වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රදීප් රත්නායක ‘කුවේණි අස්න’ සමඟ දකුණු අප්‍රිකාවට

ප්‍රදීප් රත්නායක ‘කුවේණි අස්න’ සමඟ දකුණු අප්‍රිකාවට

ප්‍රදීපාංජලී 23 දා ලයනල් වෙන්ඩ්ට්හිදී...

මෙරට බිහි වූ විශිෂ්ටතම මෙන්ම ජගත් කීර්තියට පත් ප්‍රමුඛතම සිතාර් වාද්‍ය ශිල්පියා ඔහු යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. සිතාරයේ තත් අතරින් ජීවිතයේ සියුම් භාවයන් හා සොබා දහමේ අපූර්ත්වය ද එකට කළතා අප හදවත වින්දනීය ඉසව්වකට රැගෙන ගිය ඔහු නමින් ප්‍රදීප් රත්නායකය.

හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයකු වූ නිරූපම් සෙන් වරෙක ඔහු හැඳින්වූයේ ලංකාවේ රවි ශංකර් යන අනවර්ත නාමයෙනි. එය ඔහුගේ අග්‍රගණ්‍ය සිතාර් වාදනය උදෙසා ලද හොඳම සහතිකයකි.

ප්‍රදීප්ගේ නවතම ශාස්ත්‍රීය සංයුක්ත තැටිය’සංතුට්ඨි’ මෙම 23 වන දින සවස 7.00 ට කොළඹ ලයනල් වෙන්ටඩ් රඟහලේ පැවැත්වෙන ‘ප්‍රදීපාංජලී’ 17 වැනි ප්‍රසංගයේදී එළි දැක්වීමට නියමිතය. මෙහි විශේෂත්වය වනුයේ ලෝ ප්‍රකට විශිෂ්ටතම සිතාර් වාදකයකුව සිට මෑතකදී අපෙන් වියෝ වූ පණ්ඩිත් රවි ශංකර් ගේ අද්විතීය සිතාර් වාදන අංගයන් කිහිපයක් ප්‍රදීප් විසින් ඉදිරිපත් කිරීමයි.

ඇත්තෙන්ම මං මෙවර ‘ප්‍රදීපාංජලී’ ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ පණ්ඩිත් රවි ශංකර්ට උපහාරයක් හැටියටයි. ශංකර් 1967 දී ‘මොන්ටෙරි පොප් ෆෙස්ටිවල්’ හිදී වාදනය කළ අංගය, සත්‍යජිත් රායිගේ ‘පතෙර් පංචාලි’ තේමා සංගීතය වගේ ලෝ ප්‍රකට සංගීතාංග මම පේෂල මනෝජ් ගේ තබ්ලා වාදන සහාය ඇතුව ඉදිරිපත් කරනවා. යෙහුඩි මෙනුහින් කියන සුපක්‍රට වයලීන වාදකයා සමඟ ශංකර් වැයූ ග්‍රැමී සම්මානයෙන් පුද ලැබූ East Meets West  ඇල්බමයේ ඇතුළත් වන ‘රාග පීලු’ නම් සුවිශේෂී වාද්‍ය අංගයත් එදාට මා වාදනය කරනවා. අපේ රටේ බිහි වූ විශිෂ්ටතම වයලීන වාදකයකු වන ආනන්ද දාබරේ තමයි මට එහිදී වාදනයෙන් සහාය වන්නේ. ජෝන්පියර් රාම්පාල් කියන බටනලා වාදකයාත් එක්ක වැයූ ‘Morning Love’ වාද්‍ය අංගයත් මා සුරේඛා අමරසිංහගේ සහාය ඇතිව ඉදිරිපත් කරනවා.

එදිනට එළි දකින ඔබේ නවතම සංයුක්ත තැටිය පිළිබඳ කතා කළොත්?

‘සංතුට්ඨි’ කියන්නේ මගේ හත්වැනි සංයුක්ත තැටිය. ‘පූජා’ ස්ටුඩියෝ නමින් මෑතකදී මම ආරම්භ කළ ශබ්දාගාරයේ තමයි මේ ගීත මම නිර්මාණය කළේ. මට තිබුණ ලොකුම අඩුපාඩුව තමයි මගේම කියලා ශබ්දාගාරයක් නොතිබුණ එක. ඒත් දැන් කල්වේලා අරගෙන නිවි සැනසිල්ලේ නිර්මාණකරණයේ යෙදෙන්න හැකියාව ලැබී තිබෙනවා. අමෙරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අවධියේ තමයි මම මේවා මුලින්ම රෙකෝඩ් කළේ. ඩොක්ටර් ටෙරී ප්‍රින්ටර් කියන ප්‍රසිද්ධ ශබ්ද ඉංජිනේරුවා හා නිතින් මිත්තා කියන ඉන්දියාවේ විශිෂ්ට තබ්ලා වාදකයා සමඟයි මම මේ කාර්යය කළේ. ඒක මෙහෙ ගෙනල්ලාර්ඪය කරලා මාස්ටර් එක කළේ මගේ ස්ටුඩියෝ එකේ.

අපේ රසික ජනතාව උසස් සංගීත නිර්මාණ රසවිඳින පිරිසක් බවට පත් කිරීම වර්තමානයේ ඔබ වැනි සංගීතඥයකුට පැවරුණ එක්තරා විදිහක වගකීමක්?

එහෙම දේවල් කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ රස වින්දනයත් එක්කම මානසික සුවයක් ලබා ගන්න පුළුවන්. අද අපේ සමාජය හරිම නොසන්සුන්, කලබලකාරී තත්ත්වයක නේ තියෙන්නේ. අද රටේ කොච්චර අපරාධ වෙනවාද, කොච්චර සිය දිවි නසා ගැනීම් සිදු වෙනවාද? අපි තීරණයක් ගන්න කොට සංවේදීභාවය ඉතා වැදගත්. මම හිතන්නේ නෑ සංගීතය රස විඳීන කෙනෙක් කවදාවත් අර වගේ තත්ත්වයකට පත් වෙයි කියලා. සංගීතයෙන් ලෙඩ රෝග පවා සුව කරන්න පුළුවන් බව අද හොයාගෙන තියෙනවානේ. එතනදි වඩා වැදගත් වෙන්නේ ගීතයට වඩා වාදනය.

ප්‍රදීප් රත්නායක නිරන්තරයෙන් සිය නිර්මාණ දිවියේ විවිධ අත්හදා බැලීම් කරන සංගීත ශිල්පියෙකි. එය එක තැන පල් වෙන මඩ ගොහොරුවක් නොවේ. ඔහු විසින් නිර්මාණය කළ ‘කුවේණි අස්න’ සංධ්වනිය අපට කියා පාන්නේ ප්‍රදීප් සතු අපූර්ව ප්‍රතිභාවේ තවත් එක් පැතිකඩකි.

‘කුවේණි අස්න’ සම්බන්ධයෙන් මම අලුත් නිර්මාණයක් කරන්න හිතුවා. ‘ෆුල්බ්‍රයිට්’ ශිෂ්‍යත්වයක් ලැබිලා කොලොම්බියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලේ ඒ කියන්නේ 2009 දී තමයි බර්ලින් නගරයේ නිවි බ්‍රැන්ඩන්බර්ග් ෆිලාමනික් ඔකෙස්ට්‍රා එකේ කන්ඩක්ටර්ගෙන් මේ ආරාධනාව ලැබුණේ. සිතාරයත් එක්ක මෙහෙම සංධ්වනියක් කරන්න පුළුවන් ද කියලා ඔහු මගෙන් ඇහුවා. කුවේණි අස්නේ තියෙන නාද මාලාවන් හය හරියටම දැනගන්න මට කාන්ති ශිල්පාධිපති මහත්මිය ගොඩක් උදවු කළා. ජන සංගීතය පිළිබඳ ඇගේ හසල දැනුමට ගොඩක් ගරු කරන කෙනෙක් මම. මොකද හරියටම හරි ඒ ස්වර මාලාව.

අපේ සාම්ප්‍රදායික නාද මාලාවන් බටහිර සංගීත සම්ප්‍රදාය හා මුසු කරමින් තමයි ඔබ ‘කුවේණි අස්න’ නිර්මාණය කළේ. මේක අභියෝගයක් නොතිබුණා කියන්න බෑ?

මගේ ප්‍රථම උපාධියයි, පශ්චාද් උපාධියයි මම කළේ ශාන්ති නිකේතනයේදී. එතකොට කොලොම්බියා විශ්ව විද්‍යාලයේ උත්තර භාරතීය සංගීත සම්ප්‍රදාය උගන්වන්නෙවත් නෑ. බටහිර සංගීත විධි ක්‍රම මම හැදෑරුවා. අපි කොච්චර ඒවා කළත් බටහිර සංගීතයේ තියෙන නීති රීති අනුව තමයි සංධිවනියක් නිර්මාණය කළ යුතුª වන්නේ. සාමාන්‍යයෙන් සිම්ෆනියක අදියර හතරක් තිබෙනවා. මුල්ම අදියර ගත්තාම ගොඩක් වේගවත්. දෙවැනි අදියර ඉතාමත් සෙමෙන්. තුන්වැනි අවස්ථාව ඉතාමත් සතුට දනවන විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. හතරවැනි ඒ කියන්නේ අවසන් අදියර තමයි ඉතාමත් වේගයෙන් වාදනය කරන්නේ. මේ සම්පූර්ණ සිම්ෆනිය වාදනය කෙරෙන කාලය විනාඩි විස්සයි. මාස අටක් පමණ ගියා මට මේක නිර්මාණය කරන්න.

එළැඹෙන මාර්තු මාසයේ ‘කුවේණි’ සංධ්වනිය වැයීම සඳහා අප්‍රිකා මහාද්වීපයේ විශිෂ්ටතම සිම්ෆනි වාද්‍ය වෘන්දයක් සේ සැලකෙන KZN Philharmonic Orchestra වෙතින් ඔහුට ඇරයුමක් ලැබී තිබේ. ඒ අනුව දකුණු අප්‍රිකාවේ Durban රංග ශාලාවේ ‘කුවේණි අස්න’ ඉදිරිපත් කෙරන්නේ හැත්තෑ දෙනෙකුගෙන් පමණ යුත් වාද්‍ය වෘන්දයක් මඟිනි. සිතාරය හා චෙලෝව මෙම ප්‍රසංගයේදී ප්‍රධාන සංගීත භාණ්ඩ දෙක ලෙස වාදනය කරනු ලැබේ. බොරිස් කෙරිමොච් චෙලෝවෙන් ප්‍රදීප්ට දායක වන අතර සංධ්වනිය මෙහෙය වන්නේ යසුඕ ෂිනොසකිය.

‘කුවේණි අස්න’ පළමු ප්‍රසංගය මම ඉදිරිපත් කළේ ජර්මනියේදී. ඉතාමත් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. ජර්මනිය කියන්නේ සුප්‍රකට සංගීතඥ බිතෝවන්ගේ උපන් රට. එහෙදි සිම්ෆනියක් වාදනය කරලා හොඳම ප්‍රතිචාරයක් ලබනවා කියන්නේ සුවිශේෂ දෙයක්. අපි මේ සංධ්වනිය එහෙ ඉදිරිපත් කරපු වෙලාවේ හැමෝම අත්පොලසන් දෙමින් අපට ප්‍රණාමය පුද කළා. අවසානයේදී අසුන්වලින් නැගිටලා අපට ආචාර කළා. මට ඒක කවදාවත් අමතක නොවන සිදුවීමක්.

අපි ඔබේ සිනමා සංගීතය පිළිබඳවත් කතා කරමු?

සිනමා සංගීතයට මම ප්‍රවේශ වුණේ ඇත්තටම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘වෑකන්ද වලව්ව’ චිත්‍රපටයෙන්. එහි සංගීතය සම්මාන උළෙලවලට නිර්දේශ වුණා. ඊට පස්සේ මම කළේ ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කළ ‘මගේ වම් අත’. එයත් නිර්දේශ වුණා. තුන්වැනි චිත්‍රපටය සත්‍යජිත් මාඉටිපේගේ ගේ ‘බොර දිය පොකුණ’. එය තවම තිරගත වුණේ නෑ. ඊට පස්සේ ‘ධීවරී’. ඒ චිත්‍රපටයට හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් මට සිග්නීස් සම්මානය හිමි වුණා. අවසන් වශයෙන් මම සංගීතය නිර්මාණය කළේ ‘ශ්‍රී සිද්ධාර්ත ගෞතම’ චිත්‍රපටයට.

මම හිතන්නේ ඔබේ සිනමා සංගීත දිවියේ සුවිශේෂ කඩඉමක් එය?

ඇත්තෙන්ම. ‘ශ්‍රී සිද්ධාර්ත ගෞතම’ චිත්‍රපටයට මම භාවිත කළේ පරිගණක සංගීතය. හැබැයි ඉතාමත් විමසිලිමත්ව හා නිර්මාණශීලීව තමයි ඒ කාර්යය කළේ. මගේම ශබ්දාගාරයේ. මේ සංගීත නිර්මාණයට මම මියුසික් ට්‍රැක්ස් එකසිය විසි අටක් යොදා ගත්තා. ඒ කියන්නේ වයලීන්, චෙලෝ ඇතුළු සංගීත භාණ්ඩ රැසක නියම හඬ, ඒ විදිහටම මම මේ තාක්ෂණය ඔස්සේ ප්‍රති නිර්මාණය කළා. දැන් බලන්න කරුණාව, දයාව, මෛත්‍රිය වැනි භාවයන් මම හොඳින් ඉස්මතු කළා කියා හිතෙනවා. මොකද තිර පිටපත විසින් ඉල්ලා සිටි සංගීතය. මට මේක ලොකු චැලේන්ජ් එකක් වුණා.

ඇයි එහෙම වුණේ?

මීට අවුරුදු දෙදාස් පන්සීයකටත් එහා ඉතිහාසයක් තමයි මට සංගීතාත්මකව ප්‍රති නිර්මාණය කළ යුතුව තිබුණේ. චිත්‍රපටයේ තිබුණ යම්, යම් අඩුපාඩු සංගීතය නිසා මඟහැරී ගියා කියලත් ඇතැමුන් කිව්වා. මේක මම කියන දෙයක් නෙවෙයි. ඒක හරිද කියලත් මම දන්නේ නැහැ. සිදුහත් කුමාරයා ගිහි ගෙය අතෑරලා යන වෙලාව තමයි මම හිතන්නේ සංවේදීම ජවනිකාව. විනාඩි දහයක් විතරම තනිකර ඒ ඇක්ෂන් එක යන්නේ සංගීතයෙන්. අපේ ජන ගායනා මට ඕනෑ වුණා ජපන් කට හඬකින් ගන්න. ජපානයේ විශිෂ්ට ගායිකාවන් දෙන්නෙක් තමයි ඒ ගායනයට දායක වුණේ. මේ සංගීත නිර්මාණයේදී මම තබ්ලාවක්වත් පාවිච්චි කළේ නෑ. මොකද තබ්ලාව කියන සංගීත භාණ්ඩය තිබ්බේ නෑ ඒ කාලේ. ‘ඩුඩුක්’ කියලා සුසර වාද්‍ය භාණ්ඩයක් තිබුණා. ඒක ආමේනියන්වරුන්ගේ අවුරුදු දෙදාස් ගණනකට පෙර භාවිතා කළ භාණ්ඩයක්. ඒකෙන් තමයි මම ගොඩක් තැන්වල නාද රටාවන් වාදනය කලේ. සැක්සෆෝනයට සමාන හඬක් එහි තියෙන්නේ.

ඔබේ ඒ සංගීත නිර්මාණය විදෙස් ඇගයුමට පවා ලක් වුණා?

ඔව්, පසුගිය දිල්ලි චිත්‍රපට උළෙලේදී හොදම සංගීත නිරමාණයට හිමි සම්මානය ලැබුණේ ‘ශ්‍රීී සිද්ධාර්ත ගෞතම’ චිත්‍රපටයට. අඩු ගානේ ලෝකයේ වෙනත් ශ්‍රේෂ්ඨ සංගිතඥයෝ මේක අහන්න ඇතිනේ. ඒකත් මට ලොකුª සතුටක්. විශේෂයෙන්ම ඉන්දියාවෙන් මෙවැනි සම්මානයක් හිමිවීම ගැන සතුටුයි. මොකද අපේ සංගීතය පවා අපි ගත්තේ එහෙන්නේ. ඉදිරියේදීත් සමන් වීරමන් මහත්මයාගේ චිත්‍රපටයක සංගීත නිර්මාණය කිරීමේ අවස්ථාව මට උදා වී තිබෙනවා.

කොහොම බැලුවත් අද ලංකාවේ ජනප්‍රියම සංගීතාංගය තමයි ගීතය. ඉදිරියේදී ඒ පැත්තෙන් නිර්මාණකරණයේ යෙදෙන්නට අදහසක් නැද්ද?

අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මම මෙතෙක් නොකළෙත් ඒකමනේ. කොච්චර දැවැන්ත නිර්මාණ කළත් අපට ගීතය බැහැර කරන්නට හෝ අවතක්සේරුවට ලක්කරන්න බෑ. එක්තරා ව්‍යාපෘතියකදී මම ආචාර්ය අමරදේවයන්ට හා විශාරද නන්දා මාලිනීට ගීත දෙකක් නිර්මාණය කර තිබෙනවා. ඒත් ඒවා මාධ්‍යයෙන් ප්‍රචාරය වුණේ නෑ. ඉදිරියේදී අපේ ප්‍රවීණ ගයක, ගායිකාවන් වෙනුවෙන් තනු නිර්මාණය කර සංයුක්ත තැටියක් එළි දක්වන්න හිතාගෙන ඉන්නවා.