වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




මම නිළියන් හුරතල් කරන අධ්‍යක්‍ෂවරයෙක් නෙවේ

පද්මසිරි කොඩිකාර ගේ විශේෂ ඉල්ලීම පිට ලියන ලද්දකි

මම නිළියන් හුරතල් කරන අධ්‍යක්‍ෂවරයෙක් නෙවේ

මහනුවර පොලිසියේ ලියැවුණු දිගම පැමිණිල්ල පද්මසිරි කොඩිකාර ගේ

ජීවිතය එක් අතෙකින් බලන කල ප්‍රශ්න පත්තරයකි. විවිධ ප්‍රශ්න හමුවේ එකිනෙකා ක්‍රියාත්මක වන්නේත්, ඒවාට ප්‍රතිචාර දක්වන්නේත් තම, තම නැණ පමණිනි. කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් හමුවේ හීන් සීරුවේ ලිස්සා යන්නට හැකියාව තිබේ. තවකෙකු ජීවිතයට එල්ල වූ අභියෝගයක් සේ සලකා එකී පැනයට විසඳුම් සොයන්නට වෙහෙසේ. චෝදනාවකට පිළිතුරු දීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ නොඑසේනම් තමාට තමා වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වැදගත් ලක්‍ෂණ වේ.

ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය නිෂ්පාදක, අධ්‍යක්‍ෂ පද්මසිරි කොඩිකාර යළිත් මෙසේ “සරසවිය” හා එක්වන්නේ තමා සම්බන්ධයෙන් පැතිර ගිය, ඔහු පවසන අයුරින් තවත් එක් සාවද්‍ය පුවතකට වග උත්තර බඳින්නටය.

* කොහොමද ආයෙත් ලෙඩක් වගේ...?

ඔව්, මේකත් ලෙඩක් තමයි.

* කාගෙන්ද?

ඔය නිළියක් කියලා හිතාගෙන ඉන්න කෙනෙකුගෙන් තමයි.

* නිළියන්ගෙන් හරි අපලයි වගේ නේද?

එහෙම නෑ. මේ ක්ෂේත්‍රයේ ගරුත්වය රැකගෙන ඉන්න වෘත්තීය නිළියන්ගෙන් එහෙම දේවල් වෙන්නේ නෑ. අපිම නිළියෝ කරපු අයනේ මේ ලෙඩ දාන්නේ. ඇත්තටම බැලුවොත් එයාලා නිළියෝ නෙවෙයි.

* මොකක්ද මේ පාර අවුල?

මම ‘කෝරලේ මහත්තයා’ – 02 ආරම්භ කරපු වෙලාවේ ‘සිරිමලී’ කියන ප්‍රධාන කාන්තා චරිතයට නුවර පැත්තේ ළමයෙක් තෝරාගෙන තිබුණා. මේ ළමයා රූගත කිරීම්වලට එද්දී දහඅට වංගුවේදි රිය අනතුරක් සිදුවෙනවා. දුරකථනයෙන් මට දැනුම් දෙනවා රූගත කිරීම්වලට එන්න නොලැබෙන බව කියලා.

* ඒ පාර මොකද කරන්නේ...?

මම ලොකු ගැටලුවකට මුහුණ දුන්නා. කොළඹ ඉන්න මගෙ යාළුවන්ට කියනවා මේ චරිතයට ගෑනු ළමයෙක් හොයලා දෙන්න කියලා. මේක ගැමි චරිතයක්. කොණ්ඩය ටිකක් දිගට තියෙන, රඟපාන්න පුළුවන්, වැඩි කාර්යබහුල නොවන නිළියක් තමයි මට අවශ්‍ය කියලා වැඩි දුරටත් කිව්වා. ඊට පස්සේ මගේ මිත්‍රයෙක් මේ නිළියව රන්මිහිතැන්නට රැගෙන එනවා. කලින් දවසේ හෝටලයක ඉඳලා ඒ හෝටලයේ අයිතිකාරිය සහ අර මිතුරා එක්ක තමයි මෙයා අපේ ලොකේෂන් එකට ආවේ.

* ඇයට චරිතය ලබා දෙනවා...?

ඔව්, එක දෙයක් තමයි ටයිට් ෂෙඩූල්ඩ් එකක අපි හිටියේ. පස්සේ එදාම හවස මමයි, වේශ නිරූපණ ශිල්පියායි, තවත් එතන හිටියා කාන්තාවෝ තුන් දෙනෙක්. සේරම අපි හය දෙනෙක් විතර තිස්සමහරාමයට යනවා ප්‍රොඩක්ෂන් වෑන් එකේ.

* මොකටද?

මෙයාට හැට්ට මහන්න දෙන්න. ඇයි දැන් මෙයාට ගැළපෙන විදියට අලුතින් මහන්න එපායෑ. ඒ කටයුතු සේරම ඉවර වුණායින් පස්සේ මේ ළමයා මට කියනවා අයියා මට පොඩි උදව්වක් කරන්න කියලා. මම මොකක්ද කියලා අහපුවාම එයාට බේත් වගයක් තියෙනවා ගන්න ඒකට යන මුදල දෙන්න පුළුවන් ද කියලා ඇහුවා. පස්සේ අපි කට්ටියම යනවා ළඟ තියෙන ෆාමසියකට. ගිහින් ඒ අවශ්‍ය බේත් අරගෙන දෙනවා. රුපියල් එක්දාස් හත්සිය ගාණක බිලක් ආවා.

* ටිකක් ලොකු මුදලක්...?

ඔව්, පස්සේ මම ඇහුවා ඒ ෆාමසියේ මනුස්සයාගෙන් මොකටද මේ බේත් ගන්නේ කියලා. හුඟාක් ඇදුම තියෙන අය පාවිච්චි කරන බේතක් කියලා ඔහු මට කිව්වා. ක්ෂය රෝගය පවා වැළඳෙන්න පුළුවන් ඒ නිසා පරෙස්සම් වෙන්න කියලත් මම ඇයට එවෙලේ උපදෙස් දුන්නා.

* ඇයි ඔබ ඒ සිද්ධිය මෙතන උලුප්පලා දක්වන්නේ...?

නෑ, තමන්ට එහෙම බේත් ගන්න මුදලක් පවා නැතිවයි ඒ ළමයා මේ ලොකේෂන් එකට එන්නේ. මේක සියලු දෙනා ඉදිරියේ සිදු වූ දෙයක්. ඒ ළමයාගේ වෛද්‍ය පරීක්‍ෂණයක් කළොත් බලාගන්න පුළුවන් මම කියන දේ ඇත්තද, නැද්ද කියලා.

* ඇය වෘත්තීය නිළියක් නොවන බවද ඔබ කියන්නේ...?

ඔව්, එහෙම වෘත්තීය නිළියක් නම් තමන්ගේ බේත් හේත් ටික ගන්නවත් එයා ළඟ මුදල් තියෙන්න එපායෑ.

* හරි, එතනින් ඒ සිදුවීම ඉවරයිනේ...?

එච්චරයි, ඊට පස්සේ අපි පළමුවැනි ෂෙඩූල්ඩ් එක කරනවා. බොහොම සුහදව සමුගන්නවා. ඊළඟට දෙවැනි ෂෙඩූල්ඩ් එකටත් එනවා. ඒ කියන්නේ මාස දෙකකට විතර පස්සේ. එදා ෂූටිං වෙලාවේ තමයි මම දන්නේ මෙයාගේ තියෙන්නේ ක(ර්)ලි කොණ්ඩයක්. අපි අර කියන්නේ කාපිරි කොණ්ඩයක් කියලා.

* ඇයි කලින් දැක්කේ නැද්ද...?

නෑ මෙයා කලින් ඇවිත් තියෙන්නේ ඒක ස්ට්‍රේට් කරගෙන. එතකොට මම මුලින් එනකොට තිබුණේ ඒ කොණ්ඩය. දැන් මේ චරිතයට ඒ ක(ර්)ලි හෙයා ඒක ගැළපෙන්නේ නෑ කියලාවත් තේරුමක් නැති නිළියක්. ඒ කියන්නේ ‘කන්ටිනිවිටි’ කියන්නේ මොකක්ද කියලාවත් මෙයාට තේරුමක් නෑ. ඒකවත් දන්නේ නෑ.

* අධ්‍යක්‍ෂවරයා හැටියට මොකක්ද ඔබ ගත් පියවර...?

පළමු දවසේ අපි ෂූටිං කළේ නෑ. මේ ටෙලි නාට්‍යයේ රඟපානවා නුගේගොඩ සැලෝන් එකක් තියෙන ශිල්පිනියක්. ඇය මට කියනවා ‘අයියා අවශ්‍ය කෙමිකල්ස් ටික ගෙනත් දෙනවා නම් මම ස්ට්‍රේට් කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ අර මුලින් තිබුණා වගේම කොණ්ඩේ හදනවා. එදා මම ඇයට අවවාදයක් දෙනවා නැවත රූගත කිරීම්වලට එනකොට මට අවශ්‍ය කොණ්ඩේ හදාගෙන එන්න කියලාත්.

* ඒ ප්‍රශ්නය එතැනින් විසඳුණා...?

නෑනේ, ඒකනේ ප්‍රශ්නය. දැන් තුන්වැනි ෂෙඩූල්ඩ් එකත් ආවා. ඒ වෙනකොට අපි මේ නාට්‍යයේ කොටස් පනස් දෙකක් කරලා ඉවරයි. ඔය වෙනකොට විකාශයත් වෙනවා. සාමාන්‍යයෙන් එඩිට් කරලා ඉවර වුණාම ඒකෙ ෆයිනල් එක කරන්න යන්නේ මම. එහෙම වෙලාවක මම දකිනවා එක තැනක අර ළමයා කියන වචන දෙකක් හෝ තුනක් රෙකෝඩ් වෙලා නැහැ. මම ගන්නවා මගේ සහාය අධ්‍යක්‍ෂවරයාට Call එකක්.

* ඔහු ඒ අඩුපාඩුව දැක තිබුණේ නැද්ද...?

ඒ වෙනකොට ඔහු ඒ වැරැද්ද දැකලා අර නිළියට කතා කරලා තිබුණා. පස්සේ මාතලේ ෂූටිං යන බව ආරංචි වෙලා “අපි නුවර ටවුමෙමයි ඉන්නේ යන ගමන් ඇවිත් මේක කරලා යන්න” කියලත් ඔහු කියලා. නමුත් ඇය ඒක ගණන් අරන් තිබුණේ නෑ. පස්සේ මම ඒ ළමයට දුරකථන ඇමතුමක් දීලා කියනවා මේක මේ විනාඩි දහයක්වත් යන්නේ නැති වැඩක්. ඊළඟ එෆිසෝඩ් ටික බාර දෙන්න තියෙන නිසා ඇවිත් කරලා දෙන්න කියලා.

* ඊට පස්සේ ...?

මේ ළමයා එනවා. ඇවිත් ඒක කරලා දීලා යනවා. ඒකටත් මෙයා කියලා තියෙනවා අපි මේ නුවරට ගෙනල්ලා මෙයාව කොටු කරන්න හැදුවා කියලා. මම එහෙම වුවමනාවක් තිබුණා නම් නුවරට ගේන්නේ නෑ. මොකද මම පදිංචි පළාත. එච්චර මෝඩයෙක් නෙමෙයි නේ මම.

* ඇයි එතකොට ඒ වගේ කතාවක් ඇය කිව්වේ...?

මමත් දන්නේ නෑ. මොන හේතු සාධකයක් උඩ එයා එහෙම කිව්වද කියලා. කොහොම හරි දැන් තුන්වැනි ෂෙඩූල්ඩ් එකත් ආවා. ඒ ඇවිත් බලනකොට දැන් මේ ළමයා ගේ අඟල් හතරක් විතර දිගට අර ක(ර්)ලි කොණ්ඩෙ තියෙනවා. මට හොඳටම කේන්ති ගියා. ඇයි දැන් පහුවදා ෂූටිං. පස්සේ මොකද කළේ අර සැලෝන් එකේ ළමයාම ජෙල් ගාලා, ටයිට් කරලා කොණ්ඩෙ බැඳලා හදලා දෙනවා. සීන් දෙකක් ෂූට් කරනවා. මම ආයෙ මේ ළමයට කියනවා හැමදාම මෙයා නෑ. අනෙක ඔයාගේ කොණ්ඩෙ හදන්න මට පුළුවන් කමක් නෑ. ඒ නිසා වහාම ගිහින් කොණ්ඩෙ හදාගන්න කියලා. ඊට පස්සේ අර සැලෝන් එකේ ළමයා මට කියනවා ඒ වැඩේ වෙන පාටක් නෑ, කෙමිකල්ස් ගෙනත් දුන්නොත් මේ වැඩේට සහයෝගයක් හැටියට ආයේ කොණ්ඩෙ හදලා දෙන්නම් කියලා.

* ඔබ ඒකට එකඟ වුණාද?

නෑ, මට දැන් මේක මාර ප්‍රශ්නයක්. එදා හවස අපට නේවි කමාන්ඩර්ගෙන් ඩිනර් පාටි එකක් තිබුණා. මමයි, විශ්වයි, මහින්ද පතිරගේයි, වසන්ත කුමාරවිලයි, සුරේශ් කුමාරසිංහයි දැන් ඒකට යන්න සූදානම් වෙලා. ඔය අතරේ පැය කාලක් විතර මම නිදා ගන්නවා, මහන්සිය හින්දම. ඒ වෙලාවේ ඇවිත් දොරට තට්ටු කරනවා මගේ මේකප් ආර්ටිස්ට්. එයා ඇවිත් කිව්වේ අර දෙන්නා මොනවද කටුකුටු ගානවා වැඩේ වෙන්නැති පාටයි කියලයි.

* ඇයි ඔබට බැරි වුණේ කෙළින් තීරණයක් ගන්න...?

ඒ වෙනකොට කොටස් පනස් දෙකකම මෙයා ඇක්ට් කරලා. ඒත් මම ඒ නිසා මෙයාට අවනත වුණේ නෑ. පස්සේ මෙයා කියනවා මුළු කොණ්ඩෙම ස්ට්‍රේට් කරලා දෙන්න කියලා. මට වුවමනා කරන්නේ කැමරාවට පේන කොටසේ කර්ලි ගතිය අරින්න විතරයි. කන්ටිනිවිටි ජම්ප් එකක් එන්නේ නෑනේ එතකොට. අන්න ඒ ටික විතරක් හදාගන්න කරුණාකරලා කියලා මම එයාට කිව්වා. අනෙක මෙයා ඇවිත් තියෙන්නේ ඔයාගේ කොණ්ඩෙ හදන්න නෙවේ. මට හිතවත්කමට කියන දේත් මම කිව්වා. ඊට පස්සේ අපි රෑ 7.00 ට විතර පිටත් වෙනවා අර ඩිනර් එකට. රෑ 10.00 ට විතර මගේ සහාය අධ්‍යක්‍ෂවරයාට Call එකක් එනවා. ඔහු හිටියේ මගේ ඉදිරිපිටමයි. පස්සේ ඔහු එතනින් මඳක් එහාට ගිහින් නැවත එහා පැත්තෙන් මා ළඟට ආවා.

* ඇවිත් මොකද කිව්වේ...?

අර නිළිය යන්න හදනවා කියලා කිව්වා. මම කිව්වා අනේ කමක් නෑ යන්න ඕනෑ නම් යන්න කියන්න කියලා. වෙන මොනවා කියන්නද? පස්සේ අපි රෑ 11.00 ට විතර ආපහු එනකොට එයා යන්න ගිහින්. ඒක මට ප්‍රශ්නයක් වුණේ නැහැ. පස්සේ මම ඒ චරිතයට වෙනත් නිළියක් ගේනවා. කවුරුවත් අහන්නේ නෑ ඇයි අර නිළිය නැත්තේ කියලා.

* ඔබ කළ වැඩේ හරියි කියලා හිතනවද?

එතකොට මේ ළමයා කොටස් පනස් දෙකක රඟපාලා. මෙතනයි තිබුණේ ප්‍රශ්නේ. දැන් මේක ලීඩින් කැරැක්ටර් එකක්නේ. කදිරා ගේ ගෑනු ළමයා. ඉතින් මෙයාට ඇතිවුණ සිතිවිල්ල තමයි කොඩිකාර මොකා වුණත් දැන් මගේ පස්සෙන් එන්න ඕනෑ කියන එක. මෙයා පළවෙනි, දෙවැනි දවසේ බලනවා මමත් නිහඬයි. ඊට පස්සේ වෙබ් සයිට්වලට ප්‍රකාශ කරනවා මම අයුතු බලපෑම් කළා කියලා. නමුත් ඕකයි ඇත්ත.

* එතකොට ඔය සිදුවීම පදනම් කරගෙනයි ඇය ඔබට චෝදනා එල්ල කළේ...?

ඔව්, සමහර අපේ නිෂ්පාදක, අධ්‍යක්‍ෂවරු කිහිප දෙනෙක් ඉන්නවා මොන වැරැද්ද කළත් ඔය නිළියන්ව හුරතල් කරන ජාතියේ. මම එහෙම නෑ. කියන්න තියෙන දේ එළිපිටම කියනවා. මොකද අපිත් විශාල පරිශ්‍රමයක් දරාගෙන මේ දේවල් කරන්නේ. අඩුම තරමේ තමන්ගේ කොණ්ඩේ ගැනවත් හිතන්න බැරි නිළියක්ගෙන් ඇති වැඩේ මොකක්ද? දැන් ඉස්සරහට යම් වැරැද්දක් දැකලා අධ්‍යක්‍ෂවරයෙක් නිළියකට අවවාද කළොත් ගිහින් මාධ්‍යවලට කියන්නේ මොකක්ද, මට බලහත්කාරකම් කරන්න ආවා කියලයි. ඒ තත්ත්වය නැති කරන්නයි මම මේ පෙනී සිටින්නේ.

* මේ පිළිබඳ හා අර ගියවර කතා කළ සිදුවීම සම්බන්ධයෙන් ඔබ නීති මඟින් ක්‍රියා කරන බව දැනගන්න ලැබුණා. එහෙමද?

මේ පිළිබඳ පැමිණිල්ලක් ගොනු කරන්නට මම ගියා මහනුවර පොලිසියට. ඊට පස්සේ මගේ කතාව කාරුණිකව අහගෙන ඉඳලා ඔය සිදුවීම් දෙක පිළිබඳවම මගේ කට උත්තර ලියා ගත්තා. පැමිණිල්ල කරන්න මම ගියේ උදේ 9.30 ට. හවස 2.00 යි පැමිණිල්ල සටහන් කරලා ඉවර වෙන කොට. ඔවුන් කිව්වා මහනුවර පොලිස් ඉතිහාසයේ ලියපු දිගම පැමිණිල්ල මේක කියලා. ඒ අනුව ඉදිරියේ දී නීතියෙන් මම ක්‍රියා කරනවා. මා නිවරැදි නිසා කිසි බියක් හෝ චකිතයක් නැතුව මේ සියලු දේට මම මුහුණ දෙනවා.

ආදේශක ලියයි