වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




දෙන්නම් කාසි නිසා මට සිනමාව එපා වුණා

දෙන්නම් කාසි නිසා මට සිනමාව එපා වුණා

සුසිල් පෙරේරා

කැලණිය ගුරුකුල විදුහල් මෑණියන්ගේ සෙවනේ හැදී වැඩෙන ශිෂ්‍යයකු වූ ඔහු වඩාත් ප්‍රිය කළේ කලා ක්ෂේත්‍රයටය. විද්‍යාලයේ කලා නිර්මාණයන්හි පෙරමුණ ගත් ඔහු ගුරුකුල වේදිකාවේ රංගන අභිෂේක ලබනුයේ ගුරු දෙගුරුන්ගේ නොමඳ ප්‍රශංසා ලබමිනි. 1974 දී සුනිල් රෝහණ නාට්‍යවේදියාගේ ‘හයවෙනියා’ වේදිකා නාට්‍යය නිර්මාණය හරහා ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙන මේ ගුරුකුල ශිෂ්‍යයා කටුස්සෝ නමින් නිර්මාණය වන නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා දුටු රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු බම්මන්නෝ වේදිකා නාට්‍යයට එක් කර ගත්තේ සහජ හැකියාවන් ඇස් පනාපිටම දුටු හෙයිනි. නාට්‍යකරණය පිළිබඳ දැඩි උනන්දුවකින් පසු වූ මේ ශිෂ්‍යයා එවක ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාවට එක් වනුයේ තමන්ගේ රංගන කුසලතාවයන් තව තවත් ඔපමට්ටම් කර ගන්නටය. එවක වේදිකා ගතවන කුමක් හෝ නාට්‍යයක් බැලීමේ දැඩි ආශාවකින් පසු වූ ඔහු වේිදිකාවට එන සෑම නාට්‍යයක්ම පාහේ නරඹනු ලැබුවේ එයට තිබූ දැඩි ආශාව නිසාමය.

1976 දී තරුණ සේවා සභාවේ නාට්‍ය පාඨමාලාවට ගුරුවරයකු ලෙස සහභාගි වන සයිමන් නවගත්තේගම නාට්‍ය ආචාර්යවරයා මේ ශිෂ්‍යයාට හමු වන්නේ දෛවෝපගත ලෙසින්ය. ඒ හමුවීමත් සමඟ මේ ගුරුකුල ශිෂ්‍යාගේ හැකියාවන් පිළිබඳ පැහැදෙන නවගත්තේගම ඔහුට ආරාධනා කරනුයේ එවක ඔහුගේ සුබ සහ යස නාට්‍යයට රංගනයෙන් එක්වන ලෙස ආරාධනයක් ද කරමිනි.

ඒ වන විටත් මේ ගුරුකුල ශිෂ්‍යයා කීපවිටක් නව රඟහලේ පොරකමින් සුබ සහ යස නරඹා තිබුණ නිසාවෙන් නවගත්තේගමගේ ආරාධනයට එක පයින් කැමැති විය. එය ඔහුගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය විය. එදා ගුරුකුලයෙන් බිහි වූ මේ ශිෂ්‍යයා අන් කවරකු නොව සුසිල් පෙරේරාය. වේදිකාව, සිනමාව, පුංචි තිරය තුළින් රංගනයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන මේ සොඳුරු කලාකාරයා සමග කතාබස් කරමු.

මේ දවස්වල කලා කටයුතු කොහොමද?

නිහාල් ප්‍රනාන්දුගේ කුලැත්තියෝ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වල නියැලිලා ඉන්නවා.

මොන වගේ චරිතයක් ද රඟපාන්නේ?

ආරච්චිලගේ චරිතයක්. මම ජාතික රූපවාහිනියෙන් විකාශය වන මුල් කතා මාලාවට අපේ රටේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පියෙකු වූ සාර්ලිස් මාස්ටර්ගේ චරිතය රඟපෑවා. ඊට අමතරව සිත නිවන කතා කීපයකටත් දායක වුණා.

මේ දවස්වල ඔබ රංගනයෙන් දායක වූ චිත්‍රපටයකුත් තිරගත වෙනවානේ?

ඇහැලේපොල කුමාරිහාමි. මම මේ චිත්‍රපටයේ සබරගමුවේ කැරලි නායකයා කලවාන කියන පුද්ගලයාට රංගනයෙන් දායක වෙනවා.

සයිමන් නවගත්තේගම සුබ සහ යස නාට්‍ය නිර්මාණයෙන් ඔබගේ කලා ජීවිතයේ පෙරළියක් කළේ කොහොමද?

සුබ සහ යස නාට්‍යයට මම සම්බන්ධ වුණේ 1976. දීඝ කියන සෙන්පතියෙයකුගේ චරිතයක් තමයි මට ලැබුණේ මේ නාට්‍යයේ. මම එක දිගට අවුරුදු විසි නමයක් රඟපෑවා. ඔය අතරෙදි මම දීඝ කියන සෙන්පතියාගේ චරිතයට අමතරව සුමිත්ත, චරක කියන සෙන්පතියන් දෙන්නටත් රඟපෑවා.

ඔය අවුරුදු 29 තුළ ඔබට සුබ චරිතය රඟපාන්නටත් ලැබුණා?

ඔව්. ඒක අහම්බෙන් වෙච්ච දෙයක්. සුබ චරිතය කළේ නිහාල් ප්‍රනාන්දු. එක දවසක් නාට්‍ය තියෙන දවසක නිහාල් ප්‍රනාන්දු අසනීප වී හිටියා. වෙන කරන්න දෙයක් නැති තැන නවගත්තේගම මට මේ චරිතය කරන්න කිව්වා. මට එහෙම කිව්වහම ඇත්තටම චකිතයක් ආවා. ඒත් එතුමන් මගේ හිත හදල බය නැතුව සුබ වෙන්න කිව්වා. මම ඒ පාර සුබ වුණා. නාට්‍ය සාර්ථකව එදා වේදිකා ගත කළා. ඊට පස්සේ ඔය කාලය තුළ කීප විටක්ම යළි යළිත් මට සුබ වෙන්න සිද්ධ වුණා.

මොන වගේ නිර්මාණවලට ද ඔබට දායක වෙන්න ලැබුණේ?

සුදු සහ කළු, අහිමි ජීවිත, සීලවතී, උරුවිසි, කමාන්ඩෝ දියසේන,උතුරේ රාහුල, දේශපාලුවා, අමල් බිසෝ, සාගරයක් මැද්දේ, රාජා හෝ මා හෝ, දූවිලි ඔය වගේ බොහෝ නාට්‍ය රැසක් වෙනුවෙන් එදා මගේ රංගනය එක් වුණා.

ඔය අතරේ ඔබ සම්මානනීය ඇගැයුමකට පවා ලක් වෙනවා නේද?

1979 දී රාජ්‍ය නාට්‍ය උළෙලේදී අහිමි ජීවිත නාට්‍යයේ රංගනය උදෙසා විශිෂ්ඨ රංගන කුසලතා සම්මානය මට හිමි වෙනවා.

මේ වන විට ඔබ වේදිකාවෙන් සමු අරගෙනද?

විල්සන් ගුණරත්නගේ චරිත හතක් හා ගිණි කිකිලි නාට්‍ය කළාට පස්සේ මම නාට්‍ය නිර්මාණවලට දායක වුණේ නැති තරම්. දැනට මම දූවිලි නාට්‍යය විතරක් වේදිකාගත වුණොත් රඟපානවා.

ඒ කියන්නේ අද නිර්මාණය වන නාට්‍ය සඳහා ඔබට ආරාධනා නෑ කියලද?

එහෙම නෙමේ. හොඳ පිටපතක් එක්ක ආරාධනයක් ලැබුණොත් සලකා බලනවා.

අද ඔබ වේදිකාව ගැන කලකිරිලද?

අද නාට්‍ය අධ්‍යක්ෂවරු හිටියට හොඳ නාට්‍ය පිටපත් නැහැ. ඒ වගේම තමයි එදා වගේ පැසුණු බුද්ධියක් තියෙන අධ්‍යක්ෂවරු අද නෑ. අද කරන්නේ නළුව එක්ක කතා කරල නාට්‍ය කරන එක.

නළුවා එක්ක කතා කරලා නාට්‍ය කරන්න නම් අධ්‍යක්ෂවරයෙක් ඕනේ නෑනේ?

ඒක තමයි මම කියන්නේ අද පැසුණු බුද්ධියක් තියෙන අධ්‍යක්ෂවරු නෑ කියලා. අද කාට හරි නාට්‍යයක් කරන්න ඕනෑ නම් ජනප්‍රිය නළුවො දෙන්නෙක් තුන් දෙනෙක් එකට එකතු කරගෙන පිටපතක් කියලා පොඩි කතාවක් ලියන් ඔය ටික මේ අය එක්ක කතා කරලා නළුවට ඕනෑ දේ නළුවා කරනවා. නමට අධ්‍යක්ෂ කියල කෙනක් ඉන්නවා.

ඔබ කියන්නේ මහ හතරබීරි කතාවක්නේ?

මම අවුරුදු හතළිහක් මේ ක්ෂේත්‍රයේ පොල් ගෑවේ නෑනේ. මමත් මේ රටේ ප්‍රධාන පෙළේ නාට්‍යකරුවන්ගේ නිර්මාණ සමඟ උරෙන් උර ගැටුණු මිනිහෙක්. ඒ අයගේ නිර්මාණවල තිබුණ හැකියාව මම අත්දුටු කෙනෙක්. ඒ අය තුළ තිබුණු පැසුණු බුද්ධිය නිර්මාණයට යොමු කරගත්ත විධිය මම අත්දැක්ක කෙනෙක්. ඒ වගේ වටපිටාවක් තුළ හිටිය මට අද කරන විජ්ජාව ගැන කවර කතාද? එදා අධ්‍යක්ෂවරු කළේ නිර්මාණයක් තුළින් නළුවො හදන එක. අද වෙන්නේ නළුවො චරිත හදන එක. අද තිරය ඇරෙන කොට ප්‍රේක්ෂකයා දන්නවා මේ අර නළුවා කියලා. එදා රඟපාලා ඉවර වුණත් ප්‍රේක්ෂකයා දන්නේ නෑ ඒ චරිතෙ කළේ කවුද කියලවත්. එදා තිබුණේ කැරැක්ටරය ඉස්සරහ, නළුවා නෙමේ. අද රඟපාන්න ගියොත් නළුව ඉස්සරහ, කැරැක්ටරය පස්සේ. එදා අධ්‍යක්ෂවරු කළේ නළුව එක්ක නාට්‍ය චරිතය ඉස්මතු කරන එක. අද නාට්‍ය මුවාවෙන් සිද්ධ වෙන්නේ අධ්‍යක්ෂවරු කියා ගන්නා අය තමන්ගේ නොදැනුවත්කම මත නාට්‍ය කියන මුවාවෙන් නළුවො හදන එක විතරයි. මෙන්න මේ කෙරුවාව නිසා අද වේදිකා නාට්‍ය අභාවයට යමින් තියෙනවා.

ඔබ බරපතළ චෝදනාවක්නේ අපේ නාට්‍ය කලාවට එල්ල කරන්නේ?

ඇත්ත කියන්න මොකටද බය වෙන්නේ. එහෙනම් මටත් පුළුවන්නේ ඔය යන පැත්තට හෝයියා කියන්න. අදටත් බැබලෙන්නේ අසූව දශකයේ නිර්මාණය වුණු නාට්‍ය නොවේද? අද නාට්‍ය කියලා එනවා යනවා. හරියට නිකන් කොත්තු රොටියක් වගේ.

ඔබ කියන කොත්තු රොටි නාට්‍ය කලාවේ නළු නිළියොත් එහෙමද?

අද තියෙන්නේ එකම නළුවො නිළියො ටිකක් දාලා නාට්‍ය කෙරුවාවක්. ඇත්තම කියනවා නම්, වේදිකාවේ හැකියාව තියෙන දක්ෂ නළුවො නිළියෝ ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.

ඒ කියන්නේ වේදිකාවේ අද ඉන්නේ සැබෑ නළුවො නෙමේ කියලද?

නාට්‍යවලට එදා තිබුණ කැප කිරීම අද නළුවො නිළියො තුළ නැහැ. අද තියෙන්නේ එදා වේල රැකගන්න උත්සාහයක්. පොකට් එක අරන් මාරුවෙන සංස්කෘතියක් තමයි අද නාට්‍ය කලාවේ තියෙන්නේ.

ඔබගේ සිනමා සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ කොහොමද?

ඒක අහම්බෙන් සිදු වන දෙයක්. නීල් රූපසිංහ අධ්‍යක්ෂණය කළ යකඩයා චිත්‍රපටයේ සටන් ශිල්පියෙක් ලෙස තමයි මම සිනමාවට එක් වන්නේ.

සිනමා සක්විතිට ගහල ඔබ සිනමාවට ආව කියන්නේ ඇත්තද?

යකඩයා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ ගාමිණී ෆොන්සේකා මහත්තයා. විජය චිත්‍රාගාරයේ තමයි ෆයිට් එක රූපගත කළේ. කොහොම හරි මම ගාමිණී මහත්තයාට ගැහුවා රිහසල් එකේදි. අන්තිමට ටේක් එකේදි එක සීන් එකකදී ගාමිණී මහත්තයා මාව උස්සල විසි කළ පාරට මගේ වැලමිට පිපිරුවා.

ඉතා අඩු චිත්‍රපට ප්‍රමාණයක් නේද ඔබ රඟපාලා තියෙන්නේ?

ජෝඩු වළලු, වීර උදාර, සුවදෙන සුවඳක්, නැවත අපි එක්වෙමු, විජය කුවේණි, ඇහැලේපොළ කුමාරිහාමි වගේ කීපයක් තමයි මම රඟපෑවේ. ඒකටත් හේතුවක් තිබුණා. දෙන්නම් කාසිවලට තමයි මම මුලදි චිත්‍රපටවල රඟපෑවේ. අන්තිමට චිත්‍රපටය රිලීස් වෙලත් පෙන්නල ඉවර වුණත් දෙන්නම් කාසි ලැබුණේ නැහැ. ඒ හින්දම මට චිත්‍රපට එපා වුණා. මට චිත්‍රපට නිෂ්පාදකයෝ තිබ්බ පොලු නිසාම මට චිත්‍රපට එපා වුණා. මෑතකදී කළ විජය – කුවේණි, ඇහැලේපොළ කුමාරිහාමි හරිම ඩීසන්. නිෂ්පාදක දෙනව කිව්ව ගාන කිව්ව දිනේම දුන්නා. ආෆ්ට රිලීස් ගැන කතා නැහැ. ඩබින් ඉවර වුණා. ඇග්‍රිමන්ට් එකේ විදියට ගාණ දුන්නා.

ටෙලි නාට්‍යවලට නේද දැන් ඔබේ වැඩි දායකත්වය?

92’ දී විජය ධර්ම ශ්‍රී කළ වාර්තා වැඩ සටහනකට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඒ එක්කම විජය ධර්මශ්‍රීගේ තිත්ත බත ටෙලි නාට්‍යයේ රඟපාන්න ලැබුණා. ඒ ඇරඹුම කස්තිරම, සඳගලතැන්න, අන්තස්වරයෝ, කළු මකරා, මොනරතැන්න, කැප්පෙටිපොළ, බොරදිය කඳුර, අටවක සඳ, මලී, සරා, ගෞතමී ආදී ටෙලි නාට්‍ය බොහොමයකට රංගනයෙන් දායක වුණා.

ඔබ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක් නේද?

83’ දී තමයි මම ගුවන් විදුලි හඬ පරීක්ෂණය සමත් වුණේ. ගුවන් විදුලි නාට්‍ය පාඨමාලාව හදාරා එයින් සමත් වුණු මම ගුවන් විදුලි රඟමඬල හරහා නාට්‍යවලට සම්බන්ධ වුණා. මම ගුවන් විදුලි නාට්‍යවලින් ඈත් වුණේ රැකියාවත් එක්ක තිබුණ අවිවේකී බව නිසයි. දවසට නාට්‍ය දෙකක් රඟපානවා. එක නාට්‍යයකට ලැබෙන්නේ රුපියල් සියයක්. එයින් රුපියල් පහක් මුද්දරයට යනවා. ඉතිරි වෙන්නේ රුපියල් අනූ පහයි. වැය කරන්න වුණ කාලයත් එක්ක ලැබුණ මුදල පුංචියි. ඒ හින්දම මම තව තවත් ගුවන් විදුලියෙන් ඈත් වුණා.

ඔබ රංගනයේ නියැලුණේ රැකියාවක් කරන ගමන්?

ඔව්. මම තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් නිලධාරියෙක් ලෙස රැකියාව කළා. 2011 දී මම අවුරුදු තිස් දෙකක් එහි සේවය කරලා විශ්‍රාම ගත්තා.

ඔබට ගෙදරින් ලැබෙන සහය කොයි වගේද?

මගේ බිරිය චම්පා පෙරේරා. ඇය තැපැල් නිලධාරිනියක් ලෙස අදටත් රාජකාරි කරනවා. මගේ කලා දිවියට ඇයගෙන් ලැබෙන සහායත් අපමණයි.