|
මං පට්ට ආසයි මෝටර් බයිසිකල්වලට ඒ වගේම ඔයාගේ ආදරේට
නන්නත්තාර යෞවනය පිළිබඳ තැනුනු අපූරු චිත්රපටයක්බලාපොරොත්තු තබාගත යුතු සිනමා කෘතියක්
“ඉර පායනවා දවස උදා වෙනවා හෙටත් උදා වෙනවා ඒත් අපට නෙවෙයි කොළොම්පුරේ හරිම ලස්සනයි ඉර එළිය අදට වැටෙනවා තමයි”
ගිටාරයක් වයමින් ගීතයක් ගයන විසිහය හැවිරිදි තරුණයෙකි. ශාලාවක එහාටත් මෙහාටත් යමින් ගිටාරය වයන අයුරෙන් පෙනෙන්නේ ඔහු මෙතැනට ආධුනිකයෙක් වග නම් නොවේ. ශාලාවේ තැනින් තැන තබා ඇති මේස වටා ඇති පුටුවලින් ඉහළට එසවී පෙනෙන හිස් ගොඩකි. ඔවුන්ගෙන් සමහරෙකුගේ අත ඇත්තේ වීදුරුවකි. වීදුරුවේ හැඩය ගෙන ඇති මත්පැන් කටට හලා ගන්නා ඔවුන් තවත් වරක් තම මත්පැන් වීදුරුව පුරවන්නේ පුරුද්දට මෙන්ය. තවෙකෙක් තමා ඉදිරිපස ඇති මත්පැන් වීදුරුව අතෙන් අල්ලා ගෙන ඒ දෙස බලාගෙන සිටින්නේ කිසිවෙකුත් පැමිණ එය උදුරාගෙන යාවිය යන බියෙනි. මේසයක් වටා තනිවම වාඩිවී සිටින එකෙක් තමා ඉදිරිපස තිබෙන කාලක් පමණ ඉතිරි වී ඇති බෝතලය දෙස බලා සිටින්නේ අනිමිස ලෝචන පූජාවෙනි. ඔවුන් අතරෙන් එහාටත් මෙහාටත් යමින් ගී ගයන තරුණයා ගයන ගීතය ඔවුන්ට ඇසෙන්නේ දැයි ඒ දෙස බලා සිටින්නෙකුට ඇතිවන ප්රශ්නයකි. ඔවුන්ට ඇසුණද නෑසුණද කම් නැතැයි සිතමින් දෝ තරුණයා උඩ පනිමින් ගයයි. ඔහු ගයන ගීතයට තාල අල්ලන කිහිපදෙනෙකු හෝ එහි සිටිනු පෙනෙයි. හදිසියේම තරුණයාගේ ගීතය නතර වන්නේ එහි උන් එකෙකුගේ ඉල්ලීමකිනි. “ඕ...... මල්ලි, බකමූණා ඔළුවට එනවා නෙවෙයි. මේ ගහනවකෝ නැගල යන සින්දුවක්. මේක රික්වෙස්ට් එකක්.” ඔහු කියූ ගීතයේ පදයක් කියා ඔහුට ඔච්චම් කරමින් වෙරිමතින් කෑගසන ඔහු ජෝතිගේ ගීතයක් තමාටම කියයි. “දිය පොඳක් වෙමින් තොල් වියැළෙන පිපාසෙට....................” “ඒකේ මට වචන මතක නෑ බං” ඒ මධුලෝලිය කියන ගීතයේ පද නොදත් තරුණයාගේ මුහුණේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. “සර් වෙන එකක් ගහන්නද?” තරුණයා ඔහුගෙන් අසන්නේ අසරණවය. “ඒක හරි යන්නේ නැහැ. ඕයි මම දන්නේ ඒකනේ. යනවා ඕයි යන්න. ගහන්න බැරිනම් ගහගන්නවා ගිටාර් එක ඔළුවේ.” එදින සිය කටයුතු අවසාන කරන මේ තරුණයා ඔවුන්ට සමුදෙයි. ශාලාව ඇතුළෙන් මහ මඟට පිළිපන් ඔහු කඩාගෙන බිඳගෙන දුවන්නේ එක්වරමය. ඒ ඇසිල්ලේම වේගයෙන් ඇඳෙන බස් රියක් දෙස ඔහු බලා සිටින්නේ ‘දැන් කුමක් කරන්නද?’ යන හැඟිමෙනි. එතැනින් නොනවතින ඔහු පා ගමනෙන් ඇවිද යයි. හදිසියේම ඔහු සිටිනා ගසක් අතරෙන් දකින්නේ මහා මාර්ගයේ ඈත කොණක මිනිසෙක් මරන අයුරුය. බියවන තරුණයා මුළු පළාතම කඩා බිඳ දමාගෙන දුවන්නේ ඉන් ඈත් වී යන්නට මෙනි. ඔහු පසුපස කවුරුන් හෝ එළවනවාද යැයි අපට සැකයක් ඇතිවන්නේ ඔහුගේ මේ දිවිල්ලෙනි. “ඇත්තටම මේ තරුණයා මිනිසෙකු මරණවා දුටු බව වෙනත් කෙනෙකු දැක්කේද?” එසේ නම් ඒ සාක්ෂිය නැති කරනු සඳහා ඔහු මේ තරුණයා එලවාගෙන පැමිණියේද? මේ තරුණයා කවුද? ඔහුගේ බලාපොරොත්තු මොනවාද? යන ගැටලු රැසක් අප සිතේ මතුවෙයි. ඒ ගැන දැන ගන්න ඔබ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය නැරඹිය යුතුවෙයි. ළඟදී තිරගත වීමට නියමිත ‘මෝටර් බයිසිකල්’ ශමීර රංගන නාඔටුන්න නම් තරුණ අධ්යක්ෂකවරයාගේය. ඔහු මේ කතාවේ එන තරුණයා ගැන පවසන්නේ මෙවැනි කතාවකි.
“මං පට්ට ආසයි මෝටර් බයිසිකල්වලට........... මං බයික් එකක් ගන්න දවස ගානේ හීන මැව්වා ........... මගේ බයිසිකලේ ඔයාව දාගෙන යනකොට ........... මට ඇත්තටම දැනුනා මං ජීවත් වෙනවා කියලා........... ඒක හරි ලස්සන දවසක්........... ජීවිතේ හරි පුදුමයි........... මේක කොතනින් පටන් අරං ........... කොතනින් කෙළවර කරන්න වෙයිද කියලා මං දන්නේ නෑ........... ඒත්........... මං ඔහේ ජීවත් වෙන්නේ මැරෙනකම්ම ........... ඔයත් එක්ක.”
මේ කතාව ආදර කතාවකි. ඒ විතරක් කොවෙයි, තවත් බලාපෙරොත්තු තබා ගත හැකි සිනමාකරුවෙක්ගේ මුල්ම සිනමා නිර්මාණයයි. අපේ සිනමාවේ අනාගතය හිමිවිය යුතු මෙවැනි සිනමාකරුවන්ට නියත විවරණදීම සිනමා බලධාරින්ගේ යුතුකමයි.
රෝයි බ්‍රදර්ස් ඉමැජරි ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි. රචනය සහ අධ්‍යක්ෂණය - ශමීර රංගන නාඔටුන්න නිෂ්පාදනය - සුරංග ජයසූරිය කැමරා අධ්‍යක්ෂණය – විශ්වජිත් කරුණාරත්න සංස්කරණය – තිස්ස සුරේන්ද්‍ර කලා අධ්‍යක්ෂණය – රංගන සේනානායක සංගීත අධ්‍යක්ෂණය – අජිත් කුමාරසිරි ඩිජිටල් වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ අංග රචනය – ප්‍රියන්ත එස්.වන්නිනායක ඇදුම් නිර්මාණය – ලසන්ත උඩුකුඹුර
ගී පද රචනය – උපුල් ශාන්ත සන්නස්ගල අජිත් කුමාරසිරි ශමීර රංගන නාඹටුන්න
ගීත ගායනය – අජිත් කුමාරසිර ලක්රුවනි ශ්යයිරෝ චින්තක ගීතදේව මනෝජ් කුමාර
නිෂ්පාදන කළමනාකරණය – දීපාල් ගුණරත්න සහය අධ්‍යක්ෂණය – දමින්ද ඩී. මඩවල ශබ්ද පරිපාලනය – අරුණ ප්‍රියන්ත කළුආරච්චි රංගන ශිල්පීන් – දසුන් පතිරණ , සමනලී ෆොන්සේකා, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත ලලිත්, දිමුතු චින්තක, නෙතලි නානායක්කාර, දයාදේව එදිරිසිංහ, කළණ ගුණසේකර
|