වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සිසිර අයියා ගැන සටහනක්

සිසිර අයියා ගැන සටහනක්

අපේ සිනමාවේ සංගීතය ගොඩනැගෙන්නේ සිනමා රූපරාමුව මෙන්ම දකුණු ඉනිදියානු ආභාසය ලබාගෙනි. එහි එහි මුල්යුගයේ සංගීතය සැපයූ බොහෝ සංගීතඥයන් ඉන්දියානුවන්ය.නැතහොත් ගව්ස් මාස්ටර් වැන්නෝ ඉන්දියානු සම්භවයෙන් යුක්ත වූහ. අපේ මුල්ම කථා නාද චිත්‍රපටය වන 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන ලද්දේ නාරායන අයියාර් ය.

හියුගෝ ප්‍රනාන්දු එයට සහය දුන්නේය. 'කඩවුණු පොරොන්දුව' සඳහා තැනුන ගීත එහි නාට්‍යයේ අඩංගු ඒවාද එසේ නම් එහි ගී තනු නිර්මාණය කරන ලද්දේ කවරෙක්ද යන්න මට සොයාගත නොහැකි විය. එහෙත් ඉන්දියානු හුරුවෙන් යුක්ත 'කඩවුණු පොරොන්දුව' එහි ගායනා සඳහා කිසිවිටෙකත් සිංහල නොවන කටහඬවල් මිශ්‍ර කළේ නැත. එහි ගායනයෙහි යෙදුණේ 'කඩවුණු පොරොන්දුව' රචනා කළ බී.ඒ .ඩබ්ලිව් ජයමාන්නයන්ගේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේම ගායක ගායිකාවන්ය. එහෙත් එයින් පසු මුල් දශකය පුරාම බහුල වශයෙන් සිංහල චිත්‍රපට සඳහා ගායනයෙහි යෙදුණේ ඉන්දියානු ගායක ගායිකාවන්ය.

නැතහොත් මුලින් කී පරිදි ඉන්දියානු සම්භවයෙන් යුතු ගායක ගායිකාවන්ය. මුල් දශකයේ අසිංහල කටහඬවලින් සිංහල චිත්‍රපට ගී ගැයුම් මොනතරම් වසංගතයක් වීද යත් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී පවා ප්‍රශ්න කෙරිණ. කෙසේ හෝ වේවා අපේ සිංහල ගීත ගායනයට අසිංහල කටහඬෙන් සිදුවන විපත්තිය පිළිබඳව මුල් වරට හඬ නැගුවේ සිංහල මන්ත්‍රීවරයකු නොවීම ඉතා වැදගත්ය. එලෙස මුල්වරට හඬ නගන ලද්දේ එවකට කඩුගන්නාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ සී.ඒ.එස්.මරික්කාර් මහතාය. ඔහු පාර්ලිමේන්තුවේදී වේගවත් කතාවක් කරමින් කියා සිටියේ එක්තරා සිංහල චිත්‍රපටයක ගීතයක් ශ්‍රවණය කරන විට 'අනේ පෙනේ මාව දාලා යෙන්න නම් යෙපා' යනුවෙන් ඇසෙන බවය.

එය සිංහල ගීතයට පමණක් නොව සිංහල භාෂාවටද කරන මහත් අගෞරවයක් බැව් පෙන්වා දුන්නේ එවකට පාර්ලිමේන්තුවේ සිටි සිංහල චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සිංහලයන්ද අන්දමන්ද කරවමිනි. කෙසේ හෝ වේවා මරික්කාර් මහතාගේ හඬ නැඟීම ඉන්දියානු ගායක ගායිකාවන් සිංහල චිත්‍රපටයට සම්බන්ධ වීමට පමණක් නොව සිංහල චිත්‍රපට ඉන්දියාවේ තැනීම පිළිබඳව ද ඉලක්ක කොට ගැනිණි. එහි ප්‍රතිඵලය වූයේ පසුව අගමැති වූ බණ්ඩාරනායක මහතා විසින් සිංහල චිත්‍රපට ඉන්දියාවේ තැනීම සම්පූර්ණයෙන්ම නවතා ලීමට අණ කිරීමෙනි.

මෙරට බිහි වූ ඉතා ඉහළ ගණයේ චිත්‍රාගාර වූ සිලෝන් සහ විජයා චිත්‍රාගාර ඉදි වුණේද එහි ප්‍රතිඵලයක් ලෙසටය. මෙරට චිත්‍රපට සඳහා අසිංහල ගායක ගායිකාවන් යොදා ගැනීමේ වැරැද්ද හිමි විය යුත්තේ මුල් යුගයේ ඉතා අපූරු සිනමා ගීතාවලියක් මෙන්ම පණ්ඩිත් අමරදේවයන් පවා රංගනයෙන් සහ ගායනයෙන් සිංහල සිනමාවට මුල්වරට දායක කරන ලද 'අශෝකමාලා 'චිත්‍රපටයට ය. එය අපේ දෙවැනි කතා නාද චිත්‍රපටය වෙයි. පසුකලෙක අශෝකමාලා චිත්‍රපටයේ සංගීතය මෙහෙයවා ලද ගෞරවය නිසාම මෙරට පුරවැසි පදවිය හිමි වූ මොහොමඩ් ගවුස් මාස්ටර් අශෝකමාලා චිත්‍රපටයේ ගායනය සඳහා භාග්‍යරතී නම් ඉන්දියානු දෙමළ ජනප්‍රිය ගායිකාව යොදා ගැනිණි. භාග්‍යරතී සිංහල චිත්‍රපටයකට ගී ගැයූ මුල්ම ඉන්දියානු ගායිකාව විය.

එහි ඇය සමඟ ගායනයේ යෙදුණේ මෙරට විශිෂ්ඨතම ගායකයෙක් ලෙස අපගේ ගෞරවයට පාත්‍රවන මොහිදීන් බෙග් ය. ඉතාම වැදගත් ස්වතන්ත්‍ර ගී තනු සිංහල සිනමාවට දායක කළ ගව්ස් මාස්ටර්ගේ මඟ අනුදත් ඊළඟ සංගීතඥයන් පිරිස පහසුවටත් වාසියටත් ජික්කි , ජමුනාරාණි, ඒ.එම් රාජා, පී.සුසිලා වැනි දෙමළ ගායක ගායිකාවෝ සිංහල චිත්‍රපට ගීතය සඳහා යොදා ගත්හ. ගව්ස් මාස්ටර්ට පසු ඉන්දියාවෙන් බිහි වූ බොහෝ සංගීතඥයෝ ඉන්දියානු ගායක ගායිකාවන් යොදා ගත්තා පමණක් නොව ඉන්දියානු තනුද කොපි කළහ.

මෙරට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයේ යෙදෙන මුල්ම සංගීතඥයා වනුයේ බී.(බඹරැන්දේ) එස්.(ශ්‍රීනාත්) පෙරේරා ය. ඔහු 'වැරදුනු කුරුමානම' චිත්‍රපටයේ සම සංගීත අධ්‍යක්ෂවරයා මෙන්ම 'පෙරළෙන ඉරණම' චිත්‍රපටයේ තනිවම සංගීතය මෙහෙය වූයේය. මේ අවධියේ බිහිවුණු අසිංහල කටහඬවල් පරදා ධර්මදාස වල්පොල, ලතා වල්පොල,සුසිල් ප්‍රේමරත්න,ක්‍රිස්ටිද මෙල්, එච් .ආර් ජෝතිපාල වැන්නන් බිහි විය. මේ අතරෙන් දීර්ඝතම ගමනක යෙදුණේ වල්පොල සහ ජෝතිපාල ය. ලබන බදාදා තම පැරණි සේවා ස්ථානයේ සගයන් වෙතින් ගෞරව බුහුමනට පත්වන සිසිර සේනාරත්නද මෙරට සිනමා සංගීතයෙහි පමණක් නොව ගායනයෙහි සලකුණක් ඉතිරි කෙරුවෙකි. සිසිර චිත්‍රපට ගායනයට පිවිසෙන්නේ 'පොඩි පුතා' චිත්‍රපටයේ 'මේ ලෝකේ නවාතැන වේ' ගීතය ගායනයෙනි. ඉන්දියානු තනුවක් අනුව ගැයුන මේ ගීතය සංගීතවත් කරන ලද්දේ ටී.එෆ් ලතීෆ් සහ එම්. ජී. සුගතදාස යන දෙදෙනාය.

එහෙත් සිසිරගේ වඩාත්ම ජනප්‍රිය ගීත තවමත් ඇසෙන්නේ 'රේඛාව' හරහාය. එහි තනු සුනිල් සාන්තගෙන් වන අතර සංගීතය බී .එස් .පෙරේරාගෙනි. චිත්‍රපට සංගීතයෙහි ඉන්දියානු සංගීතඥයන් අභිබවා මෙරටින් බිහි වූ සංගීතඥයන් අතර ඉහත කී නම් මෙන්ම ආර්.ඒ. චන්ද්‍රසේන, පී .එල් .ඒ .සෝමපාල, ෂෙල්ටන් ප්‍රේමරත්න, එඩ්වින් සමරදිවාකර ආදීන් මුල් යුගයේ ඉස්මතු වූ බව ඔවුනට ගෞරවයක් ලෙස මෙහි ලා සඳහන් කළ යුතුය. ගායනයෙන් සිනමාවට පිවිසෙන සිසිර 'හඳපාන' චිත්‍රපටයෙන් සිනමා සංගීත අධ්‍යක්ෂණයට යොමු වන්නේය.

එයින් ඔහු එම වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි සරසවිය සම්මානය ද දිනා ගත්තේය. හඳපාන සිසිර සේනාරත්නයන්ට ලැබෙන්නේ එහි නිෂ්පාදක හර්බට් එම්. සෙනවිරත්න ගෙන් විය යුතුය. 'හඳපාන' සඳහා සිසිර සේනාරත්නයන් ගීත හයක් නිර්මාණය කරන ලද්දේය. එම ගීත අදට ද ජනප්‍රිය ය. සිසිර සේනාරත්නයන් නැතහොත් සිසිර අයියා එයින් පසු සංගීතය නිර්මාණය කරන ලද්දේ චිත්‍රපට දහයකට පමණි. ඒ අතරින් 'පුංචි බබා', 'කවුද හරි', 'සෙනෙහස' වැනි චිත්‍රපටවල එන ගී අතිශය මියුරුය. ඉන්දියානු ආභාසය නිසාවෙන් අද පවා අපේ සිනමාවේ සංගීතය පිළිබඳ සම්මාන උළෙලවල්වල මිනුම් දණ්ඩේ දෝෂයක් ඇති බව බැලූ බැල්මට පෙනෙන්නකි.

සිනමා සංගීතය යනු හොඳ ගී තනු නිර්මාණය යයි. ජූරි සභික මහතුන් විසින් සලකනු ලබන බව සංගීතය උදෙසා ලද සම්මාන පිරික්සා බලන විට කෙනෙකුට සිතීම වැරැද්දක් නොවේ. චිත්‍රපට සංගීතය යනු ඉතා හොඳ ගී තනු නිර්මාණය වත් හිස් රූප රාමුවලට වාදනය පුරවා දැමීම වත් නොවේ. චිත්‍රපට පසුබිම් ගායනයේද බොහෝ විට සම්මාන ලැබී ඇත්තේ මියුරු ගායනයට විනා චිත්‍රපටය හා බද්ධ වන ගායනයකට නොවේ. වරක් එක්තරා සිනමා විනිශ්චය මණ්ඩලයක සාමාජිකයෙක් ලෙස කටයුතු කරද්දී මේ කාරණාව සම්බන්ධයෙන් දැඩි අරගලයක යෙදෙන්නට මට සිදුවිය.

චිත්‍රපටය හා බද්ධ වන ගායනයට සම්මාන ලබා දුන්නේ නම් එච් .ආර් ජෝතිපාලයන්ගේ සම්මාන ලැයිස්තුව සංඛ්‍යාත්මකව ඉහළයන්නට ඉඩ තිබිණ. 'හඳපාන' චිත්‍රපටය වනවිට මෙරට චිත්‍රපට පසුබිම් සංගීතයෙහි කැපී පෙනෙන විප්ලවයක් කළ 'ගම්පෙරළිය' තිරගත වී අවසන්ය. ඒ අනුව හඳපාන චිත්‍රපටය සිනමා සංගීතයෙහි විශේෂ නිර්මාණයක් නොවූවද ඒ සඳහා නිර්මාණය කරන ලද ගී තනු තව වසර සිය ගණනකට වුව රසයෙන් අඩු නොවන බව සහතිකය. මේ සඳහන කළ යුත්තේ සිසිර අයියලා කරන ලද කාර්යය

අවතක්සේරු කිරීමට නොව අපේ රටේ එකල පැවැති සිනමාවේ මිනුම් දඬු පිළිබඳ උදාහරණයක් සැපයීමට පමණි. එහෙත් ඉන්දියානු මිශ්‍රිත චිත්‍රපට ගීතාවලියක් පැවති යුගයක සිසිර අයියාගේ හඬ අතිශය රමණීය හා මියුරු ස්වරයෙන් මෙරට ශ්‍රවකයන් වැළඳ ගැනීම පුදුමයක් නොවේ. එය කෙතරම් මිහිරිද යත් අද පවා ඔවුන් ගයන ලද ගීත ශ්‍රාවකයන්ගේ සිත් සතන් පුබුදුවාලයි. 'දස්කොන්', 'මා ආලය කළ තරුණිය', 'පුංචි බබා', 'සෙනෙහස 'වැනි චිත්‍රපටවල පමණක් නොව ඉන් බැහැරව සිසිර අයියා විසින් ගයන ලද ගීත අතිවිශාල සංඛ්‍යාවක් නොවූවත් ඒ සියලුම ගීත එක සේ මිහිරි බැව් අවිවාදිතය. ඔහු සහ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර (ඉන්ද්‍රාණි අක්කා) එක්ව ගයන ලද 'සුදුපාට මල් නෙළා', 'නුහුරු නුපුරුදු රහස පිළිබඳ' වැනි ගී තවත් පරම්පරාවක ප්‍රේමය පිළිබඳ පාඩම් කියා දීමට සමත් වෙයි.

සංගීත අධ්‍යාක්ෂවරයෙකු, ගායකයෙකු පමණක් නොව සිසිර අයියා ගීත රචකයෙක් ද වෙයි. ඔහු විසින් ගයන ලද ගීත රාශියක් මෙන්ම එච් .ආර්. ජෝතිපාල ගයන 'ඔබේ පෙම් වදන්' වැනි ගීත ද සිසිර අයියා අතෙන් ලියැවුණු බව බොහෝදෙනා නොදන්නා කාරණයකි.එමෙන්ම සී.ටී. ප්‍රනාන්දු ගයන 'මී වදයකි ජීවිතේ' ගීතයේ සංගීත නිර්මාණයද ඔහුගේය. ඔවුන් මෙරට සංගීත ක්ෂේත්‍රයට අවතීරණය වන විට එය අද මෙන් ගායක ගායිකාවන් සුලබ යුගයක් නොවේ. ඔවුනට ගොඩනැගෙන්නට සිදුවූයේ අඩු පහසුකම් මත ය.

සිසිර අයියා සිනමාවට තෝරා ගැනුණේ පුරෝගාමී සිනමා මෙහෙවරක යෙදුණු සිරිසේන විමලවීරයන්ගේ අතින් වීම විශේෂයකි. විමලවීරයන්ට ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම හා එච්.ආර්.ජෝතිපාලයන්ගේ දක්ෂතාව හඳුනාගත නොහැකි විනා එහෙත් ඔහු සිසිර තෝරා ගන්නේය. එය විමලවීරයන්ගේ හපන් කමකි. එහෙත් ඔහු වඩා බැබළෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අතෙනි. ඒ අනුව සිසිර අයියා චිත්‍රපට ඉතිහාසයේ එක් පරිච්ඡේදයකි.

ඒ පරිචේදයේ අනේක පස සිටින්නේ ඔහු සමඟ සසර බැඳී පැමිණි ඉන්ද්‍රාණි අක්කාය. මේ යුවළ අපේ සිනමා ඉතිහාසයේ සංගීත ඉතිහාසයේ එක් පරිච්ජේදයක් නියෝජනය කරන බව අද බොහෝදෙනාට අමතකය. සාමාන්‍යයෙන් රාජකාරියෙන් විශ්‍රාම ගිය පසු ආයතනයකට ඔහු වැදගත් වන්නේ නැත. එහෙත් රේගු දෙපාර්තමේන්තුවට සිසිර අයියා මතක් වීම අපට උරුම වූ වැඩිහිටි සත්කාරය යළි සිහිපත් කිරීමකි. ඔවුන් සමඟ එක්ව මෙරට සියලු රසකාමීන් සමඟ සිසිර ඉන්ද්‍රාණි යුවළට දීර්ඝායු පතන්නට සරසවිය ද එක් වෙයි.