වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




‘සවනට ගී මධු’ නිසා හතරවෙනි තට්ටුවටත් ගියා

‘සවනට ගී මධු’ නිසා හතරවෙනි තට්ටුවටත් ගියා

එස්. ඒ. බෙනට්.

ටී. එන්. එල්. නාළිකාවේ දීර්ඝ කාලයක් විකාශය වූ සවනට ගී මධු වැඩසටහනේ නිෂ්පාදකවරයා වූ එස්. ඒ. බෙනට් ගේ ජන්ම දිනය සහ තිස්වසරක කලා ජීවිතය සමරමින් උපහාර උත්සවයක් මෙම මස 22 වැනි දා සවස 3.00 ට කොළඹ 07 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ඒ වෙනුවෙන් එස්. ඒ. බෙනට් සමඟ කළ කෙටි කතාබහකි මේ.

‘සවනට ගී මධු’ මේ කතාව අරඹන්න සුදුසුම තැන එතැන?

ඔව්, සවනට ගී මධු වැඩසටහනින් තමයි මගේ නමත් බොහෝ සෙයින් මිනිසුන් අතරට ගියේ. ඒ වගේම එම වැඩසටහනත් ඉතාම ජනපි‍්‍රය වුණා. වසර පහළොවකට අධික කාලයක් විකාශය වූ එය මෙරට දීර්ඝතම විචිත්‍රාංග වැඩසටහන කියලා කියන්න පුළුවන්. මගේ තිස්වසරක කලා ජීවිතයේ මා වඩාත් ඔසවා තැබුවේ සවනට ගී මධු. මා වෙනුවෙන් උපහාර තිළිණ ලබාදීමට ඒක ප්‍රධාන හේතුවක් ලෙස මා සලකනවා.

කොහොමද ඔබේ කලා ජීවිතය සහ සවනට ගී මධු ඇරැඹෙන්නේ?

කරුණාරත්න අබේසේකරයන්ගේ සරස්වතී මණ්ඩපයෙන් තමයි මං මුලින්ම කලඑළියට එන්නේ. ඒ මගේ ගුරුතුමා. මුල් කාලේ මට ඕන වුණේ නිවේදකයකු හෝ ගායකයකු නැත්නම් නළුවකු වෙන්න. ඒ හීන හිතේ තියාගෙන ඉන්නකොට අහම්බෙන් දැන්වීම්කරණයට යොමු වුණා. එතකොටත් ගුවන් විදුලියට ආවා ගියා. රූපවාහිනි නිෂ්පාදනවලටත් යොමු වුණා. ඔහොම කාලය ගෙවී යද්දී ශ්‍රීමත් ඉන්ද්‍රජිත් හමුවුණු වෙලාවක මම ඔහුට සවනට ගී මධු වැඩසටහනේ අදහස කිව්වා. එය මෙහෙයවන්නට මා තෝරා ගත්තේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත්. මම එතකොටත් ස්වාධීන රූපවාහිනියේ ස්වීට් හවුස් විවිධ ගීත තරංඟ නම් වූ වැඩසටහනක් නිෂ්පාදනය කරමිනුයි හිටියේ. ශ්‍රීමත් ගෙනුත් වැඩේට අකැමැත්තක් තිබුණේ නැහැ. මම ඊළඟට ගියේ වැඩසටහනට නමක් හදාගන්න අරිසෙන් අහුබුදු මහත්තයා ළඟට. ඔහුගේ අතිනුයි ‘සවනට ගී මධු’ කියන වචන එකතු වුණේ. 1997 මුල්ම වැඩසටහන පටන් ගත්තා.

මොනවගේ ප්‍රතිචාරයන් ද වැඩසටහන සඳහා ආරම්භයේ දී තිබුණේ?

අපරාදෙ කියන්න බැහැ, පටන් ගත්තු දින ඉඳලාම වැඩසටහන ප්‍රේක්‍ෂකයන් අතරට ගියා. බාල, මහලු කොයි කා අතරත් ජනපි‍්‍රය වුණා. අද දක්වාම එය එහෙමමයි. ඒත් යම් යම් අවස්ථාවන්වලදී අපහසුතාවන්ට පත් වූ අවස්ථා ද නැතුවාම නොවෙයි.

ඒ මොනවාද?

මං හිතන්නේ සවනට ගී මධු තරම් නීතිමය ප්‍රශ්න ආපු වෙනත් වැඩසටහනක් නැතුව ඇති. අපි බොහෝවිට කලා කරුවන්ගේ පෞද්ගලික ජීවිතයේ රහස්් ගැන අහනවා. සමහර අයට ගැටලුවක් අපි ඒවා දැනගන්නේ කොහොමද කියලා. ඔවුන් අප අහනදේට උත්තර දීලා වැඩසටහන අවසානයේදී ඒක දාන්න එපා කියනවා. මගේ හිතුවක්කාරකමට මං සංස්කරණය නොකර ඒ කතා ටෙලිකාස්ට් කරනවා. ඔන්න ඉතින් ඊට පස්සේ නඩුවක් තමයි. එලෙස මට විරුද්ධව කිහිපදෙනෙකුම නඩු මාර්ගයට ගියා. එකපාරක් හතරවෙනි තට්ටුවට පවා යන්න වුණා. ඒත් ඒවා කතාබහකොට විසඳාගෙන මම දිගටම වැඩසටහන කළා.

අප සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සවනට ගී මධුවලට එන්න බැහැ කිව්වලු නේද?

අනිත් සෑම කලාකරුවකුම අප කතා කරපු තැනට ආවා වැඩසටහන කරන්න. නමුත් ගාමිණී මහත්තයා ආවේ නැහැ. කතාකරන හැම වෙලාවකම කිව්වේ ‘අයිසෙ ෆෙ‍්‍රීගෑම් එක කරන්න මං ආසයි. ඒත් ඔහේ බැහැ. අපේ ගෙදර එනවා’ කියලා. දෙතුන්පාරක්ම මම කොළඹ එන්න කතා කළා. ඒත් ඔහු ආවේ නැහැ. අන්තිමේ කැමරා ආම්පන්නත් උස්සගෙන අපි එහේ ගියා.

ඔබේ කලා ජීවිතයට වසර තිහයි. මොකද හිතෙන්නේ?

දැන් අපි පරණ ඇන්ජින් කියලා තමයි හිතන්නේ. පරණ ඇන්ජින් වුණත් තවමත් හිතින් තරුණයි. මේ දිනවල ‘සවනට ගී මධු’ නවතා තිබුණත් ඉතාම ඉක්මනින් නැවත පටන් ගන්නවා. ඒ හරහා මම කලා ලොවට බොහෝ දෙනෙක් හඳුන්වා දුන්නා. ඒ වගේම අලුත් ගායකයන්ගේ ගීත විෂුවල් කරලා වැඩසටහන අතරෙහි විකාශය කළා. නිහතමානී සතුටක් තියෙනවා මං කළ කී දේ ගැන. ඒ වගේම නීරසව තිබූ වෙළෙඳ දැන්වීම් ක්‍රමය නවමානයකට යොමු වුණා මං ගුවන් විදුලියට කළ ඇඩ්ස්වලින්.

22 මොකද වෙන්නේ?

තිස්ස ඩයස් රසික හවුල හා කලා සංසදයෙනුයි මෙම සැමරුම් උත්සවය සංවිධානය කළේ. මං ගැන ගොඩක් දේ දන්න ශ්‍රීමත් මේ අවස්ථාව මෙහෙයවනවා. දයාල් බණ්ඩාර ප්‍රමුඛ රයිම්ස් සංගීත කණ්ඩායමේ සංගීතයෙන් හා විචිත්‍රවත් නර්තන අංගයන්ගෙන් උත්සවය රසවත් වේවි. මාත් එක්ක එකට කට්ට කාපු, මාත් එක්ක දුක, සැප, සතුට බෙදාගත් මාත් එක්ක නිබඳවම සිටි සහෘදයෝ ඔක්කොමලා එදාට ඒවි.