|
ජාතික රූපවාහිනියට කළු සෙවනැල්ලක්
එම ආත්මය සැරිසරන්නේ කලු සෙවනැල්ලක් ලෙසින්ය. හරියටම වයස විසි පහක් සපුරන තුරුණු යෞවනියන් මෙහි ගොදුරු බවට පත් වේ. කලු සෙවනැල්ල එතරම්ම භයංකරය. එම ආත්මය හිමි තැනැත්තිය මෙළොවින් නික්ම ගොස් ඇත්තේ අසීමිත සිත් රිදීම් මැද ද්වේශය, වෛරය හදවත හි රුවාගෙනය. එහෙයින් ඇය මියගිය පසු ආත්මය කලු සෙවනැල්ලක් ආකාරයෙන් පැමිණෙන්නේ ජීවත්ව සිටි කාලයේ තමාට එරෙහි වුණු අයගෙන් පළිගැනීමටය. මේ කලු සෙවනැල්ල තවත් අදහා ගත නොහැකි බොහෝ දෑ සිදු කිරීමට නියමිතය. මෙම මස 31 වැනිදා රාත්‍රී 9 සිට මෙම කලු සෙවනැල්ලේ අභිරහස ජාතික නාලිකාව හරහා එළි දකිනු ඇත. දිලුක ප්‍රසාද් ගුණතිලක අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි සිතුවමට නම තබා ඇත්තේ කලු සෙවනැල්ල නමිනි. අලු බඳුන සහ සයුරි ටෙලි සිතුවම්වලින් පසු දිලුක අධ්‍යක්ෂණය කළ මෙහි ඇති විශේෂත්වය වනුයේ එය මේ දිනවල විකාශය වන ටෙලි රැල්ලෙන් වෙනස්ම වූ මඟක් ගැනීමය. එමෙන්ම එය පැයක් පුරා දිග හැරෙන ටෙලි සිතුවමකි. නුවරඑළියේ සොඳුරුතම දර්ශන තලයන්හි රූගත කළ කලු සෙවනැල්ල මෙගා නොවන කොටස් 12 ක ටෙලි සිතුවමක් වේ. කලු සෙවනැල්ල සැන්ඩ්‍රා විනෝදනීගේ නිෂ්පාදනයකි. දිගු කලක සිට එංගලන්තයේ පදිංචිව සිටින ඇයට ටෙලි නාට්‍යයක් හෝ සිනමාපටයක් නිෂ්පාදනය කිරීමේ අරමුණ පෙරැදැරිවය මෙරටට පැමිණියේ. සැන්ඩ්‍රා එංගලන්තයේදී වැඩිපුරම කියවා ඇත්තේ ස්කොට්ලන්ත නවකතාය. විශේෂයෙන් රහස් පරීක්ෂක කතා සඳහා ඇය බෙහෙවින් ඇලුම් කළාය. එබඳු තේමාවක් ඇසුරු කර ගනිමින් නිර්මාණය කිරීම සැන්ඩාගේ එකම අභිලාෂය විය. ඇය මෙරටට පැමිණි පසු තම මිත්‍රයකුගේ මාර්ගයෙන් දිලුකව මුණ ගැසිණ. ඔහු ඒ වන විටත් අලු බඳුන ටෙලි සිතුවම හරහා ක්ෂේත්රයේ හොඳ නමක් සාදාගෙන සිටියේය. සැන්ඩාගේ අදසට අනුව අපූරු තිර නාටකයක් සැකසූ හෙතෙම එය සැන්ඩාට ලබා දුන්නේය. එය ඇය කියවා බලා මහත් සතුටට පත් විය. කෙසේ නමුත් හය මසක් පමණ දිලුක හා සැන්ඩා කලු සෙවනැල්ලේ තිර රචනය ගොඩ නඟන ලදී. දිගු කලකට පසු රොෂාන් රණවන පුංචි තිරයේ වෙනස්ම චරිතයක් මවනු නොදුටු හෙයින් සැන්ඩා කලු සෙවනැල්ලේ ප්‍රධාන චරිතය වූ ආතර්ව රොෂාන්ට ලබාදීමට තීරණය කළාය. ඔහු කලු සෙවනැල්ලේ අභිරහස සොයන්නට පැමිණෙන රහස් පරීක්ෂකවරයාය. ආතර් ගමන් බිමන් සඳහා යොදා ගත්තේ පැරැණි රුවල් සහිත පාරුය. එමෙන්ම ලන්තෑරුමක් ද ඔහුග් අතේ තිබේ. අශ්ව කරත්තය ද ආතර් පරිහරණය කරයි. හරියටම පැවසුවොත් කලු සෙවනැල්ල අප සිත් අතීතයේ එක් කාල පරිච්ඡේදයකට ගෙන යාමට සමත්ය. මේ අතරට ඉතා පැරැණි මෝටර් රථ ද එකතු වෙයි. මෙවන් වූ පරිශ්‍රමයක් සහ වියදමක් කරා මේ යුගයේ මේ අන්දමේ නාට්‍යයක් නිෂ්පාදනය කිරීම ඒකාකාරි ටෙලි සිතුවම් නරඹා හෙම්බත් වූ ප්‍රේක්ෂකයන්ට සතුටුදායක ආරංචියක් වනු ඇත. කලු සෙවනැල්ල සඳහා පරිගණක සජීවිකරණ තාක්ෂණය ද භාවිත කොට තිබේ. එමඟින් අපූරු ගල් අඟුරු දුම්රියක් කලු සෙවනැල්ල වෙනුවෙන් නිර්මාණය කොට ඇත. එයට අමතරව තවත් සජීවිකරණ දර්ශන රැසකින්ම මෙම ටෙලි සිතුවම සමන්විතය. සිරි පැරකුම් සිනමාපටයෙන් රංගනයට අත් පොත් තැබූ සෙනාලි ෆොන්සේකා ටෙලි සිතුවමකින් පළමුවරට දැකිය හැකි වන්නේ මෙමඟිනි. කලු සෙවනැල්ල කියන්නේ මගේ සිතේ තිබුණු සිහිනයක් සැබෑවීමක්. එංගලන්තයේ ඉදලා ලංකාවට ආවෙම මෙම ටෙලි සිතුවම වෙනුවෙන්. එහෙ ටෙලි නාට්‍ය කලාව හරිම වෙනස්. එකම රැල්ලේ නිර්මාණ කෙරෙන්නේම නැති තරම්. අපේ රටේ නම් එක් අයකු කරන දේ පසුපස බොහෝ දෙනෙක් ගොස් එවැනිම නිර්මාණනෙ කරන්න උත්සාහ කරන්නේ. මටත් ඕනෑ කළා උඩුගං බලා පීනන්න. ඒ වෑයම කොපමණ දුරකට සාර්ථක ද කියලා ප්‍රේක්ෂක ඔබ තීරණය කරන්න. කලු සෙවනැල්ල තුළින් අපි මැව්වෙ අතීත කාල වකවානුවක්. එහිදී තාත්ත්විකත්වය ගැන උපරිමයෙන් හිතලා බැලුවා. දිලුක ඒ සඳහා බෙහෙවින් මහන්සි වුණා. මං මේ නාට්‍යයෙන් පසුව තවත් නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ හැම එකක්ම වෙනස්ම ආරක් ගත් ඒවා වේවි. කලු සෙවනැල්ලේ චරිත සඳහා ඇඳුම් නිර්මාණය කළේ මං. ඉන් අතැම් ඒවා එංගලන්තයෙන් මේ වෙනුවෙන්ම ගෙන්නුවා. අති විශාල වියදමක් වැය වුණා. නමුත් නිර්මාණයේ සාර්ථකත්වය මට ඊට වඩා වටිනවා. කලු සෙවනැල්ල සංස්කරණය කිරීමෙන් අනතුරුව මං නරඹද්දී මාව වෙනමම ලෝකෙක තනි වුණා. අප රූගත කළ නාට්‍යය ද මේ කියලා හිතුණා. එච්චරටම ඒක ඉතාමත් විචිත්‍රවත්. එමෙන්ම මේ සඳහා සහාය දුන් නළු නිළියන්, නිෂ්පාදන කණ්ඩායමේ හැමෝටම තුති පුදනවා මාසයක් තිස්සේ සීතලේ කලු සෙවනැල්ල වෙනුවෙන් මහන්සි වූණාට.
ඒ සැන්ඩ්‍රාගේ අදහස් කිහිපයක්ය. අවසන් කොට කලු සෙවනැල්ලේ නළු නිළියන් මෙසේ සඳහන්
කරන්නෙමු. සමනලී ෆොන්සේකා - මර්ලි නොහොත් කලු සෙවනැල්ල ජීවන් කුමාරණතුංග - වොට්සන් මොරින් චාරුණී - එලිසබෙත් රොෂාන් රණවන - ආතර් ඩියෝනි හිමාලි සිරිවර්ධන - නටාෂා ක්ලීටස් මෙන්ඩිස් - සැමුවෙල් මනෝහාරි විමලතුංග - සැමුවෙල් බිරිය සෙනාලි ෆොන්සේකා - එමලි රොහානි වීරසිංහ සහ හේමන්ත ප්‍රසාද් - එමලිගෙ මව්පියෝ නිරෝෂන් විජේසිංහ - මර්ලිගේ පෙම්වතා මල්කාන්ති ජයසිංහ - ලුසියා සුනිල් ප්‍රේමකුමාර - රෝවර් පවිත්‍රා වික්‍රමසිංහ සහ රෝහිත මාන්නගේ - ආතර්ට නවාතැන් දෙන යුවල ඩිනක්ෂි ප්‍රියසාද් - ආතර්ගේ නැගනිය සුදර්ශි ගැලනිගම - ආතර්ගේ මව
|