|
එදා නම් දෙයියෝ බුදුන් සිහිවුණා
වෙස්ගැන්වීම් ශිල්පිනී මංගලා
සරසවිය පුවත්පතේ පළවන දැන්වීම් දෙස අවධානයෙන් බලා සිටින ඇය ජීවිතේ බලාපොරොත්තුව තවතවත් දැඩි කර ගත්තාය. වේශ නිරූපන ශිල්පිනියක වීමට මඟ බලා සිටි ඇයට සරසවිය පුවත්පත ආශිර්වාදයක් වූයේ දසවසරකට පෙරය. දසවසරක ඇවැමෙන් ඈ සරසවිය පුවත්පත් කාර්යාලයට ගොඩවන්නේ වේශ නිරූපන ක්ෂේත්රයේ නමක් දිණු ශිල්පිනියක ලෙසටයි. ඈ මංගලා පෙරේරා. මේ Behind The Scen සමඟ මංගලා හමු වූ මොහොතයි. මංගලා ඔබේ කතා බහ පාසල් අවධියෙන්ම අරඹමු? රාගම ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලය හා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය ලබා ඉන්පසුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය මගින් පවත්වන ඡායාරූප ශිල්පයත්, මනාලියන් හැඩ ගැන්වීමේ ඩිප්ලොමා පාඨමාලාවකුත් හැදෑරුව. ඊට පස්සේ දෙමටගොඩ සෙන්ට්‍රල් ආයතනයේ මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනියක ලෙස සේවය කළා. විවාහයෙන් පසුව රාගම නගරයේ ඡයාරූප ශාලාවක් ආරම්භ කළා. නිවසේ සෙලුන් එක පවත්වාගෙන යනවා. චිත්‍රපට සඳහා දායක වන්නට අවස්ථාව උදාවුණේ කොහොමද? සරසවිය පුවත්පත නිසයි චිත්‍රපටවලට අවස්ථාව උදාවෙන්නේ. ඒ ගැන පැහැදිලි කළොත්? සරසවිය පත්තරේ දැන්වීමක් පළ වුණා, කුසුම් චන්ද්‍ර ගමගේ මහාතා අධ්‍යක්ෂණය කරණ චිත්‍රපටයකට වේශ නිරූපන ශිල්පිනියක් අවශ්‍ය බව. අන්න ඒ අනුව තමයි මට චිත්‍රපට සඳහා අවස්ථාව ලැබුණේ. පළමු චිත්‍රපටය තමයි ‘මායා රාත්‍රිය‘. ඉන් අනතුරුව ‘ආත්ම වරුසා,අපිත් සූරයෝ,ස්වර්ණපාලි හා ඒකාංගික ටෙලි මාලා සදහා සහභාගි වුණා. වේශ නිරූපනයෙන් හැඩගන්වන්නට පළමුවෙන් අවස්ථාව ලැබුණු නළුවා හෝ නිළිය කවුද? නාලක දළුවත්ත මහාතාව. වේශ නිරූපන ශිල්පය පිළිබද යම් හැදෑරීමක් කර තිබෙනවද? මායා රාත්‍රිය චිත්‍රපටයේ වැඩ ලැබෙණ අවස්ථාවේ නම් ඒ පිළිබද අවබෝධයක් තිබුණේ නැහැ. ක්ෂේත්රයට ආ මුල් කාලෙදිම මට අවස්තාවක් ලැබුණ ප්‍රවීන කොන්ඩා සැකසුම් ශිල්පී සෑම් පෙරේරා හා ජනාධිපති සම්මානලාභි ජේ.සුරනිමල යන මහත්වරුන් යටතේ සහය ශිල්පිනියක ලෙස සේවය කරන්නට. මේ දෙදෙනා තමයි මේ ක්ෂේත්රයේ මගේ ගුරුවරු. මංගලා ඔබේ වගකීම පැහැදිලි කළොත්? අධ්යක්ෂවරයගේ හිතේ මැවුණු චරිතයට ඔබින අයුරින් රංගන ශිල්පීන්ව සකස් කිරීම. අධ්යක්ෂවරු කීදෙනකු සමඟ ඔබ වැඩකර තිබෙනවද? කුසුම් චන්ද්‍ර ගමගේ, ත්‍රිශුල දීප තඹවිට, ජනක මහල්පත්, ටිකිරි රත්නායක යන මහත්වරුන් සමග වැඩ කර තිබෙනවා. පවුලෙ විස්තර? ආනන්ද සෝමසිරි මගේ මහත්තයත් ඡයාරූප ශිල්පියෙක්, දරුවන් දෙන්නයි දුව ලහිරුකා රෂ්මිණී, පුතා යසිරු සංකල්ප දෙදෙනාම තවම අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිනවා. අමතක නොවන සිදුවීමක් ගැන කියමු? ජනක මහල්පත් අධ්‍යක්ෂණය කළ 2014 අවුරුදු චාරිත්‍ර වැඩ සටහන තිබුණේ ගල්ගමුවෙ වැවක් ළඟ. මෙහි රූ ගැන්වීම් ටිකක් හැන්දෑවෙනකම් තිබුණා. ගමේ කට්ටිය ඇවිත් කිව්වා මේ වැවට තව ටිකකින් අලි එනවා, ඒනිසා හැකි ඉක්මනින් මෙතනින් යන්න කියලා. අපිත් ඉක්මන් කරලා යන්න පිටත් වුණා, වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ අපේ ඉදිරියට අලි රංචුවක් ආව. අපි ගිය වාහනේ නවත්තල දෙයියො බුදුන් සිහි කරගෙන හිටිය වෙන කරන්න දෙයක් නැති නිසා. අපේ වෙලාවට අපි හිටි තැනට මීටර් පණහකින් විතර අලි රංචුව වැව පැත්තට හැරුන. එදානම් පුදුම බයක් දැනුනේ. ඉදිරි බලාපොරොත්තු? දැනට කරගෙන යන අපේ ව්‍යාපාර කටයුතු වල නිරතවෙන අතරේ වේශ නිරූපනයට හා කොණ්ඩා මෝස්තර නිරූපනය කරමින් සිනමාවේ රැදී සිටින්නටයි. |