වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




සේමිණි නඩුව ඉල්ලා අස් කර ගනී

සේමිණි නඩුව ඉල්ලා අස් කර ගනී

ජීවිතය කියන්නේ ප්‍රශ්න වැලකට. අපි හැමෝම වෙහෙසෙන්නේ පුළු පුළුවන් විදිහට ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න. කොච්චර උත්සාහ කළත් සමහර ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ අපට ඕනෑ විදිහට, අපට ඕනෑ වෙලාවට නෙවෙයි. ඒත් ඕනෑම ප්‍රශ්නයකට, ගැටලුවකට සාධාරණ පිළිතුරක් දෙන්න කාලයට පුළුවන්.


දමිතයි, සේමිණියි අතර ඇතිවුණ ආරාවුල ටිකෙන් ටික දුර ගිහින් අන්තිමට නතර වුණේ උසාවියේ. මුළු රටටම ඒක රහසක් නෙවෙයි. පසුගිය කාලේ මාධ්‍ය මඟින් අපට වැඩිපුර අහන්න, දකින්න ලැබුණේ ඔවුන්ගේ රඟපෑම් ගැන නෙවෙයි, මේ ආරවුල ගැන. තමන් හරිය, නිවැරදිය කියන තැන ඉඳන් තමයි මේ දෙදෙනාම එකිනෙකාට ඇඟිල්ල දිගු කළේ.

 

මේ නඩුවේ පැමිණිලිකාරිය වුණේ සේමිණි. ඇය දමිතාගෙන් කෝටි පහක වන්දියක් ඉල්ලා නඩු මගට බැස්සේ දමිතා ඇයට අපහාස කළා කියලයි. දමිතත් නිකං හිටියේ නෑ. ඇය සේමිණිගෙන් කෝටි දහයක වන්දියක් ඉල්ලා නීතිය හමුවට ගියා.

 

ඒත් අපිට අද කියන්න තියෙන්නේ ඊට වඩා වෙනස් කතාවක්. ඒ තමයි මේ නඩුවේ මුල් පැමිණිලිකාරිය වූ සේමිණි විසින්ම ඉකුත් 14 වැනිදා තම නඩුව ඉල්ලා අස් කරගත් පුවත.

සත්‍ය ජය ගන්නා බව දැන සිටියා - දමිතා

* මොකක්ද මේ කතාව?

ඔක්තෝබර් පළමුවැනිදාට තමයි මේ නඩුව විභාග වෙන්න තිබුණේ. ඒත් දෙපාර්ශවයේම එකඟතාව මත එය යළි විභාග කළේ ඔක්තෝබර් 14 වැනිදා. ඒ කියන්නේ පෙරේදා. එතනදි සේමිණි එයාගේ නීතිඥයන් මඟින් උසාවියට දැනුම් දුන්නා මේ නඩුව ඉල්ලා අස් කරගත් බව. මගේ නීතිඥයන් මඟින් එය මට දැනුම් දුන්නා.

* මොකද හිතුණේ ඇගේ ඒ තීරණය ගැන?

එයා දාපු නඩුව එයාම ඉල්ලා අස් කර ගත්තා. රටම, ලෝකෙම දැනගන්න ඉස්සර වෙලා මනුෂ්‍යයින් විදිහට මේක බේර ගන්න මම කතා කළානේ. මම නෙවෙයිනේ ඉස්සර වෙලා නීතියේ පිළිසරණ හොයාගෙන ගියේ. එදා ඒ විදිහට සාමකාමීව මේක විසඳගන්න සේමිණි කැමැති වුණා නම් මේ ප්‍රශ්න මොකුත් ඇති වෙන්නේ නෑනේ. මට නැතිව තිබුණේ නඩුවක් විතරයිනේ. අපරාදේ කියන්න බෑ මේ සේමිණි එකත් කරලා දුන්නා.

* ආවේගයෙන් ද, කේන්තියෙන් ද ඔය කතා කරන්නේ?

නෑ. මගේ හිතේ කා එක්කවත් තරහක් නෑ. කාටවත් වෛර කරන්නෙත් නෑ.

* නමුත් ඔයත් සේමිණීට එරෙහිව නඩු මගට බැස්සා?

එයා මුලින්ම මට නඩුවක් දැම්ම නිසයි මම ඒ වගේ දෙයක් කළේ. නඩු මගට බැස්ස කෙනෙක් එක්ක අයියේ ඒක විසඳ ගන්න වෙන්නෙත් ඒ විදිහටමනේ. ඒකයි මම එහෙම කළේ. ඒ නිසා එයාගේ ක්‍රමේට මමත් ගියා. මම හැමදාම කියපු දෙයක් තමයි මට කා එක්කවත් තරගයක් නෑ කියලා. ඒත් එයා මට කිව්වනේ මම දන ගාගෙන බඩ ගාගෙන ඇවිත් සමාව ගන්න ඕනෑයි කියලා. මට ඕනෑ නෑ වංසේ කබල් ගා ගන්න. නමුත් හෘද සාක්ෂිය තමයි ජය ගන්නේ. ඇත්ත තමා ජය ගන්නේ.

* මේ වැඩේ මේ විදිහට සිද්ධ වුණ එක ඔයාගේ ජයග්‍රහණයක් විදිහටද හිතන්නේ?

නඩුවක් ගොනු කරපු කෙනෙක් ඒ නඩුව ඉල්ලා අස් කර ගන්නේ ඇයි? මෙච්චර දුරක් නඩුව අරගෙන ඇවිත් ඇයි එතනින් එහාට ගෙනි යන්නේ නැත්තේ. මේ ක්ෂේත්‍රයේ ඉන්න හැමෝටම මේවා හොඳ පාඩම්. කවුරුවත් මෙවැනි තත්ත්වයකට වැටෙන්න එපා. ඕනෑ දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්. අපි මනුෂ්‍යයොනේ අයියා. ඒක තමයි වැදගත් වෙන්නේ.

* හරි . . . ඔයා දැන් සේමිණීට විරුද්ධව දාපු නඩුවට මොකද වෙන්නේ?

සේමිණි නඩුව ඉල්ලා අස් කර ගන්න තීරණය දැනුම් දුන්නාට පස්සේ මගේ නීතිඥයෝ ඇහුවා මොකද කරන්නේ කියලා. මට කා එක්කවත් නඩු කියන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑනේ. ඒ නිසා මම මගේ නීතිඥයන්ට උපදෙස් දුන්නා එදාම මගේ නඩුවත් ඉල්ලා අස් කර ගන්න කියලා.

* දැන් පරණ තරහ මරහා ඉවරයි?

කොහොමත් මගේ තරහක් තිබුණේ නෑ. වැඩි යාළුකමකුත් නෑනේ තිබුණේ.

* නෑ, මම ඇහුවේ මේ ප්‍රශ්නේ දැන් සමථයකට පත් වුණා නේද කියලයි?

සමථයකට පත්වීමක් සිදු වුණේ නෑ. එයා දාපු නඩුව එයා ඉල්ලා අස් කර ගත්තා. මේ සියල්ල අවබෝධ වෙලා එහෙම තීරණයක් ගන්න ඇති කියලා මම හිතනවා. දිගටම මේ නඩුව ඇදගෙන ගියත් කවදා හරි නීතියේ පිළිසරණක්, සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මම එදා ඉඳලම හිතුවා. ඒ සාධාරණය පැමිණිල්ල විසින්ම ඉෂ්ට කරලා දුන්නා.

මේක අධිකරණ තීන්දුවක් නෙවේ - සේමිණි

* පරාජය බාර ගත්තා වගේ?

නෑ අසංක අයියා, එහෙම දෙයක් නෙවේ. ක්ෂේත්‍රයේ ගොඩක් ප්‍රවීණයෝ උපදෙස් දුන්නා මේක නතර කරන්න කියලා. මාධ්‍යය මඟිනුත් එහෙම ඉල්ලා සිටියා. මම කාර්යබහුල ජීවිතයක් ගත කරන නිසා උසාවි යන්න, එන්නත් අපහසුයි. කවුරුත් මැරුණේ නෑනේ. ඒ නිසා පරණ දේවල් අමතක කරන්න තීරණය කළා.

* සේමිණිට හිතෙන්නේ නැද්ද මේ තීරණය ගන්න තිබුණේ මීට කලින් කියලා?

නෑ, නෑ, එහෙම හිතෙන්නේ නෑ. මෙහෙමනේ ඒ වෙලාවේ කරන්න ඕනෑයි කියලා හිතුණ දේ තමයි මම කළේ. දැන් ඒ ගැන මම පොඩ්ඩක්වත් පසු තැවෙන්නේ නෑ. මට සිදු වුණ අසාධාරණයට සාධාරණයක් බලාපොරොත්තුවෙනුයි මම නීතිය හමුවට ගියේ. මට කරපු අපහාසයක් හින්දනේ මම නඩු දැම්මේ. ඒත් කාලයක් යනකොට අපිට තේරෙනවනේ වඩා හරි දේ මොකක්ද කියලා.

* ඒ කියන්නේ එදා කරපු දේට වඩා අද කරපු දේ නිවැරදියි කියලාද?

එදා ඒ වෙලාවේ කළ යුතු දෙය මම කලේ. මේ තීරණය ගත්තේ අද පවතින තත්ත්වයට සාපේක්ෂව. මොකද මාධ්‍ය මගිනුත් නිරන්තරයෙන් මේ සිද්ධිය වාර්තා කරන්න බලාගෙන හිටියා. ආයේ මඩ නා ගැනිල්ලක් නේ වෙන්නේ. ඉතිං ඕක මගේ සැමියා, පවුලේ අය, ක්ෂේත්‍රයේ හිතවතුන් මට තේරුම් කරලා දුන්නා. ඒ නිසයි මෙහෙම තීරණයකට ආවේ.

* කවුද ක්ෂේත්‍රයේ ඔයාට මේ වැඩේ අතෑරලා දාන්න කියපු අය?

මාලිනී අක්කා, ස්වර්ණා අක්කා. ශ්‍රියානි අක්කා, වසන්ති චතුරාණි ඒ වගේ ගොඩක් ප්‍රවීණයෝ. තව මගේ සමකාලීන මිතුරියන්. ඒ කියූ දේවල් මගේ හදවතට දැනුණ නිසා තමයි මම මේ තීරණය ගත්තේ. මගේ හිතට එකඟව.

* දැන් සේමිණි කිව්වනේ දමිතා ඔයා ගාවට බඩ ගාගෙන ඇවිත්, දණ ගාගෙන ඇවිත් සමාව ඉල්ලන්න ඕනෑයි කියලා?

ඔය දන ගාගෙන බඩ ගාගෙන එන්න ඕනෑ කියන කතාව මම කියපු එකක් නෙවෙයි. කවුරුවත් දන ගාගෙන මා ගාවට එන්න ඕනැයි කියන මානසිකත්වයේ මම නෑ. ඒක මේ එක්තරා පුවත්පතක මාධ්‍යවේදියකු ගොතපු කතාවක්. මෙතන කවුරුත් මැරුණේ නෑනේ. ඒක නිසා මම මේක අතෑරලා දැම්මා.

* දමිතා කියනවා සත්‍යය ජය ගන්නා බව එයා දැනගෙන හිටියා කියලා?

මේක සත්‍ය ජය ගැනීමක් වෙන්නේ කොහොමද? ඕනෑ කෙනෙකුට තේරෙනවනේ මේක අධිකරණයෙන් දුන්න තීන්දුවක් නෙවෙයි කියලා. මේක මගේ මොකක් හරි හොඳ ගුණාංගයක් තිබිලා ගත්ත තීරණයක්. මීළඟ නඩු දිනේ තිබුණෙ ඔක්තෝබර් පළමු වැනිදා. දෙපැත්තෙම නීතිඥවරුන් කතාබහ කරලා ඔක්තෝබර් 14 දක්වා ඒක දීර්ඝ කරගත්තා. මමනේ ඉස්සර වෙලා කේස් එක ෆයිල් කළේ. එතකොට මම ඒක ඉල්ලා අස්කර ගත්තාම දමිතාත් එයාගේ කවුන්ටර් ෆයිල් එක ඉවත් කර ගත්තා. එයා මගේ තීරණයට එකඟ නැත්නම් ඇයි කවුන්ටර් ෆයිල් එක අයින් කර ගත්තෙ. ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. ඒත් කවුද හරි. කියලා මිනිස්සු තීරණය කරයි.

* මේ තීරණය ගැන ඔබේ සමීපතමයන් මොනවගේ ප්‍රතිචාරයක්ද දැක්වූවේ?

හැමෝම වගේ මට කතා කළා. එය අගය කළා. මොකද මට සැමියෙක්, දරුවෙක් ඉන්නවා. රැක ගන්න පවුලක් තියෙනවා. ඒ ගොල්ලන්ගේ ඉල්ලීම මට අහක දාන්න බෑ. මේක නඩු තීන්දුවකින් ගත්ත තීරණයක් නෙවේ. මට අවශ්‍ය නිසා නඩුව ඉල්ලා අස්කර ගත්තා. එච්චරයි.

* දැන් ඉදිරියේදී දමිතා එක්ක ක්ෂේත්‍රයේ එකට වැඩ කරන්න අවස්ථාව ලැබෙයිනේ. මොන විදිහටද ඒ අවස්ථාවන්ට මුහුණ දෙන්නේ?

මේ නඩුව අධිකරණයේ විභාග වෙද්දී පවා අපි කිව්වෙ අපට එකට වැඩ කරන්න පුළුවන් කියලා. මොකද අපි වෘත්තීය නිළියො නම් රඟපාන්න ගියාම එහෙම තරහා මරහා තියෙන්න විදිහක් නෑනේ. ඒ නිසා එයත් එක්ක මම එදා රඟපෑවා වගේම අදත් රඟපාන්න පුළුවන්. ඒ වගේම හෙටත් පුළුවන්.