මිසීල කළේ මට ඇඳෙන් බහින්න තහනම් කරන එක.