වර්ෂ 2014 ක්වූ පෙබරවාරි 20 වැනිදා බ්‍රහස්පතින්දා




පාසල් යන කාලේ සිටම කලා හැකියාවන් මගේ ඇෙඟ් තිබුණා

පාසල් යන කාලේ සිටම කලා හැකියාවන් මගේ ඇෙඟ් තිබුණා

සම්පත් ජගත් කුමාර

රූපනය යනු ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. අනෙකා පිනවමින් තම චරිතයට උපරිම සාධාරණයක් සිදු කිරීමට සමත් නම් ඔහු හෝ ඇය දක්ෂ රංගන ශිල්පියෙකි. එවන් වූ රංගන හැකියාවන් රැසක් උරුම කරගත් තරුණයෙක් පසුගියදා සරසවියට ගොඩ වැදුණේය. ඔහු සම්පත් ජගත් කුමාරයි. ඔහුගේ හඬින්ම අපි ඔහු පිළිබඳ අපි දැනගනිමු.

මගේ ගම තලංගම කොස්වත්තේ. පාසල් ගියේ එම්. ඩී. එච්. ජයවර්ධන මහා විද්‍යාලයට. පාසල් යන කාලයේ ඉඳලම කලා හැකියාවන් මගේ ඇඟේ තිබුණා. අධ්‍යාපන කටයුතු හමාර කරලා ඉන්න කාලේ රංගන කටයුතුවලට යොමු වෙන්න මට ඉඩහසර ලැබුණා. මගේ මුල්ම රංගන දායකත්වය මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. ප්‍රවීණ රංගන ශිල්පී අමිත්ත වීරසිංහ සහ නැසීගිය අසේල ජයකොඩි එක්ක තමා මගේ පළමු නාට්‍යය වන පහන්සිළු හි රංගනයේ යෙදුණේ. ඒ මීට වසර 8 කට පමණ පෙර. ඒ ලබපු පන්නරයත් එක්ක රංගන ක්ෂේත්‍රයේ සාර්ථක ආරම්භයක් සනිටුහන් කරන්න මට හැකියාව ලැබුණා.

මේ වන විට මම යශෝධරා, ලාබයි ඇපල්, රෝස කටු, මේ සෞම්‍ය පාරාදීසය, සාරංගනා කියන ටෙලි නාට්‍යවලට රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. ඒ වගේම රට පුරා මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම වෙනුවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සකස් කළ කෙටි චිත්‍රපට දෙකකටත් රංගනයෙන් දායක වුණා. එය අධ්‍යක්ෂණය කළේ ජනප්‍රිය ජයසිංහයි.

ඉදිරියේදී තිරගතවීමට නියමිත සෝමවීර ගමගේ අධ්‍යක්ෂණය කළ ‘සැන්ඩි’ ළමා චිත්‍රපටයේ කපිල සිගේරා සමඟත් මම රංගනයේ යෙදෙනවා.

ඇත්තටම හැමෝටම මේ ක්ෂේත්‍රයේ හොඳ තත්ත්වයක් ගොඩ නගා ගන්න අමාරුයි. එවැනි ස්ථාවරත්වයකට පත්වෙන්න දක්ෂතාවය වගේම වාසනා ගුණයත් තියෙන්න ඕනෑ. ඉතින් මගේ අරමුණත් මේ ක්ෂේත්‍රයේ හොඳ රංගන පරාසයක නියැළිලා චරිතාංග නළුවෙක් ලෙස ඉදිරියට යන්න.

මේ ගමන සාර්ථකව ඉදිරියට යන්න විශාල පිරිසකගේ සහයෝගය ලැබෙනවා. ඒ අතරින් අමිත්ත වීරසිංහ, කපිල සිගේරා, මනෝජ් ලක්සිරි, කුමාර රණපුර කියන කලා ශිල්පීන්ව හෘදයාංගමව මතක් කරනවා. ඒ වගේම මාගේ මවුපියන්, බිරිඳ මා දිරිමත් කරනවා. ඉදිරියටත් හොඳ චරිත ලැබුණොත් හැකි උපරිමයෙන් රංගන දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.