වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




සෝනක්ෂි බෑ කියයි අයිශ්වර්යා හා කියයි

සෝනක්ෂි බෑ කියයි අයිශ්වර්යා හා කියයි

තමන්ගේ නැඟී එන ආලෝකය ලොවම බැබළෙන තාරකාවකගේ ආලෝකය ඉදිරියේ නිවී යනවා දකින්නට කැමැති කවුරුන් ද? එය ඒ අන්තර්ජාතික තාරකාවකගේ එළියෙන් සැඟ වී යන්නට උත්සාහ දරන්නේ ඒ නිසා විය හැකියි.

සෝනක්ෂි සිංහ යනු බොලිවුඩ් පුරයේ දිදුලන අනාගතයකට පෙරනිමිති පෙන්වන්නියකි. මෑතකදී ඇයට රංගනයට ඇරැයුම් ලැබුණේ මුළු භාරතයේම ගෞරවාදරයට පාත්‍ර වූ මනිරත්නම් අධ්‍යක්ෂවරයාගෙනි. ඒ භාෂා දෙකකින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන සිනමාපටයක තුන්වැනි ප්‍රධාන චරිතය නිරූපණය කිරීමටයි. එහෙත් දින ප්‍රශ්නයක් කියා සෝනක්ෂි එය ප්‍රතික්ෂේප කර තිබේ. දැනටමත් මනිරත්නම් අධ්‍යක්ෂවරයා අයිශ්වර්යා රායි සහ සෘති හසන් සිනමාපටයේ ප්‍රධාන සහ දෙවැනි චරිත සඳහා තෝරා ගෙන අවසන්ය.

අධ්‍යක්ෂ මනිරත්නම් සොනක්ෂි සමඟ කතා කිරීමට පෙර, ඇයගේ පියා ශතෘගන් සිංහ සමඟ ද සිනමාපටය ගැන කතාකර තිබේ. ශතෘගන්, මනිරත්නම්ගේ කලණ මිතුරෙකි. දින නොමැති බව පැවසුව ද, සැබෑම හේතුව එය විය හැකි ද යන්න ගැන බොහෝ දෙනා කතාවෙති. ‘ඇක්ෂන් ජැක්සන්’ සහ ‘හොලිඩේ’ සිනමාපට සඳහා ද සෝනක්ෂි දින දී ඇති බව සැබෑවකි. ඇය චරිතය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ එය හිතට ඇල්ලූ චරිතයක් වී තිබියදීත්ය. ඉදිරියේ දී මනිරත්නම් සර්ගේ සිනමාපටයක රඟපාන බව ඇය ස්ථිරවම පවසා තිබේ.

මෙහි අයිශ්වර්යා සමඟ ප්‍රධාන චරිත රඟන්නේ සුපිරි දමිළ, තෙලි¼ගු නළුවන් දෙදෙනකු වන නාගර්ජුන සහ මහේෂ් බාබුය. මේ අයිශ්වර්යාගේ දෙවැනි සිනමා ගමනයි. ආරධ්‍යා සිඟිති දියණිය නිසා තෙවසරක්ම ඇයට රංගනයට සම්බන්ධ වීමට ඉඩක් ලැබුණේ නැත. එහෙත් දැන් ආරධ්‍යා දියණිය තරමක් ලොකු ගැහැනු දරුවෙකි. එනිසා අයිශ්වර්යා යළි රංගනයට පිවිසීමට තීරණය කර තිබේ.

අයිශ්වර්යාගේ දෙවැනි සිනමා ගමන නැරැඹීමට ප්‍රේක්ෂකයෝ පුල පුලා බලා සිටිති. ඇය මුලින්ම රඟපාන සිනමාපටය ගැන විවිධ මත වරින් වර ප්‍රකාශ වුණ ද සත්‍ය වශයෙන්ම ඇය දෙවැනි වරට දොරට වඩින්නේ මනිරත්නම් අධ්‍යක්ෂවරයාගේ සිනමාපටයකිනි.