වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




විශිෂ්ට සිනමාකරුවකුගේ සිනමා සම්ප්‍රාප්තිය

විශිෂ්ට සිනමාකරුවකුගේ සිනමා සම්ප්‍රාප්තිය

සිව් දරු පියකු වුණත් ඒ උන්මාදනීය ප්‍රේමයට මා සියල්ල කැප කළා

නිලේන්ද්‍ර දේශප්‍රිය සමඟ සංවාදයක

සිනමාව පිළිබඳ උමතුවෙන් පෙළෙන්නකුට, ඊටත් වඩා සරල බසින් කියතොත් ‘පිච්චර් පිස්සෙකු’ට සිනමාව යනු හුදු විනෝදාංශයක් පමණක්ම වන්නේ නැත. එය ඔහුගේ ආත්මයයි. නැතහොත් ජීවිතයයි. ඒ උමතුව කොතෙක් වීද යත්, ඔහු සිය ප්‍රථම ප්‍රේමය පුද කළේ ද සිනමාව වෙනුවෙනි.

සිනමාව ජීවිතය කර ගත්, ජීවිතය සිනමාව කරගත් බොහෝ පිච්චර් පිස්සන්ට වඩා මේ හාදයාට තිබුණේ වෙනස්, වෙනත් අරමුණකි. හුදු සිනමාලෝලියකු සේ මියෙන තුරා එහි ඇලී ගැලී සිටිනවාට වඩා ඔහුට අවැසි වූයේ මේ විශ්වීය විශ්මය හරහා ඔහුගේ සිතැඟියාවන් අපට කියා පාන්නටය.

නිලේන්ද්‍ර දේශප්‍රිය ‘තන්හා රතී රඟා’ නමැති සිය කුලුඳුල් සිනමා සිත්තම සමඟින් අප හමුවට සම්ප්‍රාප්ත වන්නේ විශිෂ්ට සිනමාකරුවකුගේ ආගමනය සළකුණු කරමිනි. සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි එක්ව නිෂ්පාදනය කළ ‘තන්හා රතී රඟා’ මෙම 17 වැනි දා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වේ. නිලේන්ද්‍ර ‘සරසවිය’ සමඟ මෙම සුවිශේෂී පිළිසඳරට එක් වන්නේ එකී කාර්යය මුල් කොට ගනිමිනි.

* සිනමාවට ඔබ වෘත්තිකයෙක් ලෙස සම්බන්ධ වූ කාලයත් එක්ක බලන කොට මට හිතෙනවා ඔබ සිනමාකරුවකු වීමට තරමක් ප්‍රමාද වුණා වැඩි ද කියලා?

ඇත්තෙන්ම අසංක, ඒක ප්‍රමාද වීමක් නෙවෙයි. හැබැයි මට චිත්‍රපටයක් කරන්න මුලින්ම හිතුණේ වයස අවුරුදු දාහතරෙදි. මොකද මම සිනමාව පරිහරණය කරන්න පටන් ගත්තේ අවුරුදු දොළහෙදි. මම මුල්ම චිත්‍රපටය නරඹනකොට වයස අවුරුදු හතයි. දෙකේ පන්තියේ.

* මොකක්ද ඒ චිත්‍රපටය?

Ten Comandmens සිසිල් බී. ඩිමෙල් කියන අධ්‍යක්ෂවරයා තැනූ ඉතාම විශ්මයජනක චිත්‍රපටය. මගේ ආච්චි තමයි මේ චිත්‍රපටය බලන්න මා කැටුව ගියේ. ඇය සමාජ සේවිකාවක්. දහම් පාසල් ගුරුවරියක්. ඉතින් දහම් පාසලට ආධාර පිණිස මේ චිත්‍රපටයේ දර්ශනයක් සංවිධානය කරලා තිබුණා මොරටුවේ එමෙස් සිනමාහලේ. හැබැයි ආච්චි මාව මේ චිත්‍රපටයට එක් කරගෙන ගියේ බලහත්කාරයෙන්.

* ඇයි ඒ?

මම දන්නේ නෑ, මොන හේතුවක් නිසා හෝ මම එවෙලේ ඇයට විරෝධය පෑවා. මට මතකයි කුඩ පහර දිදී තමයි මාව සිනමාහලට එක්කරගෙන ගියේ. එයා මට ආදරෙයි. කොහොම හරි සිනමා ශාලාවට එද්දී එතැන විශාල කලබගෑනියක්. ළමයි පිරිලා. ඔක්කොම කෑ ගහනවා. ඔය අතරේ මමත් මගේ විරෝධය ප්‍රකාශ කරනවා බාධාවක් නැතුව. ඔහොම ගිහින් එක්තරා දිව්‍යමය මොහොතක තුන්වැනි සීනුව නාද වෙනවා. ඒත් එක්කම ශාලාව කළුවර වෙනවා. ඒ කළුවර ශාලාවේ ජීවිතයටත් වඩා විශාල දැවැන්ත රූප පෙනෙන්න සහ හඬවල් ඇහෙන්න පටන් ගන්නවා.

* පළමු සිනමා අත්දැකීම?

කොහොමත් මට කතාන්දර කියලා දෙන්නේ මගේ අම්මයි, ආච්චියි. සිනමාවෙන් කතන්දරයක් දකින්නත් මට මුලින්ම මාවත විවර කර දුන්නේ ආච්චි. එදා මට අවිඥානකව හෝ සවිඥානකව සිතෙන්නට ඇති මේ අධ්‍යක්ෂවරයකු සතු මහා බලය. අඳුරු ශාලාවක් ඇතුළේ ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කර ගන්නට අධ්‍යක්ෂවරයාට තිබෙන මේ බලය කවදා හරි දවසක මට ගන්න ඕනෑ කියලා හිතෙන්නට ඇති. වෙනත් වචනවලින් කියනවා නම් මම සිනමාව සමඟ ක්ෂණිකව ප්‍රේමයෙන් බැඳුණා.

* තාරුණ්‍යයට එළඹෙත්ම ඔබ වඩ වඩාත් සිනමාව හා සමීප වෙනවා?

අපි නොවැරදීම ඒ කාලයේ බ්‍රිතාන්‍ය කවුන්සිලය, අමෙරිකානු ප්‍රවෘත්ති මධ්‍යස්ථානය, ප්‍රංශ සංස්කෘතික අංශය ඒ වගේම ජර්මන් සංස්කෘතික අංශය වගේ තැන්වලට යනවා චිත්‍රපට නරඹන්න. විශේෂයෙන්ම කොළඹ කොටුවේ පාවුළු මධ්‍යස්ථානයේ හයවැනි මහලේ  O. C. I. C  මඟින් සංවිධානය කරපු ප්‍රංශ චිත්‍රපට නරඹන්න. ෆාදර් අර්නස්ට් පෝරුතොට, සුසන්ත තිසේරා, ඇන්ඩෲ ජයමාන්න, ඈෂ්ලි රත්නවිභූෂණ වගේ අය තමයි එහි ක්‍රියාකාරීන් හැටියට කටයුතු කළේ.

* මේ උන්මාදයෙන් පෙළුනු ඔබේ සමකාලින මිතුරු පිරිසකුත් සිටියා?

ඔව්. නාලන් මෙන්ඩිස්, ඔහු 1978 ධම්ම ජාගොඩ මහත්තයාගේ ශිල්ප ශාලිකාවේ හිටපු කෙනෙක්. එතකොට ප්‍රසන්න විතානගේ. අද නාලන් ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයෙක්. ප්‍රසන්න විශිෂ්ට සිනමාවේදියෙක්. ඔය කාලෙම තමයි සුනිල් මිහිඳුකුල, ගුණසිරි සිල්වා ඇතුළු විශාල තරුණ පිරිසක් මෙ ප්‍රවාහයට එකතු වෙන්නේ.

* නමුත් ඔබ පෙර සඳහන් කළ ආකාරයට ඔය කියන කාලයටත් පෙරාතුව තමයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ අදහස ඔබට පහළ වෙන්නේ?

මා අධ්‍යාපනය ලැබූ මොරටුව වේල්ස් කුමාර විදුහලේදී මම වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා ‘අශ්වතරණය’ කියලා. මේ නාට්‍යය නිෂ්පාදනය කළේ තිස්ස ගුණවර්ධන ඇදුරුතුමා. අපි මේ නාට්‍යය ලියන්න මූලික කර ගත්තේ ‘රෂෝමාන්’ චිත්‍රපටය. එතකොට මට වයස අවුරුදු දාහතරයි. ඒ කාලේ වෙන කොට මම සිනමාවට වඩාත් ආසක්ත වුණා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම විදේශීය චිත්‍රපට නැරඹීමේ ප්‍රවණතාව මතු වුණේ එතැනින්.

* සිනමා විද්‍යාර්ථියකු ලෙස ඔබ ගත කළ සොඳුරුතම අවධිය එය?

ඇත්තෙන්ම ඒ කාලේ සිනමාවේ විවිධ විභවයන් හඳුනා ගන්නට මට හැකියාව ලැබුණා. විදේශිය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමය ඒ දවස්වල සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම චිත්‍රපට ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මවල් සංවිධානය කළා. අපි B. M. I. C. H.  එකට උදේ 9.00 ට ගියාම ඉරිදා හවස එළියට එන්නේ අර චිත්‍රපට සියල්ලම නරඹලා. මේ නිසා විදෙස් චිත්‍රපටවලට විශාල අනාවරණයක් ලැබුණා. මම මේ කියන්නේ 1978 සහ එයින් පසු කාලය. එතකොට මම උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක්.

* ලොව විශිෂ්ටතම සිනමාකරුවන්ගේ අද්විතීය චිත්‍රපට රාශියක් නැරඹීමේ විරළ භාග්‍යය තමයි ඒ උදා වෙලා තිබුණේ?

සර්ජි අයින්ස්ටයින්ගේ, අකිර කුරසෝවාගේ, ක්ලෝඩි චැබ්රෝල්, එතකොට ෆෙඩ්රිකෝ ෆෙලිනි වගේ සිනමාකරුවන්ගේ චිත්‍රපට අපි නැරඹුවේ හරිම උද්දාමයකින්. ජර්මන් සංස්කෘතික ආයතනය වර්න(ර්) හර්සොග්ගේ, ප්‍රංශ තානාපති කාර්යාලය ප්‍රංශුවා ටෲෆෝගේ, එහෙමත් නැතිනම් ක්ලෝඩි චැබ්රෝල් වගේ අයගේ සිනමා ප්‍රත්‍යාවලෝකන දැක්මවල් සංවිධානය කළේ හරියට අපිටම කියලා වගේ. ඕ. ර්. ධ්. ඛ්. ඩ්. එකේ ඉඳන් ගාලු පාරට, ප්‍රංශ තානාපති කාර්යාලයේ ඉඳන් ගාලු පාරට පයින් ඇවිදගෙන යන්නේ බස් ගාස්තුවවත් අතේ නැති නිසා. ඒ යන ගමන් බලපු නාට්‍යය හෝ චිත්‍රපට ගැන තර්ක විතර්ක කරමින්, ඒ පිළිබඳ නිර්මාණාත්මක වශයෙන් සිතේ විශාල උනන්දුවකින් උන්මාදයකින් තමයි ඔය කාලය අපි ගත කළේ.

* ඔය කාලේ එක්තරා ස්ථානයකදී සිනමාවට සම්බන්ධව සිටි ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ඔබට නිතර හමු වෙනවා?

බම්බලපිටිය හන්දියේ කුඩා ආපන ශාලාවක් තිබුණා ‘ලයන් හවුස්’ කියලා. අපේ තර්ක, විතර්කවලට, සාකච්ඡාවලට තෝතැන්නක් වුණේ එතැන. ඔතැනට ආපු තවත් සිනමාකරුවන් පිරිසක් හිටියා. ඔවුන් ඒ වන විට චිත්‍රපට කරපු උදවිය. උදාහරණ්‍යක් හැටියට කියනවා නම් රත්නවීර ද සිල්වා හිටියා. ඔහු ඒ වෙද්දි ‘තනි තරුව’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබුණේ. ඔහු ‘සුද්දා’ ළමා චිත්‍රපටය නිර්මාණය කරමින් සිටියා. ඒත් එක්කම තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න. එවකට සිටි ඉතාම කාර්යබහුල සහාය අධ්‍යක්ෂවරයකු වූ ඔහු සිය පළමුවැනි චිත්‍රපටය ‘රැජන’ පූර්ව නිෂ්පාදන කටයුතුවලට එළඹෙමින් සිටියේ. ගාමිණී හේවාවිතාරණ ඒ වන විට ‘රක්තා’ චිත්‍රපටය නිර්මාණය කර තිබුණා. දැන් මේ අයගේ සිනමාව එක සිනමාවක්. අපේ සිනමාව වෙන සිනමාවක්.

* ඔවුන් වඩාත් නැඹුරුව සිටියේ දේශීය සිනමාවට?

ඔව්. දේශීය සිනමාවේ ප්‍රායෝගිකව නියැළිලා සිටි පිරිසක්. ඔවුන් චිත්‍රපට කරපු අය. ඒ වෙනකොට අපි සිනමා රසිකයෝ නැතිනම් ප්‍රේක්ෂකයෝ විතරයි.

* එතකොට ඔබ කොහොමද ප්‍රයෝගිකව සිනමාවට සම්බන්ධ වෙන්නේ?

තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්න සිනමාව පිළිබඳ අපි කතාබහ කරන දේ අහගෙන ඉඳලා දවසක් මට කිව්වා ‘නිලේ ඔයා කැමැතිද මම කරන චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වෙන්න’ කියලා. මේක හරියට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක් වුණේ අඬන්න ඉන්න මිනිහට. කවුරු හරි චිත්‍රපටයක තේ අල්ලන්න කතා කළා නම් මම යන වෙලාවක් ඒක. හැබැයි එහෙම අදහස් කරගෙන හිටපු මට සහාය අධ්‍යක්ෂවරයෙකු වෙන්න ආරාධනා ලැබීම දෛවෝපගතයි. මේ රටේ සිනමාකරුවකු හා සිනමා සහාය අධ්‍යක්ෂවරයකු හැටියට වැඩ කරන්න මට නියත විවරන ලැබීමට නියමිතව තිබූ බව මම විශ්වාස කරනවා.

* දෛවයේ ලියැවිලා තිබුණේ එහෙම?

දෛවයේ එහෙම ලියැවිලා තියෙන්නම ඕනෑ. නැතිනම් අවුරුදු දාහතක පාසල් ශිෂ්‍යයකුට ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපටයක සහය අධ්‍යක්ෂවරයෙකු වෙන්න ඇරයුමක් ලැබෙන්නේ නෑ. ඒ ඇරයුමට පසුබිම වුණේ අපි බලපු චිත්‍රපට හා සිනමාව පිළිබඳ අප කතාබහ කළ දේවල්. මම උසස් පෙළ හදාරමින් සිටියදී තමයි ‘රැජන’ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සහාය අධ්‍යක්ෂවරය විදිිහට සහභාගි වුණේ. ඒ පිළිබඳ මා තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්නට අදටත් කෘතවේදිත්වය පළ කරනවා එතැන හිටපු රත්නවීර ද සිල්වාත්, ගාමිණී හේවාවිතාරණත් අමතක නොකර.

* ඉන් පසු ඔබ ප්‍රවීණ සිනමාකරුවන් රැසක් සමග සම්බන්ධ වෙනවා, ප්‍රධාන සහාය අධ්‍යක්ෂවරයා විදිහට?

මම අවුරුදු දාහතේදී අරඹපු ඒ සිනමා අධ්‍යක්ෂවරයාගේ ගමන අඛණ්ඩව අවුරුදු දාහතක් (1980 සිට 1997 දක්වා) ලංකාව පුරා විවිධ අධ්‍යක්ෂවරුන් සමඟ එකට ආවා. විශේෂයෙන්ම ගාමිණී ෆොන්සේකා, ඩී. බී. නිහාල්සිංහ, විජය ධර්ම ශ්‍රී, වසන්ත ඔබේසේකර, ප්‍රසන්න විතානගේ, සුදත් දේවප්‍රිය, ජැක්සන් ඇන්තනි, ජයන්ත චන්ද්‍රසිරි වගේ නම් මට මතක් වෙනවා. හැබැයි විශේෂයෙන් කියන්න පළුවන් ගොඩක් සිනමා අධ්‍යක්ෂවරු තමන්ගේ පළමුවැනි චිත්‍රපටය හෝ ටෙලි නාට්‍යය කරන්නට නිලේන්ද්‍ර දේශප්‍රිය සොයාගෙන එන ප්‍රවනතාවක් ඇති වුණා. ඒ නිසා බොහෝ දෙනකුගේ පළමු චිත්‍රපටයේ හෝ ටෙලි නාට්‍යයේ සහාය අධ්‍යක්ෂවරයා වෙන්න මට වාසනාව උදා වුණා. අද ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස පෙරමුණේ සිටින උදයකාන්ත වර්ණසූරිය පවා සිය කුලුඳුල් ටෙලි නාට්‍යය වූ ‘මැණික් කැටයම’ සඳහා සොයාගෙන ආවේ මාව.

* මම හිතන්නේ, විශේෂයෙන්ම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ වැඩ කරන්නට ලැබීම ඔබේ සිනමා දිවියට, එහි ඉදිරි පැවැත්මට මනා පිටිවහලක් වෙන්නට ඇති?

ඔබ හරියටම හරි. ගාමිණී ෆොන්සේකා මහත්මයා අවසන් වශයෙන් රූගත කළ චිත්‍රපටය ‘අන්තිම රැය’යි. එතකොට මේ චිත්‍රපටය හරහා මේ ශ්‍රේෂ්ඨ සිනමාකරුවා හා මා අතර ඉතා හොඳ සම්බන්ධයක් ගොඩ නැඟුණා. ඔහු මට පැවසූ යමක් මේ මොහොතේ ඔබට කියන්නට මා කැමැතියි. එතුමා මට කිව්වා කවදාවත් මේක කාටවත් කියන්න එපා කියලා. අද ඔහු ජීවතුන් අතර නැති නිසා ඔහුට කරන උපහාරයක් හැටියට මම ඒක කියන්නම්.

* මේ ප්‍රථම වතාවට මාධ්‍යකට කරන හෙළිදරව්වක්?

ප්‍රථම වතාවට. මම ඔහුගේම වචනවලින් කියන්නම්. ‘අන්තිම රැය’ දර්ශන තල සියල්ලම නිරීක්ෂණය කළේ මම. එතුමා එතකොට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක. ඒ වෙනකොට එතුමා ඉතාම කාර්යබහුලයි. ඒ නිසා අර දර්ශන තල වීඩියෝ කැමරාවකින් රූගත කරලා තමයි මම ජාඇල එතුමාගේ නිවසට ගිහින් ඒවා පෙන්නුවේ. දැන් මේ කියන දේ සිදුවෙද්දී ලකී ඩයසුත් හිටියා මා එක්ක. ඒ වගේම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරපු රොබ් නේවිස්, අපි රූගත කළ ඒ දර්ශන උඩු මහලේ රූපවාහිනි යන්ත්‍රයෙන් නරඹලා පල්ලෙහාට ඇවිත් සතුටු සාමිචියේ යෙදෙද්දී ඔහු මගෙන් විවිධාකාර ප්‍රශ්න නැගුවා.

* මොන විදිහටද?

‘නිලේන්ද්‍ර මේ ෂොට් එක කොයි විදිහට ද ගත්තේ, මේ ඈන්ගල් එකෙන් කැමරාව තිබ්බේ ඇයි, එහෙම හිතුණේ ඇයි. මම ඒ හැම දේටම ඉතාමත් ව්‍යක්තව පිළිතුරු දුන්නා. ඒ ක්ෂණයෙන් ඔහු මා අධ්‍යනය කළා. මොකද ඔහු මා දැන හඳුනාගෙන සිටි කෙනෙක් නෙවෙයිනේ. අන්තිමට අර කියන්න එපා කියලා ඔහු මට කිව්වේ ‘උඹට කැමරාව කොහෙන්ද තියන්න ඕනෑ කියන පරිචය සහ සිනමාව පිළිබඳ උඹේ වෘත්තීයවේදිත්වය එක්ක මට උඹට එකක් කියන්න පුළුවන්. උඹ කවදාහරි දවසක ලංකාවේ ඉන්න ඉතාම විශිෂ්ට ගණයේ අධ්‍යක්ෂවරයෙක් වෙනවා. මම ඒකට ඕනෑ කරන විවරණය උඹට දැන් දෙනවා’ කියලයි.

* සිනමා සක්විතිගෙන් ලැබූ නියත විවරණය?

මේ මොහොතේ එතුමා මිය ගොස් දස වසරක් පිරෙද්දී මම මේ කතාව කියන්නේ මම ගැන කියන්න නෙවේ. එදා මට ඒ පිටකොන්ද, ධෛර්්‍යය, ශක්තිය ඒ විවරනය ඔහු මට දුන්න හින්දා. මේ මොහොතේ මම ඔහුව සිහිපත් කරද්දී මගේ රෝමෝද්ගමනය වෙනවා ඔබට පේනවා ඇති. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙන්නේ ගාමිණී ෆොන්සේකා. ඔහු ‘ජජ්මන්ට්’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා හැටියට තෝරා ගත්තේ මාව. එවකට එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ උතුරු - නැගෙනහිර ආණ්ඩුකාරවරයා. නමුත් යම් යම් දේශපාලන එදිරිවාදිකම් සහ මත ගැටුම් නිසා එය රූගත කිරීමට අවසරය ලැබුණේ නැහැ. අපි මාස 06 ක් පුරාවට එහි පෙර නිෂ්පාදන කටයුතු පවා කළා.

* ‘තන්හා රතී රඟා’ ඔබේ කුලුඳුල් චිත්‍රපටය වුණත් ඔබ සිනමා අධ්‍යක්ෂවරයකු වීමේ කාර්යයට මුල පුරන්නේ 1995 වසර තරම් ඈතකදී. ඒ ‘They Dance Along’  චිත්‍රපටය හරහා. ඒ මගහැරුණු අතීත සිහිනය යළි මතකයට නැගුවොත්?

අසංක, හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අර අවුරුදු දාහතරේදී කෙටි චිත්‍රපටය කරන්න බැරි වෙච්ච මට ආපහු චිත්‍රපටයක් කරන්න සැබෑ වුවමනාවක් ඇති වෙන්නේ 1995 දී. ඒකට හේතුව මං නැරඹූ ‘පිරවි’ කියන මලයාලම් චිත්‍රපටය. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සාජි එන්. කරුන්. එහි කැමරා අධ්‍යක්ෂවරයා සනී ජෝශප්. මේ චිත්‍රපටයේ තිබෙන්නේ දිල්ලියේ විශ්ව විද්‍යාලයේ ඉන්න පුතා එනකල් මග බලාගෙන ඉන්න තාත්තා කෙනෙක් ගැන සහ අම්මා කෙනෙක් ගැන කේරළයේ. දැන් මේ පුතා නැක්සලයිට් චෝදනාවට සිරගත කළාද, මරා දැමුවා ද මේ කිසිවත් චිත්‍රපටයේ කියන්නේ නෑ. චිත්‍රපටය තියෙන්නේ තාත්තා ගාව. තාත්තා හැමදාම බස් නැවතුම්පළට යනවා අර තමාගේ පුතා බලාපොරොත්තුවෙන්. නමුත් පුතා කවදාවත් එන්නේ නෑ.

* ඔබේ හදවත සසල කළ චිත්‍රපටයක්?

මේ චිත්‍රපටය බලලා මම කල්පනා කළා මේ වගේ අම්මලා, තාත්තලා තව කී දෙනෙක් අපේ රටෙත් බලන් ඉන්නවද? තමන්ගේ දරුවෝ එනකල් අතුරුදහන් වෙච්ච. නිල වාර්තාවලට අනුවම හැත්තෑ දාහක් කියලා කියනවා. නමුත් ඒ සංඛ්‍යාව ඊට වඩා වැඩි බව අපි හැමෝම දන්නවා. මේ මම කතා කරන්නේ 1971 ත්, නවසිය 88 ත්, 89 ත් කියන කාල වකවානුවල මේ රටේ සිද්ධ වුණු දේශපාලන අර්බුදවලින් අතුරුදන් වුණ දරුවෝ ගැන. එතකොට මම කල්පනා කරනවා කවුද එහෙම බලන් ඉන්න තාත්තා අපේ රටේ. කවුද එහෙම බලන් ඉන්න අම්මා. අම්මලා හැත්තෑදාහක් ඉන්නවා. නමුත් එක අම්මා කෙනෙකුට මේ අම්මලා සේරටම හඬක් දෙන්න පුළුවන් වෙන්න ඕනෑ.

* සියලු මව්වරුන් වෙනුවෙන් හඬ නගන්න, ඔවුන්ගේ කතාව අපට කියන්න ඔබ අවසානයේ තෝරා ගන්නේ අපේ රටේ ජීවත් වූ එඩිතර කාන්තාවක්, සැබෑ මවක්?

ඔව්. ඒ මනෝරාණී සරවනමුත්තු. වාසනාවකට වගේ තමන්ගේ පුතාගේ මළ සිරුර මහ මුහුද විසින් නැවත ගොඩ බිමට ගෙනත් දෙනවා ඒ කතාව කියන්න. ඒ පුතා තමයි මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා. මේ රටේ තමන්ගෙ දරුවා අහිමි වූ මව්වරුන්ට, සැමියා අතුරුදන් වූ බිරින්දෑවරුන්ට, අතුරුදහන් වෙච්ච අයගේ සහෝදර, සහෝදරියන්ට ඒ පවුල්වලට ඔවුන් දෙදෙනා මඟින් විශාල හඬක් දෙනවා. මම මේ චිත්‍රපටය කළේ ඒ හින්දයි. එවකට මා සහාය අධ්‍යක්ෂවරයෙක් පමණයි. චිත්‍රපටය කරන්න මා ළඟ මුදල් තිබුණේ නෑ. මම ලක්ෂ නවයහමාරක් විතර වියදම් කළා මේ චිත්‍රපටයට.

* කොහොමද මේ මුදල ඔබ සොයා ගත්තේ?

මේ මුදල් මම ණයට ගත්තා. ක්‍රෙඩිට් කාඩ්පත්වලින් වියදම් කළා.

* මේ අවදානම ගන්න එවකට නිදහස් වෘත්තිකයකු වූ ඔබට බියක්, සැකයක් ඇති වුණේ නැද්ද?

ඔබ සිනමාව කෙරේ ආදරයෙන් පසු වන්නේ නම් කෙදින හෝ ඔබේ අරමුණ කරා ළඟා වෙන්නට පුළුවන් කියන එක මම හැමදාම විශ්වාස කළ දෙයක්. සිනමාව මට අර්ධකාලීන හෝ පූර්ණකාලීන රැකියාවක් නොවේ. සිනමාව යනු මගේ ප්‍රථම ප්‍රේමයයි. එය උන්මාදනීය ප්‍රේමයක්. ඒ උන්මාදනීය ප්‍රේමය වෙනුවෙන් මට සියල්ල කැප කළ හැකියි. ඒ කැප කිරීම නිසා දරුවො හතර දෙනකු ඉන්න පියකු වෙලත් මම ණයට ලක්ෂ නවය හමාරක් සොයගෙන චිත්‍රපටයේ යම් යම් වැඩ කටයුතු කළා. මේ සඳහා ස්වර්ණා මල්ලවාරච්චි මට විශාල ලෙස උදවු උපකාර කළා. මමෝරාණිගේ චරිතය රඟපාන්නට නියමිතව තිබුණේ ඇයට.

* මේ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් පවා රූගත කළා නේද?

‘පිරවි’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වූ සනී ජෝශප් යොදාගෙන මිලි මීටර් 35 කැමරාවකින් කොඩැක් දළ සේයා පට පාවිච්චි කරලා අපි සැබෑ රූගත කිරීමක් සිදු කළා. වේෂ නිරූපණය කළේ ඊබට් විජේසිංහ. ස්වර්ණා, සනත් ගුණතිලක, ලින්ටන් සේමගේ, අරුන් ඩයස් බණ්ඩාරනායක වැනි ශිල්පීන් රාශියක් රූගත කිරීම් සඳහා දායක වුණා. ප්‍රතිපාදන පිළිබඳ ගැටලු ඇවිත් මේ චිත්‍රපටය එතැනින් එහාට මට කර ගන්න බැරි වුණා. අවසානයේදී මම මේ පිටපත ස්වර්ණා මල්ලවාරච්චි ශිල්පිනියගේ ඉල්ලීම පිට හර්ෂ කුමාර නවරත්න මහත්මයාට බර දෙනවා. හර්ෂ එකොට ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’, ‘කැඩපතක ඡායා’, ‘ගොළු මුහුදේ කුණාටුවක්’ වැනි චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කර තිබුණා.

* මම දන්න තරමින් ඔහු එකඟ වුණා ඒ චිත්‍රපටය කරන්න. නේද?

අර චිත්‍රපටයක අතීතාවලෝකනය සහ පූර්වාලෝකනය එනවා වගේ දැන් මේ කතන්දරේ නැවත තියෙනවා පූර්වාලෝකනයක්. පූර්වාලෝකනය තමයි මේ වෙන කොට මම මේ පිටපත හර්ෂ අයියට බාර දීලා ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ චිත්‍රපටය නොකෙරී ‘සිරස’ ආයතනයට සම්බන්ධ වෙලා ඉවරයි. එහෙම තමා දැන් ඡේදනය වෙන්නේ. ඒ ඡේදනය වන කතා අනු පිළිවෙල අනුව මම සිරස T.V එකේ වැඩ කරමින් ඉන්න කොට මට ස්වර්ණා අක්කාගෙන් Call එකක් එනවා. ඒ අනුව නැවත අපි දෙන්නා එක් උදෑසනක හර්ෂ කුමාර නවරත්නව හමු වෙනවා කොළඹ ස්විමින්ග් ක්ලබ් එකේදී. එවලේ ඔහු කියනවා මේ චිත්‍රපටය විදෙස් ආයතනයකට ඉදිරිපත් කළ බව. ඔවුන් මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කැමැති බවත් ඔහු කියනවා. නමුත් මහරාජා කළමනාකාරිත්වයෙන් මට ඒ සඳහා අවසර ලැබෙන්නේ නෑ. මොකද ඒ වෙනකොට ‘සිරස’ රූපවාහිනිය ලංකාවේ අස්සක්, මුල්ලක් නෑර විසිරිලා ගිහිල්ලා මිනිස්සු උන්මාදයෙන් එය වැළඳගෙන සිටි වෙලාව. ඔබ යන්න එපා කියා ඔවුන් මගෙන් කාරුණික ඉල්ලීමක් කළා. දෙවැනි වරටත් ඒ ප්‍රථම සිනමා සිහිනය බොඳ වුණේ ඒ විදිහට.

* කෙසේ හෝ ඔබ හා හා පුරා සිනමාකරුවකු ලෙස අප හමුවට එන්නේ ‘තන්හා රතී රඟා’ සමගින්. මේ චිත්‍රපටයටත් ඔබ ‘මමෝරාණි’ චරිතය කැටුව එනවා. ඔබේ අතීත සිනමාවේ සිටි මනෝරාණි කොහොමද මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ?

ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් චිත්‍රපටකරුවෙක් වෙන්නට අවුරුදු දහ හතරේ සිට පෙරුම් පිරූ මට කියන්නට තිබෙන්නේ එකම චිත්‍රපටයක් බවත්, කතා කරන්නට තිබෙන්නේ එකම විෂයයක් බවත් මම සාක්ෂාත් කරගෙන ඉවරයි. ‘තන්හා රතී රඟා’ සහ They Dance Along චිත්‍රපටවල සහ මීළඟට මම අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වෙන සුනේත්‍රා රාජකරුණානායකගේ ‘පොදු පුරුෂයා’ චිත්‍රපටයත් තුන් ඈදුතු චිත්‍රපට. මේ චිත්‍රපට තුනෙන්ම මා සාකච්ඡා කරන්නේ එකම කතාවක්. ඒ තමයි ප්‍රචණ්ඩත්වය. මේ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරද්දී මට මනෝරාණිව අමතක කරන්න බැහැ. ඒ ඇය ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී හිටපු අම්මා නිසා.

* බොහෝ සිනමාකරුවන් යුද බිමේ ප්‍රචණ්ඩත්වය ඉස්මතු කරද්දී ඔබ උත්සුක වන්නේ පශ්චාත් යුධ සමයේ හාත්පස සමාජය වෙළාගත් ප්‍රචණ්ඩත්වය ගැන ඔබේ සිනමාත්මක අර්ථ නිරූපණය ඉදිරිපත් කරන්න?

යුද්ධය ඉවර වුණාට අපෙන් තවම ප්‍රචණ්ඩත්වය ගිළිහිලා නෑ. ඒ ප්‍රචණ්ඩත්වය අපි අතෑරලා නෑ. ඒ පුචණ්ඩත්වය කොච්චර දුර ගිහින්ද කියනවා නම් අවුරුදු දහතුනේ අක්කා අවුරුදු හයක තමන්ගේම නංගිට පිහියෙන් අනිනවා. දැන් මේ දරුවෝ ප්‍රචණ්ඩත්වය කර පින්නාගෙන උපන් අය නෙවේනේ. අවුරුදු තිහක් පුරා අපි ජීවත් වුණේ අපේ දරුවෝ ජීවත් වුණේ ප්‍රචණ්ඩත්වයත් එක්ක. කොටින්ම අද අම්මා තාත්තා ව්ඥඹඵ බලනකොට දරුවො දකින්නේ ප්‍රචණ්ඩත්වය.

* තන්හා, රතී, රඟා’ චිත්‍රපටය හරහාත් අප ඒ ප්‍රචණ්ඩත්වය අත් විඳිනවා?

මේ චිත්‍රපටය නැරඹූ නිසා ඔබ දන්නවා, මවගේ චරිතය රඟපාන ස්වර්ණා මල්ලවාරච්චිට, සුරාත්ගේ ඒ කියන්නේ පුතාගේ චරිතය රඟපාන නාමල් ජයසිංහ හම්බ වෙන්න ඔන්න මෙන්න තිබියදී නැවත මේ පුතා සිරගත වෙනවා හේතුවක් හින්දා. හේතුව මම කියන්නේ නෑ. ඒකට චිත්‍රපටය බලන්න ඕනෑ. නමුත් ඒ අම්මාගෙන්ම තමයි මේ පුතාව උදුරගෙන යන්නේ They Dance Along චිත්‍රපටයේ. එතකොට ඒ අම්මා ගැනම තමයි කතා කරන්නේ ‘පොදු පුරුෂයා’ චිත්‍රපටයේත්. මේ චිත්‍රපටයේ කාන්තා චරිත තුනක් තියෙනවා. ජිනවතී ස්කෝලේ හාමිනේ, මනෝරම්‍යා, වර්ණාසි, ජිනවතී ස්කෝලේ හාමිනේගේ දුව මනෝරම්‍යා, මමෝරාම්‍යාගේ දුව වර්ණාසි. මේ තුන් දෙනා උතුරේ සහ දකුණේ යුද්දේ තියෙද්දී ජීවත් වූ කාන්තා චරිත තුනක්. කොහොමද ‘තන්හා රතී රඟා’ හරහා ඊඩඥර ච්චදජඥ ඒතධදඨ චිත්‍රපටයත්, ඒ හරහා ‘පොදු පුරුෂයා’ කරා යන්නෙත් කියන එක අපි චිත්‍රපටය ආපු දවසට බලමු.

* දැන් මේ චිත්‍රපට තුනම එකිනෙකට සම්බන්ධයි කියා ඔබ පැවසුවා. ‘තන්හා රතී රඟා’ චිත්‍රපටයට ඔබ පාදක කර ගන්නේ තිස් වසරක් පුරා මේ රටේ තිබුණ වාර්ගික යුද්ධය. එයිනුත් They Dance Along  චිත්‍රපටයට පසුබිම් වෙන්නේ 88 – 89 කාලයේ මේ රටේ ඇති වූ ‘තරුණ කැරැල්ල’ හා එවකට පැවැති රාජ්‍ය ත්‍රස්තවාදය මුල් කර ගත් සංසිද්ධියක්?

‘තන්හා රතී රඟා’ චිත්‍රපටය ඇරඹෙන්නේ 2009 මැයි 19 වැනිදා එල්. ටී. ටී. ඊය යුදමය අතින් පරාජය කළ දිනයෙන්. මේ චිත්‍රපට දෙකෙන්ම මම කතා කරන්නේ අපේ රටේ සිදු වූ සැබෑ සිදුවීම් ගැන. කලාත්මකයි, සම්භාව්‍යයි කියා අප හඳුන්වන ආකාරයේ සාම්ප්‍රදායික චිත්‍රපටයක් නෙවෙයි මේක. එතකොට They Dance Along සහ ‘පොදු පුරුෂයා’ත් එහෙමයි. මම මේ කියන්න හදන්නේ ශ්‍රී ලංකාවේ අපේ පරම්පරාවේ අත්දැකීම වුණාට මේක මුළු මහත් ලෝකයේ හැම තැනම සිදුවන දෙයක්. ඒ කියන්නේ ඊශ්‍රායලයෙත්, පලස්තීනයෙත් එහෙම නැතිනම් ඇෆ්ගනිස්ථානයේ පුපුරන බෝම්බ, ඇමරිකානු ත්‍රස්තවාදය වේවා, රාජ්‍ය ත්‍රස්තවාදය වේවා මොන තරම් අසහනයක්ද මිනිසුන්ට ඇති කරන්නේ. ඒ නිසා මම කතා කරන්නේ අපේ මේ කුඩා දූපත තුළ සිදු වූ දෙයක් නෙවෙයි. මුළු මහත් පෘථිවියේම ඛේදවාචකය. පෑගෙන එකා, අව වරප්‍රසාදිතයා හරහා ප්‍රචණ්ඩත්වය මුදා හැරීම මුළු ලෝකය තුළම දේශපාලනයේ සිද්ධ වෙනවා. ඒක බැරක් ඔබාමා අතින් ද නැතිනම් වෙනත් පාලකයකු අතින් ද සිද්ධ වෙන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නය, එහෙම වෙන එක. මගේ චිත්‍රපටයන් මම කතා කරන්නේ ඒක. මේ චිත්‍රපටය ලඝු කොට, සීමා කොට අර්ථ දක්වනවාට මා කැමැති නෑ. ප්‍රේක්ෂකකයෝ නිවැරදි තීන්දුව දේවි. ඒ නිසයි මා ඔවුන්ගෙන් අසන්නේ ‘ඔබ මොවුන් හඳුනනවාද’ කියලා.

* ඔබට වඩාත් වැදගත් වන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර?

මේ 17 වැනිදා ඉඳලා E. A. P. මණ්ඩලයේ සිනමා ශාලාවල ‘තන්හා රතී රඟා’ තිරගත වෙනවා. ඒ චිත්‍රපටය නරඹලා ඔබේ අදහස් මට දන්වන්න. ඔබ ‘ඔවුන් හඳුනා ගත්තාද’ කියා මට කියන්න.

* ඔබ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළේ වසර තුනකට පෙර 2011 දී. ප්‍රදර්ශනයට ප්‍රමාද වීම නිසා නිර්මාණයට යම් බලපෑමක්, හානියක් සිදු වූ බව හිතෙන්නේ නැද්ද?

මා ස්තුතිවන්ත වෙනවා අසංක ඒ ප්‍රශ්නය ඔබ මතු කළ එක ගැන. සර්වකාලීන වටිනාකමින් යුත් සිනමාපට ලෝකයේ තියෙනවා. උත්ප්‍රාසය දනවන කාරණාව තමයි ‘තන්හා රතී රඟා’ චිත්‍රපටය ගිය මාසයේ ලන්ඩනයේ I Will Tell සම්මාන උළෙලේදී ලොව හොඳම චිත්‍රපටය ලෙස සම්මානය හිමි කර ගත්තා. එහි ජූරියේ සභාපතිවරයා වුණේ බාර්ට් ගැවිගන්. ඔහු හොලිවුඩ් තිරනාටක උපදේශකවරයෙක්. එතකොට බාර්ට් ගැවිගන් කියනවා ‘සිනමාව පිළිබඳ දැනුමක් තේරුමක් ඇති සිනමාකරුවකුගේ අව්‍යාජ භාව ප්‍රකාශනයක් හැටියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන් කියලා. එම සම්මානය පිරිනැමීමේදී ඔහුගේම වචනවලින් එහි හේතු පාඨය දක්වා තිබුණේ මේ අයුරින්. ‘සිනමාව කෙරෙහි අව්‍යාජ වූ බැඳියාවක් ඇති සිනමාකරුවකු ලෙස කථා වස්තුව, චරිත විකාශනය ආදිය මෙහිදී ඉතා ප්‍රබල තැනක ස්ථානගත කිරීමට අධ්‍යක්ෂවරයා සමත් වී ඇත. මෙම චිත්‍රපටය අපට සිහිපත් කරන්නේ ෆෙඩ්රිකෝ ෆෙලිනි නම් වූ විශිෂ්ට සිනමාකරුවාගේ  I Vitellow2 සහ Lastrda යන චිත්‍රපටයන්ය’. ඒ තමයි ඔහුගේ ප්‍රකාශය.

* ඇත්තටම ඒ චිත්‍රපටවලින් ඔබ කිසියම් අනුප්‍රානයක් ලැබුවාද?

අපි එළදෙනකුගෙන් කිරි ගන්න ඌට තණකොල, පුන්නක්කු දෙනවා. ඊට පස්සේ තමයි කිරි ගන්නේ. ඒ වගේ අපි නිර්මාණකරනයේ යෙදෙද්දී අපි බලපු පොත පත සහ නරඹපු චිත්‍රපට ආදියෙන් කිසියම් ආභාෂයක් ලැබෙනවා. ඒක සිදු වෙන්නේ නිරායාසයෙන්මයි.