වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




එල්ෆින්ස්ටන් ගාමිණී වෙයි

එල්ෆින්ස්ටන් ගාමිණී වෙයි

මෙරට ප්‍රධාන පෙළේ සිනමාහලක්ව පැවැති, පසුකලක රංග ශාලාවක් බවට පරිවර්තනය වූ මරදානේ එල්ෆින්ස්ටන් ශාලාව තව නොබෝ දිනකින් ‘ගාමිණී ෆොන්සේකා සමරු රඟහල’ ලෙස නම් කෙරෙනු ඇත.

එල්ෆින්ස්ටන් එනමින් නම් කිරීමට ටවර්හෝල් පදනමේ භාරකාර මණ්ඩලයට යෝජනාකර ඇත්තේ එහි සාමාජිකයකු වන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාය.

එයට භාරකාර මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව දෙසැම්බරයේ දී එල්ෆින්ස්ටන් ‘ගාමිණී ෆොන්සේකා සමරු රඟහල’ වී විවෘත කෙරෙනු ඇත. ආසන අටසීයකින් සමන්විතව නවීකරණය කරන මෙහි අලුත් වැඩියාව සඳහා වැය කරන මුදල කෝටි විසි අටකි. මෙසේ ගාමිණී වෙනුවෙන් ශාලාවක් මෙරට නම් කෙරෙනුයේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයකි.

ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමී වූ කල්කටාවේ මදාන් චිත්‍රපට සමාගම මඟින් කොළඹ හා කල්කටාවේ එකම ගෘහ නිර්මාණ සැලසුමකට අනුව සිනමාහල් යුගලක් ඉදි කරන ලදී.

එම සිනමාහල් යුගලට බෙහෙවින් උපකාර කරන ලද එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාවූ ජෝන් එල්ෆින්ස්ටන් සාමිවරයාගේ නමින් ඒවා නම් කෙරිණ. ගාමිණී ෆොන්සේකා ජීවත්ව සිටියදී එල්ෆින්ස්ටන් ශාලාව රුක්මණී නමින් නම් කරන්න යැයි ඉල්ලීමක් කරන ලදී.