වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




අපි කොළඹට මේල් දැම්මෙ සියඹලා ගහ උඩ ඉඳන්

අපි කොළඹට මේල් දැම්මෙ සියඹලා ගහ උඩ ඉඳන්

සාරංග පතිරණ ක්‍රීඩා දිවියෙත් මාධ්‍ය දිවියෙත් රස තොරතුරු පවසයි

ජාතික තලයේ ක්‍රීඩා කුසලතාවයන් හිමි ක්‍රීඩකයකුට තම හැකියාවට තිත තැබීමට සිදුවීම තරමක අනුවේදනීය කතාවකි. එහෙත් ක්‍රීඩාව වෙනුවෙන් කිසියම් වූ මෙහෙවරක් කිරීමට හැකි වීම වාසනාවකි. ක්‍රීඩාව මත තම දෛවය තීරණය වූ ක්‍රීඩකයකුගේ වාසනාව හා අවාසනාව අතර දෝළනය වූ ජීවිතයට වෙනස්ම වු කතාවක් නිසා පහන් එළියක් රැගෙන ආ තරුණයකු ‘මියුරු සවන’ට එක් විය. ඔහු හිරු ඊඍ හි ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදක හා නිවේදක සාරංග පතිරණ.

පාසල් අවධියේදී ක්‍රීඩාවට පෙම් බඳින ඔබ ජාතික තලයේ ක්‍රීඩකයකු දක්වා දුර ගමනක් ගියා. එහෛත් ඒ ක්‍රීඩකයා අද අප අතර නැහැ. අද ඔබ නිවේදකයෙක්, වැඩසටහන් මෙහෙය වන්නෙක් වෙලා. එහෙම වුණේ කොහොමද?

මම පාසල් ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට. ඒ කාලයේ දී මලල ක්‍රීඩාවෙන් සමස්ථ ලංකා තරඟ ජයග්‍රහන රැසක්ම ජය ගන්න මට හැකියාව ලැබුණා. මම පාසල් අධ්‍යාපනයෙන් සමු ගත්තාට පස්සේ ක්‍රීඩා සමාජවලට සම්බන්ධ වෙලා මීටර් 100, 200 නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. 2004 වසරේදී මට ශිෂ්‍යත්වයක් ලැබුණා ක්‍රීඩා පුහුණුවට කියුබාවට යන්න. ලංකාවෙන් දෙන්නෙක්වයි ඒකට තෝරා ගත්තේ. ඒ පුහුණුවේදී ලෝකේ තියෙන සෑම ක්‍රීඩාවක් ගැනම පුහුණුවක් ලබා දෙනවා. පාස්පෝට් හදලා සියලු දේ අවසන් වුණාට පස්සේ යන්න ඉස්සෙල්ලා තෝර ගත්තු අපි දෙන්නට මලල ක්‍රීඩා සංගමයෙන් කතා කළා. අපි මවුපියෝ එක්ක සංගමයේ ලේකම් හමු වුණා.

ඔහු අපේ මවුපියන්ට කිව්වා දැන් කියුබාවට ගියාම අවුරුදු 06 ක් ඉන්න වෙනවා. යෑම් ඊම් කරන්න බැහැ. ඒ වෙනුවෙන් මලල ක්‍රීඩා සංගමයට විශාල වියදමක් දරන්න වෙනවා. උපරිමය වශයෙන් අවුරුදු හයටම දෙවරක් ලංකාවට එන්න අවස්ථාව තියෙනවා කියලා. ඒ කොන්දේසිය කිව්වේ අන්තිමට. ඒ කොන්දේසිය මට නම් ඒ තරම් ගානක් ගියේ නැහැ. මම කැමැති වුණා. ඒත් අපේ අම්මා තදින්ම ඒ ගමනට දැඩි ලෙස විරුද්ධ වෙලා මට යන්න දුන්නේම නැහැ. මට ඒ මොහොතේ තීරණය කරන්න වුණා එම ශිෂ්‍යත්වය භාර අරගෙන යනවාද, නැතිනම් අතහරිනවාද කියලා. මම ඒ ශිෂ්‍යත්වය ප්‍රතික්ෂේප කළ නිසා අනික් ක්‍රීඩකයාට යන්න ලැබුණෙත් නැහැ.

එදායින් පස්සේ ඒ ශිෂ්‍යත්වය ලංකාවට ආයෙත් ලැබුණෙත් නැහැ. ඇත්තටම මම කළේ ලොකු වරදක්. ඒ වෙලාවේ ඇවිත් හිටියා ස්වර්ණවාහිනියේ ක්‍රීඩා නිෂ්පාදක සංජය දිසානායක කියලා ආනන්දේ අයියා කෙනෙක්. ප්‍රේම පින්නවල දිසානායක සර් මාව දන්න නිසා සංජය අයියාට කිව්වා බලනවකෝ සංජය මේ වගේ අයනේ ආනන්දෙට යන්නේ . . . පුදුම අවස්ථාවක්නේ මඟ හරින්නේ කියලා. පස්සේ සංජය අයියා මගෙන් තොරතුරු අහලා මාත් එක්ක හිතවත් වෙලා මගේ දුරකතන අංකය ඉල්ලා ගත්තා. අහම්බෙන් දවසක සංජය අයියා මට කතා කරනවා. ‘මල්ලි . . . කැමැති ද අපේ මාධ්‍ය අංශයේ ක්‍රීඩා අංශයට සම්බන්ධ වෙලා වැඩ කරන්න’ කියලා.

මම කිව්වා අයියේ . . . මට කිසිම හැකියාවක් නැහැනේ මාධ්‍ය ක්ෂේත්‍රයේ. අඩුම ගානේ ඉස්කෝලෙදිවත් කතා කරලා නැතුව කොහෙමද ඔය වැඩේ කරන්නේ කියලා. නමුත් මම උත්සාහ කරලා බලන්නම් කියලා ඔහුට කිව්වා. පස්සේ මම පරීක්ෂණයකට ගියා. මම දන්න විදිහට ඒ පරීක්ෂණයට මුහුණ දුන්නා. අවුලක් නැහැ මල්ලි උඹව ගොඩ දාන්න පුළුවන්. මම රොස්මන් සර් ළඟට දාන්නම්, පස්සේ දවසක වරෙන් කියලා සංජය අයියා මට කිව්වා.

මේ අතරේ මම ක්‍රීඩා කිරීමත් අත හැරියේ නැහැ. දිගටම ක්‍රීඩා කරනවා. ඒ අතර ආසියානු ගොන්ෆ්‍රි ක්‍රීඩා තරඟාවලියට සහාය දිවිමේ තරඟයට තෝරා ගැනිමේ පරීක්ෂණය තිබුණා. මම ඒ අතරේ ජාතික සංචිතයට තේරුණා. තේරිලා ඒ බව දැනුම් දීලා පසුදා පුහුණුවට යන්න ඉන්න කොට ස්වරණවාහිනියෙන් මට ඇමතීමක් එනවා. හෙට පරීක්ෂණයක් තියෙනවා ඔයාව තෝරා ගන්න. රොස්මන් සර් එන්න කිව්වා කියලා. මට එතනදි ආයෙමත් තීරණය කරන්න වුණා රැකියාවට යනවාද, පූල් එකට යනවාද කියලා. පූල් එකට ගියොත් මාව අනිවාර්යෙන් තේරෙනවා. නමුත් රැකියාවට ගියොත් එය ලැබෙනකම් මට එය ෂුවර් නැහැ. පස්සේ ගෙදරින් මට කියනවා රැකියාවට යන්න කියලා. පස්සේ මම එදා රෑ අඬල අඬලා පහුවදා ස්වර්ණවාහිනියේ පරීක්ෂණයට ගියා. ඒත් කැමැත්තකින් නෙවෙයි.

ඔබ කැමැති නැත්නම් ඇයි ඒ පරීක්ෂණයට ගියේ. මලල ක්‍රීඩා සංචිතයට එකතු වෙන්න තිබුණානේ?

මට ඒ වෙන විට රැකියාවක අවශ්‍යතාවය තදින්ම තිබුණා. ක්‍රීඩාවට කොයි තරම් ආස වුණත් මම එදා ගත්ත තීරණය මගේ ජීවිතය වෙනසක් කරයි කියලා මට පුංචි විශ්වාසයක් ඇතුවයි ගියේ. මට ඒ වෙනකොට සහතික මිටියක් තිබුණා. ඒ ඔක්කොම අරගෙන මම පරීක්ෂණයට ඉදිරිපත් වුණා. රොස්මන් සර් ඒ සහතික බලලා කිව්ව මේ සහතික කිසි එකක් වටින්නේ නැහැ. ඔයාට මාධ්‍යවේදියෙක් වෙන්න තියෙන සුදුසුකම් මොනවද කියලා ඇහැව්වා. මම ඒ වෙන විට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඕනෑම අයකුගේ සම්බන්ධතාවය තියෙනවා කියලා කිව්වා. එච්චර ද ඔයාට තියෙන්නේ කියලා ඇහැව්වා. මම කිව්වා එච්චරයි මට තියෙන්නේ කියලා. ඉතිං ඔයාට මාධ්‍ය ක්ෂේත්‍රයේ කිසිම සුදුසුකමක් නැහැනේ . . . ඔයාව මම කොහොමද ගන්නේ කියලා අහද්දි මට ආයෙමත් වැරදුනානේ කියලා පුදුම දුකක් දැනුණා. මම එදා හිතින් අඬා වැටුණා. පස්සේ හරි . . . සංජයගේ සම්බන්ධය නිසා මම ඔයාව ගන්නවා . . . ඒත් ඔයාව ගන්නේ පුහුණුවන්නෙක් ලෙස. මාස තුනක් යනකම් කිසිම පඩියක් නැහැ. ඒ මාස තුන ඇතුළත ඔයාගේ හැකියාව පෙන්වන්න කියලා. ඊට පස්සේ ගන්නම් කියලා. එදා මම ඒ අභියෝගය හරිම සතුටින් භාර ගත්තා. එදා තමයි මගේ මාධ්‍ය ජීවිත ගමන පටන් ගත්තේ.

ඔබ ස්වර්ණවාහිනියෙන් පටන් ගත්තු ගමන අද හිරු රූපවාහිනියේ ක්‍රිඩා වැඩසටහන් නිෂ්පාදක. ඒක වුණේ කොහොමද?

ස්වර්ණවාහිනියේ ‘අ’ යන්නෙන් පටන් අරගෙන වසරින් වසර මම ඉදිරියට ගියා. මම 2012 ස්වර්ණවාහිනියෙන් ඉවත් වෙන විට ස්්වර්ණවාහිනියේ ක්‍රීඩා අංශයේ කර්තෘ දක්වා පැමිණියා. මම ක්‍රීඩා අංශයෙන් ඒ චැනල් එකේ යන්න පුළුවන් උපරිමයට ගියා. ඒක මට ලොකු අභිමානයක්. ඉන් පසුව තමයි මම හිරු රූපවාහිනිය ආරම්භ කරද්දී ඒකට එකතු වුණේ වෙනස්ම තාලයක ක්‍රීඩා වැඩසටහන් පෙළක් රටට හඳුන්වාදීමේ අපේක්ෂාවෙන්.

සාරංග ඔබේ මාධ්‍ය ජීවිිතයේ ලබපු අත්දැකීම් කොයි වගේද?

මගේ ජීවිතයේ මතක් වෙන වාරයක් පාසා කඳුළු එන සිද්ධියක් තියෙනවා. ඒ තමයි මට ලැබුණු මුල්ම මාධ්‍ය ආවරණය කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ පැවති ආසියානු ගොඩ්ප්‍රි මලල ක්‍රීඩා තරඟයේ ශ්‍රී ලංකා ලෙන් එක. මට ලැබුණෙත් මම දුවන්න හිටි තරඟය ආවරණය කරන්න ලැබීම පුදුම දුක හිතෙන සිද්ධියක්. ඒකෙදි 1004 තරගාවලියෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම දිනුවේ නව තරඟ වාර්තාවක් තබමින්. ඒ තරඟ වාර්තාව තිබ්බේ මම වෙනුවට හිටිය අතිරේක ක්‍රීඩකයා ඒ වෙනුවට ඉදිරිපත් වීමෙන්. අදටත් ඒ වාර්තාව තිබෙනවා. ඇත්තට ඒ ලැබුණු අවස්ථාව මම අතින් ගිළිහීම මකන්න මාධ්‍යකරුවකු හෝ වෙනත් ක්ෂේත්‍රයකින් ලබන්න පුළුවන් සතුටක් නොවන දෙයක්. ඒ ජයග්‍රහණයේ සතුට මට ජීවිතයට කඳුළක් වුණෙත් පුදුම දෛවෝපගත සිදුවීමක් ලෙසයි. එදා දුවපු අය ගැන කළ වැඩ සටහනේ නිවේදකයා වුණේ මම. එය මට කවදාවත් අමතක වෙන්නේම නැහැ.

ඔබ නිවේදකයෙක් ලෙස රට වටා යන ගමනේදී මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් ඇතිනේ?

ක්‍රීඩා මාධ්‍යවේදියෙක් කියන්නේ ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් පමණක්ම සෑහීමකට පත්වෙන පුද්ගලයෙක් නොවෙයි. අපේ ‘දිනන ළමයි’ ක්‍රීඩා වැඩසටහනින් සිදු කරන්නේ එවැනි සමාජ මෙහෙවරක්. ඒ සඳහා මට රයිගම් සම්මානය ද හිමි වුණා. ඒ ක්‍රීඩාවට අඟ හිඟකම් ඇති දරුවෝ ගැන අපි රටට කියලා ඒ අයට උදව් කරලා ඒ ළමයි ජාතික තලයේ දස්කම් පෙන්වන විට අපිට ලැබෙන ආත්ම තෘප්තිය තරම් දෙයක් අපට තවත් නැහැ. එක උදාහරණයක් කියන්නම් අපි පල්ලේකණුගල රග්බි ක්‍රීඩා කරන ගැහැනු ළමයි ගැන වැඩ සටහනක් කළා. ඒ ළමයි ජාතික ශූරතාවය දිනපු ළමයි. හැබැයි කාටවත් සපත්තු දෙකක්වත් තිබුණේ නැහැ. ගෝල් ෆෝස් එකට තිබුණේ උණ බම්බු දෙකක්. ඊට පස්සේ මේ ගැන අපි කරපු වැඩසටහන නාමල් මන්ත්‍රීතුමා දැකලා ලක්ෂ විසි ගාණක බඩු ඒ ළමයින්ට දුන්නේ අරලියගහ මන්දිරයට ගෙනල්ලා. ඒ වගේ සමාජ සද්කාර රාශිියක් කරලා තියෙනවා.

මම මාධ්‍ය ජීවිතයේදී ලැබූ අපූරු සිද්ධියක් තියෙනවා. අපි මාධ්‍යකරුවෝ ලෙස වැඩසටහන් කරද්දී මුලින්ම ඒ වැඩසටහන ඉදිරිපත් කරන්න තමයි සැම විටම උත්සාහ කරන්නේ. අපි එක දවසක් මහවැලි ක්‍රීඩා උත්සවයකට වැලිඔය ගියා. ඒ කාලේ සංවර්ධනය වෙන කාලයක්. කිසිම දුරකතනයක් වැඩ කරන්න සිග්නල් නැහැ. මහ කැලේ ගස් විතරයි තියෙන්නේ. අපි උත්සවය ඉවර වුණාම හවසට නිවුස් එක කොළඹට එවන්න ලැප්ටොප් එක අරගෙන ගම වටේ ඇවිදිනවා සිග්නල් තිබෙන තැනකට. මමයි මගේ සහායක අමිලයි මේ විදිහට සිග්නල් තියෙන තැනක් හොයද්දි සියඹලා ගහක් යට පොඩි කට්ටක් විතර සිග්නල් තියෙනවා. අමිල කිව්වා අයියේ අපි ගහට නැගලා බලමු සිග්නල් ඇති කියලා. හරියට හරි. හොඳට සිග්නල් එනවා. ඉතින් අපි හවසට ක්‍රීඩා උළෙල අවසන් වුණු ගමන් කරන්නේ කාටත් හොරා සියඹලා ගහට නැගලා කොළඹට විස්තර මේල් කරනව. මේ වැඩේ කාටවත් කරන්න බැරි වුණා. අපි විතරයි ක්‍රීඩා උළෙල ඉවර වෙනකම් සියඹලා ගහ උඩ ඉඳන් විස්තර ඉදිරිපත් කළේ.

ඔබ දැන් ඉදිරිපත් කරන වැඩසටහන් සඳහා තියෙන ප්‍රතිචාර කොහොමද?

අපේ ‘හිරු’ නාලිකාවේ ක්‍රීඩා වැඩසටහන් ප්‍රවෘත්තිවලට පාලන අධිකාරිය සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. කිසිම ඇඟිලි ගැසීමක් නැහැ. ඒ නිසා දිනන ළමයි, ඩ්ධබඵ ඉනධපබඵ කියන වැඩසටහන් දෙක ඉතාම සාර්ථකව කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් හරිම ඉහළයි. ක්‍රීඩාවේ ඇති අඩුපාඩු ආයතන ප්‍රධානින් ඉහළ සිට පහළටම සම්බන්ධ කර ගනිමින් මේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. අපි තමයි දැනට වැඩිම ක්‍රීඩා ප්‍රවෘත්ති සංඛ්‍යාවක් ඉදිරිපත් කරන්නේ.

ඔබේ පෞද්ගලික ජීවිතය කොහොමද?

මම මේ වසරේ මැයි මාසයේ තමයි විවාහ වුණේ. මගේ මවුපියන් විශ්‍රාමිකයි. මට ඉන්නේ නංගී කෙනෙක් විතරයි. මගේ බිරිඳ සම්පත් බැංකුවේ සේවය කරනවා. ඇය නිවේදිකාවක් ලෙසින් ‘හිරු’ නාලිකාවේ අමතර රැකියාවක් ලෙස සේවය කරනවා. අපි විවාහ වුණේ අවුරුදු 06 ක සම්බන්ධයකින්. එය ස්වර්ණවාහිනියේ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අපි විවාහ වෙන්න ආරාධනා කරන කොට තමයි කවුරුත් දන්නේ අපේ සම්බන්ධය ගැන. ඇගේ නම කුමුදු රත්නායක.

ඔබේ දුරකතන අංකයත් අපට කියන්නකෝ . . . ඔබේ හිතවතුන්ට ඔබට සුබපතන්න.

මගේ අංකය 077-0371676