වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




ස්ටැන්ලි ද අල්විස් ගේ අවමඟුල අතරේ සම්මාන හොරකම් කරලා

ස්ටැන්ලි ද අල්විස් ගේ අවමඟුල අතරේ සම්මාන හොරකම් කරලා

සම්මාන සොයා දෙන්නැයි බිරියගෙන් ඉල්ලීමක්
සරසවිය සම්මාන ඇතුළු සම්මාන 28 ක් දිනූ කලාකරුවෙක්

සැන්දෑවේ චමත්කාරය මකා දමමින් වැහි අඳුර බෝ වෙන්නට පටන් ගත්තේය. වෙනදාටත් කලින් තම සේවය අහවර කළ දිනිඳු කළු වලාවක සැඟ වී හාත්පස අව පැහැ ගන්වන්නට උදවු කළා වැනිය.

නිවස තුළ තිබෙන පාළුව මකා ගන්නට බැරිම තැන ඕෂධී ගුණසේකර නම් ඇය ඉස්තෝප්පුවට පැමිණ ඉහළ අහස දෙස බැලුවාය. පරිසරයේ වෙනස පැහැදිලිව දුටු සියොතුන් හනි හනිකට කැදලි කරා පියාඹයි.

හොඳටම වහින්න වගේ, මහත්තයා කීයට ද දන්නෙ නැහැ ගෙදර එන්නේ.

ඕ තමාටම කියා ගත්තීය. ඇගේ සැමියා ස්ටැන්ලි ද අල්විස් මේ මොහොතේ සිටියේ ජයවර්ධනපුර රෝහලේ රුධිර කාන්දුකරණයට භාජනය වෙමිනි. වකුගඩු රෝගයෙන් පෙලුණු හෙතෙම නිරන්තරයෙන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අවශ්‍යව තිබිණ. වෙලාව ඒ වන විට සවස පහට ආසන්නව විය.

නෝනෙ මං එනකොට හය විතර වේවි. කන්න පොඩි දෙයක් හදලා තියන්න.

ඒ ස්ටැන්ලිගෙන් ඕෂධීට පැමිණි අවසාන දුරකතන ඇමතුමය. එය එසේ වනු ඇතැයි කෙදිනකවත් ඇය බලාපොරොත්තු නොවන්නට ඇත. පහට පමණ ඕෂධීගේ දුරකතනය යළි නාදවන්නට පටන් ගත්තේය. එහි තිරයේ නාඳුනන අංකයක් පෙනෙන්නට විය. ඕෂධී මහත් වූ කුතුහලයෙන් ඇමතුමට සම්බන්ධ වුණාය. එමඟින් ආ පණිවුඩය ගැන අදට ද ඕෂධීට අදහා ගත නොහැකිය.

මේ සිද්ධිය වුණේ පස් වැනිදා. ඒ කියන්නේ ගිය ඉරිදට ඉස්සෙල්ලා ඉරිදා. එදා හවස මහත්තයාට ඉස්පිරිතාලෙට යන්න වුවමනාව තිබුණා. උදේ ඉඳලා සුපුරුදු විදිහට කාලෙ ගෙව්වා.

කිසිදු වෙනසක් පෙන්නුවේ නැහැ. ගෙදර ඉන්න කොට එය හරියට ගෙදර වැඩ කරනවා. එදත් එහෙමයි. ඒත් බලන්නකෝ සිද්ධ වෙච්ච දේ.

ඕෂධී දැනුදු වික්ෂෝප වෙයි. ස්ටැන්ලි සදහටම අප අතහැර ගොසින්ය යන සත්‍ය ඇයට තවම මුසාවක් වැනිය.

ස්ටැන්ලි ද අල්විස් යනු අපට සිටි අති දක්ෂ සංස්කරණ ශිල්පියෙකි. ඔහුගේ තීක්ෂන ඇසින් සංස්කරණය වූයේ එසේ මෙසේ චිත්‍රපට නොවේ.

දඩයම, මාරුතය, හංස විලක්, කැඩපතක ඡායා, බහු භාර්යා ලෙසින් ගණනාවක් නම් වශයෙන් හඳුන්වා දිය හැකිය. ඒවා බොහොමයක් සම්මානිත වූ චිත්‍රපටය. ඔහු සරසවිය ඇතුළු සම්මාන 28 ක් දිනා ගත්තේය.

මහත්තයා හරිම සතුටින් චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩ කළේ. එතකොට එයාට ගොඩක් වැඩ තිබුණා. කොච්චර කාර්යබහුල වුණත් ගෙදරට අවශ්‍ය දේවල් නිතරම හොයලා බැලුවා. එන්න එන්න මහත්තයාට වැඩ අඩු වුණා. විශේෂයෙන් චිත්‍රපට ඩිජිටල්කරණය වුණාට පස්සෙයි එවන් තත්ත්වයක් උදා වුණේ. ඊට පරිබාහිරව චිත්‍රපටවලට එයාට කතා කරලා තියෙනවා.

ඒත් ඉල්ලන මුදල වැඩියි කියලා මහත්තයාව අරගෙන නැහැ. මට ඒ ආරංචිය පිටින් දැනගන්න ලැබුණේ. මගේ හිත රිදෙයි කියලා ඒ වගේ දේවල් මට නොකියා ඉන්න එයා වගබලා ගත්තා.

අපේ මහත්තයා තමන්ගේ තත්ත්වෙ තියාගෙන හිටියේ. ආර්ථික අතින් අපහසුතාවකට ලක් වුණත් තුට්ටු දෙකට වෘත්තීය ගරුත්වය පාවා දුන්නේ නැහැ. ඒකයි අන්තිම කාලේ ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණේ.

ස්ටැන්ලිගෙ රෝගී තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ එයය. ගතේ ඇති රෝග ධාතුවලට වඩා සිතේ ඇති කලකිරීම ඔහු අපෙන් වෙන්වීම ඉක්මන් කරලීය.

අවසාන කාලේ ඔහු බෙහෙවින් හුදකලා වුණා කියලයි මට දැනුණේ. ක්ෂේත්‍රයේ සමකාලීන්ගෙන් වැඩි දෙනෙකු ජීවතුන් අතර නැහැ. ඔවුන් හිටියා නම් මහත්තයාගේ දුක සැපවත් අසාවි.

මහීල් පෙරේරා සහ උදයකාන්ත වර්ණසූරිය නිතරම ඔහුට කතා කළා. මහීල් මල්ලි තමන්ගේ ඊළඟ චිත්‍රපටයටත් මහත්තයාව සම්බන්ධ කරගන්න හිතාගෙන හිටියා. එත් ඊට කලින් . . .

ස්ටැන්ලි තමන් පිළිබඳ තතු සඳහන් කොට ක්ෂේත්‍රයේ වගකිව යුතු ආයතනවලට ලියුමක් යැවීය. නමුත් ඒවා සියල්ලටම ලැබුණේ සෘණාත්මක පිළිතුරය.

මහත්තයා හිටියේ චිත්‍රපට ක්ෂේත්‍රයෙනෙ. ඉතින් ඔහුගේ දුක්ගැනවිලි අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වලා වැඩක් නැහැනෙ.

තමන්ගේ අසනීප ගැන සහ ඊට වැය වන මුදල් පිළිබඳ සටහන් කරලා ලිපියක් යැව්වා. යස පිළිතුරක් තමයි ඔවුන්ගෙන් ලැබුණේ. මහත්තයාට දෙන්න ප්‍රතිපාදන නැහැලු. සිනමාවට මහඟු මෙහෙවරක් කළ සම්මානනීය සංස්කරණ ශිල්පියකුට සලකන විදිහ. මේ මොහොතෙන් පසුවත් මහත්තයා කාටවත් දොසක් කිව්වේ නැහැ. අන්න ඒකයි ඔහුගේ උතුම් ගතිය.

ස්ටැන්ලි අහිමිවීමේ දුක දෙගුණ තෙගුණ කරවන පුවතක් ස්ටැන්ලිගේ දේහය තැන්පත් කොට තිබූ මල් ශාලාවේදී ඕෂධීට දැනගන්නට ලැබිණ. ඇය ඒ ගැනා කතා කළේ ද ඇඬු කඳුලිනි.

මහත්තයාගේ බොඩි එක ළඟින් ඔහු ගත්තු සම්මාන තියලා තිබුණා. එහිදී කවුදෝ ඒවායින් පහක්ම හොරකම් කරලා. ඒ අතර ඕසීඅයිසී සම්මාන දෙකකුයි, ජනාධිපති සම්මාන දෙකකුයි තියෙනවා.

අනේ මන්දා මේ වගේ මිනිස්සුත් ඉන්නවද. මහත්තයාගේ අවසන් ගෞරවය ලබාදීමට ඇවිල්ලා ඔවැනි පහත් වැඩ කරන අයත් ඉන්නවද මේ රටේ. අනික අනුන්ගේ සම්මාන අරන් මක් කරන්නද.

මං මේ වෙලාවෙ අහිංසක ඉල්ලීමක් කරන්න කැමැතියි. අනන්‍යතාවය හෙළි කරන්නේ නැතුව හරි කමක් නැහැ ඒ සම්මාන ටික මට ලැබෙන්න සලස්වන්න. ඒවා තමයි මගේ මහත්තයාගේ මතකයන්. ඔහු ජීවත්ව ඉන්න කොටත් ඒ සම්මාන උදේ හවස පිහදැම්මා. එච්චරට මං ඒවට ආස කළා.

ඕෂධී මේ අතරතුර ස්ටැන්ලිව මුලින්ම හමුවුණු දවසත් මතක් කළාය.

අපි මුලින්ම හමු වුණේ නුවරදී. එතකොට එයා ක්ෂේත්‍රයට පා තැබුව අලුත. හැත්තෑ අටේ අවුරුද්දේ අපි බැන්දා. අපිට දුවකුයි පුතෙකුයි ඉන්නවා. එයාලා විවාහකයි.

අද මං ඉන්නෙත් දුවගෙ ගෙදර. මට ස්ටැන්ලි නැතුව මහරගම නිවසේ ඉන්න බැහැ. ස්ටැන්ලි හරියට ආගම දහමට ලැදියි. සතියකට වතාවක් කොච්චිකඩේ පල්ලි යනවාමයි.

අවසාන කාලෙත් එහෙම්මමයි. කොහොම හරි මහත්තයා චිත්‍රපටයක් කරන්න හිතාගෙන හිටියා. ඒ අදහසත් සඵල වුණේ නැහැ.

ඕෂධී තවමත් ස්ටැන්ලිගේ මතකය සමඟ සැරිසරයි. තවත් ඇයව අප මහන්සි නොකෙරුවෙමු. කලක් ස්ටැන්ලි හෙළ සිනමාවට නැතුවම බැරි චරිතයක් විය.

ඔහු තරම් දක්ෂයකු නැවතත් බිහිවේදැයි සැකයකි. සිනමාව ඩිජිටල්කරණය වීම ඔහු නිවසේ තනි කරවීමට හේතුවක් වූ බව අප සිනමාවේ ඇතැම් අධ්‍යක්ෂවරුන්ගේ මතයයි.

නමුත් ඔහුගෙන් තව වැඩ ගැනීමට තිබුණා නොවේද? අවසන සිත් අමාරුවෙන්ම ස්ටැන්ලි නික්ම ගියේය. ස්ටැන්ලි අල්විස් රෝගාතුර වූ වග උදයකාන්ත වර්ණසූරිය ඔහු පිළිබඳ ඇත්ත තත්ත්වය පුවත්පත් වෙත දන්වා යැව්වාය.

එහෙත් ඉන් පසුව ද දෙතුන් දෙනෙකු හැර ස්ටැන්ලිගේ දුක සැප සොයා නොබැලීය. ස්ටැන්ලි දැන් අප අතර නැත. එහෙත් ඔහු සංස්කරණය කළ සිතුවම්පට තවත් කාලාන්තරයක් අප නරඹන්නෙමු. එහෙයින් ඒවාවල නාමාවලිය මැද හරියේදී ස්ටැන්ලිගේ නම සනිටුහන් වෙද්දී අපට නිසැකවම ඔහු සිහිිපත් වනු ඇත.