වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ හඬ සිඳී කිඳී යයි කතා සරිත් සාගරේ

ඔබේ හඬ සිඳී කිඳී යයි කතා සරිත් සාගරේ

ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය
ගී පද රචක ජෝජ් රොබ්සන් ද සිල්වා

මෙවර “මතක ගී පොත” ට සිය අතීත මතකය ගෙන හැර පාන්නේ ගීපද රචකයෙක් මෙන්ම ලේඛකයෙක්ද, ප්‍රකාශකයෙක්ද වන ජෝජ් රොබ්සන් ද සිල්වා ය. ඔහු පද බඳින ලද “අකුරට යන්නට කම්මැලි හිතිලා”, “සමාව ඉල්ලා දෙපා සිඹින්නට”, “සමාවෙයන් මට පුංචි පුතේ”, “මේ දෙව් මැදුරෙම”, “රෝස පුරාණෙට මධුසඳ” යන ගීත අසන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගීත වෙයි.

හිරු උදාගිරෙන් හිනැහී කොන්ක්‍රීට් වනාන්තරය අතරෙන් එබිකම් කරද්දී අවදි වන මම යහන මත මද වේලාවක් සිටිමින් අවට පරිසරයට සවන් යොමන්නට කුඩාකල පටන්ම පුරුදු වී සිටියෙමි. මගේ මතකයට නැඟුණේ ආනන්ද රාජකරුණාගේ ‘පක්ෂි භාෂාව’ නම් සොඳුරු පද්‍ය පන්තියේ ආරම්භක පද්‍ය කිහිපයයි.

ඒ සොඳුරු පද්‍ය පන්තියේ මෙන්, මා වෙසෙන අවට පරිසරයෙන් ඇසුණේ අලුයම නඟන කුරුලු කූජන හඬ නම් නොවේ. එනම් අපට ඇසුණේ මුළු පරිසරයම බියට පත් කරමින් ගුවන් තලය කරා ඇඳී යන ගුවන් යානා හඬත්, මිහිතලය මත සතපවන ගුවන් යානා හඬත් පමණි. කටුනායක ගුවන්තොටුපොළට ආසන්නව පිහිටි අපේ නිවෙසත්, මා අකුරු කළ කටුනායක මහා විද්‍යාලයත් අතර ගෙවුණු අපේ ළමා කාලයේමත්,ඊට පසුවත් අසන්නට ලැබුණු මේ කඨෝර ස්වරය නිසා සොඳුරු පරිසරයක නැගෙන අසිරිය විඳීම අපට අහිමි වූයේ නිතැතිනි.

ඒ අහිමිවීම පිළිබඳ කිසිවක් නොසිතාම මම පාසලට දුවන්නට සූදානම් වන්නේ මිතුරන් අතර ගෙවන ජීවිතය මගේ හදවතට සතුටක් ගෙන ආ බැවිනි.

“කටුනායක මහා විද්‍යාලය”

සෑම දිනෙකම පාසලට ඇතුළු වන්නට පෙර මේ නාමපුවරුව කියැවීම මට තිබුණු එක් පුරුද්දකි. එහි විවිධ වූ මාදිලියේ ළමයි විසූහ. ඉන් මගේ මිත්‍රයන් බවට පත්ව සිටියේ නැතිබැරි පන්තියේ සිටි නැතිබැරිකමෙන් පීඩා විඳී කිහිපදෙනෙකි. හරිහැටි ගතට සළුවක් නැති, වේලක් හැර වේලක් කා සිය කුසගිනි නිවාගන්න මේ පන්තියේ මිතුරෝ පිළිබඳව මගේ සිතේ ඉපැදුණේ වේදනාවකි.

මා සමඟ ඔවුන් හිතවත් වූයේ කිසිදු අහංකාරකමක් නැතිවමය. ඔවුහු කිසිඳු ලාබ ප්‍රයෝජනයක් මගෙන් අපේක්ෂා නොකළේය. ඔවුන්ගේ ගුණයහපත් කමත්, හොඳ හිතත් කෙරෙහි පැහැදුණු මම, මට හැකි අයුරෙන් ඔවුන්ට උදව් කිරීමට පෙලඹුණේ ඉබේමය.

මධ්‍යම ප්‍රාන්තිකයන් වූ අප නිවැසියන්ට නැතිබැරි පන්තිය සමඟ මා කරන මේ ගනුදෙනුව ඉවසා දරාගෙන සිටීමට නොහැකි වූ වග මම දනිමි. ඒ නිසාම ඥාතියෝ මෙන්ම නිවැසියෝද මා පිටු දැක්කහ. සතියකට දින කිහිපයක් නිතරම කාගේ හෝ නිවෙසකට එක්රොක් වූ ඔවුහු අඳුර දැඩි කරන්නට දැමූ කලාමැදිරි විදුලි එළියේ මධුවිත බොමින්, සිනා කෙළි කවටකම් කරමින්, සුරා මතෙන් හා මධු මතෙන් මත්වී නැටූහ. ඔවුන්ගේ නැටුම් බලමින් එහා මෙහා රසමසවුළු රැගෙන යන සේවකයෝ ඒ දෙස බලමින් කෙළ ගිල්ලා මිස ඒවා නොකෑහ.

“ඒ ගොල්ලෝ කනකන් ඉන්න එපා කන්න.”

මධ්‍යම රාත්‍රිය ගතවුවද රසමසවුළු සුවඳ විඳිමින් බඩගින්නේ සිටින ඔවුන් අමතා පවසන්නට මම මැළි නොවූයෙමි. ඒ ඔවුන්ව මට සිහිපත් කළේ මැඳුරු අසල අයැදිමින් බලා සිටින දිළින්දන් බැවිනි. එහෙත් මගේ කතාවෙන් ඔවුන්ට කිසිඳු පලක් නැත. මන්ද මා ඔවුන් අතරෙන්ම අයෙකු වූ බැවිනි. ඔවුන් දහසක් අතර මම තනිවීමි. ඒත් ඒ මන්දිරවල කිසිවක් කළ නොහැකි වූ කුරා කූඹි මිනිසෙක් බවට පත් වූ මම, ඒ අතීතයේ එක් කාලයක් සිහිපත් කරන, කූරා කුහුඹු මිනිසුන් පිළිබඳ කියැවෙන මේ ගීතයට බෙහෙවින් ප්‍රිය කරමි.

විදුලි මිණි පහන් දැවී

බොළඳ ගී සිනා රැලී

නිලංකාර අඳුරේ සැඟ වී

සැදෑ සාදයේ

 

කුරා කුහුඹු මිනිසා වෙමි මා

ඔබේ මන්දිරේ

එන්න කන්න බොන්න මිහිරේ

සැමටයි ආරාධනා

 

ඔබේ හඬ සිඳී කිඳී යයි

කතා සරිත් සාගරේ

පුරාගෙන පිරූ විතේ

විසුළු කෙළි නැවුම් සිනා

 

යොමා ඇස් බලන් සොඳුරේ

මැදුර දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා

දෙනෙතින් ආරාධනා

 

දෑත පා ඉඳුල් යදී

ඇස් ගයා හංස ගීතිකා

ඔබේ මන්දිරෙන් එහා

මගේ ලොව බලා හිඳී

 

පලා යමි ඔබේ ලොවින් මා

දෙපා සමු නොදී

 

ගේය පද – ලූෂන් බුලත්සිංහල

සංගීතය – විශාරද ගුණදාස කපුගේ

ගායනය – විශාරද ගුණදාස කපුගේ

 

 

ලූෂන් බුලත් සිංහලයන් මේ ගීතය වෙනස්ම ආකෘතියක සිරකරමින් අපූර්ව අයුරෙන් පදවලට ගලපා ඇති අයුරු කදිමය. ඒ පදවලටම සරිලන ගුණදාස කපුගේ ස්වරය හා සංගීතයත් ගීතයේ අරුත ඔප් නංවයි.

ඒ අරුත ඔස්සේ මගේ සිත අතීතයේ තවත් එක් කාලයක් සොයා යන්නේ නිතැතිනි. මම සහකාර වතු අධිකාරීවරයෙක් ලෙස මාතලේ වත්තක කාලයක් සේවය කළෙමි. එහි සිටි මුරකරුවෙක් පිළිබඳ වූ කතා පුවත අද ද මා සසල කිරීමට සමත්ය.

තිදරු පියෙක් වූ ඔහු තම රැකියාව කළේ ගස් කොළන් ගහන සර්ප විමානයකය.

“මහත්තයා නිතරම ඒ කැළේ පොළොන්ඟු ඉන්නවා. ආරක්ෂාවට මට බූට් දෙකක් ගන්න පුළුවන්ද?”

ඔහු විමසුවේ මාගෙනි. මා ඔහුට බූට් දෙක අනුමත කළ ද ප්‍රධාන වතු අධිකාරීවරයා එය අනුමත නොකළේය. මේ දුප්පත් කම්කරුවාට බූට් දෙකක් නොමැති වුවද සිය රැකියාව ආරක්ෂා කර ගත යුතු විය. ඔහු ඒ රූස්ස කැලෑවට ගියේ සිය ජීවිතය පිළිබඳ නොසිතමිනි. තම දරු තිදෙනා සිහිපත් කරමිනි. ගෙවී ගියේ සති කිහිපයකි. ආපසු පැමිණියේ ඒ ගිය අවිහිංසක කම්කරුවා නොවේ. ඔහුගේ මළ කඳය.

මා කොපමණ කම්පනයට පත් වූයේද යත් වාඩි වී සිටි පුටුවේම හෝරා කිහිපයක් සිටියේ නැඟිටින්නට මගේ දෙපාවලට වාරු නැති වූ හෙයිනි. මගේ සිතට විවිධ සිතුවිලි ගලාගෙන එන්නට වූයේය. ඔහුගේ අහිංසක මුහුණ මගේ හදවතේ නිදන් ගත විය. දරු තිදෙනෙකුට පියෙකු අහිමි විය. දයාබර බිරියකට සැමියෙකු අහිමි විය. ජීවිතයකට වඩා බූට් දෙකේ වටිනාකම ඉහළ ගිය සමාජයක් පිළිබඳ කුමන කතාද? එය දුටු මට වතු රැකියාව පිළිබඳ ඇති වූයේ පිළිකුලකි. මම ඉන් ඉවත්වීමි. මෙවැනි අය අසල තවත් නොසිටින්නට මම මටම සපත වූයෙමි. ඒ සියල්ල හැරදා මම කලාවට සිත යොමු කළෙමි.

ධර්මසිරි ගමගේ නම් ගේයපද රචකයා අතෙන් ලියැවුණු මේ ගීතය ගයන්නේ සිසිර සේනාරත්නය. මියුරු ස්වරයක් හිමි ඒ සොඳුරු කොවුලානන් මා සිහිපත් කරන්නේ අදරිනි.

මාගෙ පුතුට මල් යහන සදන්නේ

දෑස සිහින වැල් පාවී එන්නේ

රෝස කැළේකින් හමුවූ වැන්නේ

මට මේ කුමරුන් කවුදෝ දුන්නේ

 

පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ

කවුද පුතුට ලේ කිරි කර දුන්නේ

අම්මා කියාලයි බහ තෝරන්නේ

ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ

 

මවගේ ළමැද ලේ කිරට පෙරෙන්නේ

ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ

මල් යහනාවේ පුතු නැළවෙන්නේ

මට මේ කුමරුන් කවුදෝ දුන්නේ

 

කවුදෝ දුන්නේ

 

ගේයපද – ධර්මසිරි ගමගේ

සංගීතය – සිසිර සේනාරත්න

ගායනය – සිසිර සේනාරත්න

කුඩාකල පටන් හුදකලා ජීවිතයක් ගත කළ මම පසු කලෙක මගේම ජීවිතයක් ආරම්භ කළ ද එහිද හුදකලා පුද්ගලයෙක් බවට පත්වූයේ කුමන හේතුවක් මත දැයි මම අද ද කල්පනා කරමි. එවිට කලාකරුවෙක් වීම වරදක්දැයි මට සිතෙයි. එහෙත් කිසිදිනෙක මා එසේ නොසිතන බව සැබවි. මුදල් හම්බ කරන්නට වඩා මගේ සිත පෙලඹුණේ මිනිසුන් හම්බ කරන්නටය. ගීත රචකයෙක් ලෙස ගත කළ ජීවිතයත්, මගේ රැකියාවත් නිසා කාර්යබහුල කෙනෙක් වූ මම ගනු ලැබූ විවිධ තීරණ හමුවේ ඇය මා හැරදා යන්නට ගියාය. ජීවිතය තිබෙන තුරා මා සමඟ සිටින්නට සිතෙන් බැඳුණු ඇය කුඩා දියණියත්,පුතුත් හැරදා ගියාය. දරුවන් දෙදෙනා සමඟ මම තනිවීමි. දියණිය පසුවූයේ පාසල් යන වයසේය. දියණිය නේවාසිකාගාරයක නැවතූ මම එහි පාසලට ඇයව ඇතුළත් කළෙමි. දෙහැවිරිදි වියේ තරම් කුඩා වයසක පසුවූ පුතු එසේ කිසිවකු අසල තබා යන්නට හැකි නොවූයෙන් බෙහෙවින් මම අසරණ වීමි.

ඒවන විට ආර්ථික වශයෙන් පිරිහී සිටි මට අවශ්‍ය වූයේ රැකියාවකි. අර්නස්ට් වඩුගේ මහතා මට මුණ ගැසෙන්නේ මේ කාලයේය. ඒ අනුව රස පුවත්පත් කාර්යාලයට මා පැමිණියේ බොහෝ සතුටෙනි. එහෙත් ඒ රැකියාව දිගු කාලයක් කරගෙන යෑමට අපහසු වූයේ පුතු නිසාය. මම රැකියාවට වඩා පුතුට ආදරය කළෙමි. මව් සෙනෙහස අනිවාර්යයෙන්ම ලැබිය යුතු වයසක සිටි ඔහුට පිය සෙනෙහසද අහිමි කරන්නට මම අකැමැති වීමි. එනමුදු පුවත්පත් කාර්යාලයේ සිටි මා මිතුරු මිතුරියෝ පුතුව මෙහි රැගෙන පැමිණෙන්නැයි නිතර ඇවිටිලි කළහ. ඒ කාර්යාලීය වේලාවේදී පුතුව රැක බලා ගන්නා අටියෙනි. අන් කිසිවක් පිළිබඳ නොසිතූ මම පුතු සමඟම කාලය ගත කිරීමට ඉටා ගත්තෙමි.

ඔහු අඬන අවස්ථාවල නැළවීමට මා ළඟ ගීත එකතුවක් විය. ඒ ගීත අතර මේ ගීතයද විය. මෙතෙක් අප දරු නැළවිලි ගී අසා ඇත්තේ කාන්තාවකගේ ස්වරයෙනි එහෙත් මේ නැළවිලි ගීතය ඇසෙන්නේ පිරිමි හඬකිනි. මේ ගීතයේ ඇති විශේෂත්වය වන්නේ එයයි. ඒ නිසාම මේ ගීතය ඇසෙන විට පියෙකුගේ හදවතේ නැගෙන සෙනෙහසේ අරුමය කුමක්දැයි යන්න ඕනෑම කෙනෙක්ට හැඟෙයි. ගීතයේ ගැයෙන
 

“පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ

මල් යහනාවේ පුතු නැළවෙන්නේ”

කියන දෙපදයේ අන්තිම පදය මා ගයන්නේ
 

“මට මුළු ලෝකේ මගේ පුතු වෙන්නේ”

යනුවෙනි.

ඔඩොක්කුවට වී ගීතය අසන පුතු නිදි කිරා වැටෙයි. මම ඔහුව රැගෙන මගේ ළය මත හොවා ගනිමි.