වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




අපේ සිනමාව ගැන ලියැවුණු මිළ අධිකම ග්‍රන්ථය රුපියල් 6000

අපේ සිනමාව ගැන ලියැවුණු මිළ අධිකම ග්‍රන්ථය රුපියල් 6000

ගාමිණී ෆොන්සේකා
රංගනය පිළිබඳ විමර්ශනයක් – අධ්‍යයනයක්

ධර්මජිත් පුනර්ජීව යනු මෙරට වේදිකාවේ සිටින පිරිස අතර අලුතින් සිතන්නට කැමැති මිනිසෙකි. එමෙන්ම ඔහුගේ මතවාද බොහී විට ආන්දෝලනයට ලක් විය. අලුත් පරම්පරාවකට අත්වැලක් බඳු යථාර්ථවාදී මහා සිනමා ආඛ්‍යන ප්‍රභාෂ්වර කළ නළුවාගේ ප්‍රාග්ධනය නමැති ග්‍රන්ථය ඔහු මෙරට බිහි වූ විශිෂ්ටතම නළුවා පිළිබඳ විශාල අධ්‍යයනයකට මුල පිරීමකි. මේ ඔහු සමඟ කළ සංවාදයක කොටසක් ඇසුරෙන් සැකසුනකි.

* ඔබට ගාමිණී නම් අග්‍රගණ්‍ය රූපනවේදියා මුණ ගැසෙන්නේ කොහොමද?

ඒ කතාවට දිගු ඉතිහාසයක් තියෙනවා. ඊට පරිබාහිරව යම් යම් දේ අඩු වැඩි වශයෙන් එකතු කොට එය මං මෙහෙම කියන්නම්. ධම්ම ජාගොඩයන්ගේ ශිල්ප ශාලිකාවේ මං ශිෂ්‍යයෙක්ව හිටියා. ඒ වන විට එය පවත්වාගෙන ගියේ බිරිය මානෙල් ජාගොඩ. මට එම කණ්ඩායමේ සම්බන්ධිකරණ තනතුරක් ලැබුණා. ටික කලෙකින් අප ශාලිකාවට වරින්වර ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ගෙන්වලා ඔවුන්ගේ අත්දැකීම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ බෙදා ගත්තා. ඔන්න ඔය අවස්ථාවට මිස්ට ෆොන්සේකාවත් ගෙන්වන්න මට දැඩි වුවමනාවක් තිබුණා. මම මේ කියන්නේ අනූව දශකයේ මැද විතර.

එතකොටත් ඔහු නියෝජ්‍ය කතානායක. අපේ වැඩේටත් ඔහුව සම්බන්ධ කර ගැනීම ඉතාම වටින නිසා ලියුම් හරහා මිස්ට ෆොන්සේකාට මේ ගැන පැහැදිලි කරන්න වෙලාවක් ඉල්ලා සිටියා. ප්‍රතිචාර කනගාටුදායකයි. මිස්ට ෆොන්සේකා කාර්යබහුලකම ඔහුගේ ලේකම්වරයෙක් මඟින් අපට දන්වලා වෙලාවක් නැතැයි කීවා. අප උත්සාහය අත හැරියේ නැහැ. දුරකතන ඇමතුම් දුන්නා. ඊට පසුව මං විතරක් නෙවෙයි අනෝමා ජනාදරී මේ කාර්යයට හවුල් වෙලා හිටියා. ඒ වන විට ඇය ජාත්‍යන්තර සම්මානයක් දිනාගෙන සිටියා. දින ගණනක් ගත වුණා.

වැඩේ හරි යන්නෙම නැති පාටයි. ඔන්න එක දවසක් පාන්දර අනෝමාගෙන් මට දුරකතන ඇමතුමක් ආවා. ඇය කෑගහලා කිව්වා එදින උදේ නවයට මිස්ට ෆොන්සේකා එන්න කිව්වා කියලා. ඔහු නියම වෙලාවට වැඩ කරන පුද්ගලයෙක්. ඉතින් අපි වෙලාවටත් කලින් ඔහුගේ නිවසට ගියා. එදින මගේ දිහා හැරිලවත් බැලුවේ නැහැ. අනෝමත් එක්ක කතා කර කරයි හිටියේ.

මොකද ඇය එතකොට තනි තටුවෙන් පියාඹන්න සඳහා ජාත්‍යන්තර සම්මානයක් දිනලයි තිබුණේ. ඇය අපේ ශිල්ප ශාලිකාවේ වැඩේ ගැන කතා කළ නමුත් මිස්ටර් ෆොන්සේකා ඒ වන විටත් නළු නිළියෝ සම්බන්ධ කරගෙන ශාස්ත්‍රීය වැඩසටහනක් කිරීම කාලය නාස්ති කිරීමක් යන මතයක හිටියේ. එහෙත් ඔහුගේ පරිණත අත්දැකීම් එක්ක ඔහුගේ වටිනා අදහස් ශිල්ප ශාලිකාව් සිසුන්ට ලබාදෙන්න දැඩි පරිශ්‍රමයක් අප ගත්තා. අන්තිමේ ඔහු තමන්ගේ අත්දැකීම් අපත් සමඟ පවසන්න එකඟ වුණා. ඔහුගේ නිවසින් එද්දී මං අතට අත දුන්නා. මගෙත් එක්ක වැඩිය කතා නොකළාට ඒ අවස්ථාවේදී නම් අතේ ඇට රිදෙන්නම අතට අත දුන්නා. ඊළඟට අප ඇවිත් ඉතාම උසස් විදියට ඔහුගේ අදහස් පටිගත කළා. අපට ප්‍රශ්න අහන්න තිබුණේ නෑ. ඔහුගේ බැඳීම කොහොමද කියනවා නම් ඔහුට මේ අදහස් ආවම දුරකතනයෙන් අපට කරුණු පැහැදිලි කළා.

* ඔහුගේ ඇමතීම ශාලිකාවේ සිසුන්ට කොහොමද වැදගත් වුණේ?

මිස්ටර් ෆොන්සේකා පළමුව කිව්වේ ‘මං මේ ක්ෂේත්‍රයේ ස්ථාවර තැනක ඉන්නේ බෙහෙවින් කැප කිරීම් කළ නිසා’ කියලයි. ඒ අදහස්වලින් අප බොහෝ දේ ඉගෙන ගත්තා. ඔහු රඟපාපු චරිත ගැන කතා කළා. අවසානයේ සිද්ධ වුණේ මොකක් ද දන්නවද, මිස්ටර් ෆොන්සේකාම කිව්වා අප මේ වෑයම නොනවත්වා ඉදිරියට ගෙනි යමු කියලා.

* ඔය කාලයේදීමද ඔබ ඔහු හා වඩාත් සමීප වන්නේ?

ඔව්. මා ඔහුගේ ගති ගුණවලට බොහොම කැමැතියි. එතකොට අපි අංකුර කලාකරුවොනෙ. එහෙව් තත්ත්වයක් මත මිස්ට ෆොන්සේකා වගේ කෙනෙක් ළඟින්ම ඇසුරු කරන්න ලැබීම පෙර පිනක්. ඔහුට තිබුණේ අමුතු ගතිගුණ. ගෙදරට අපව ගෙන්න ගන්න ඕන වුණොත් කවදාවත් කියන්නේ නැහැ එන්න කියලා. ඔහු හරිම රසවත්ව මෙන්න මෙහෙම කියනවා. ‘අපේ වත්තෙ රඹුටන් ගහේ ගෙඩි පිරිලා. කන්න එහෙම ආසාවක් නැද්ද, ඒවා අපරාදෙ ලේන්නු කාලා යනවා. අද හවසට මම කට්ලට් හදනවා, රෝල්ස් හදනවා. ඒවා ඔක්කොම තමුසෙලට. ඔහු මෙච්චර ළෙංගතුව කතා කරද්දී අප යනවා නෙවෙයි යැවෙනවා. ඔහු අන්තිම කාලේ හරිම සංවේදී චරිතයක් වුණ. ඔහුට තේරුණා ජීවිතේ නිමා වෙනවා කියලා. තව අවුරුද්දයි දෙකයි මං ඉන්නේ යනුවෙන් අනන්තවත් ප්‍රකාශ කළා. අපටත් දුකයි ඔහු එහෙම කියද්දී.

* ඔබේ මේ වටිනා ග්‍රන්ථය ඔහු මිය යන්නට ප්‍රථම එළි දැක් වූවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

මං ඔය පැනයට උදාහරණයක් සමගින්ම පිළිතුරු දෙන්නම්. රෝලන්ඩ් පෙරේරා මිස්ට ෆොන්සේකා ගැන පොතක් ලියලා ඔහුට පිරිනැමුව වෙලාවේ එහි සතුටට මිස්ට ෆොන්සේකා හරියටම විනාඩි දොළහක් රෝලන්ඩ්ව බදාගෙන හිටියලු. මගේ මිත්‍ර නාරද නිශ්ශංක කිව්වා මේ පොත මිස්ට ෆොන්සේකාට දුන්නා නම් එවලේ එය දැකලා සතුටට ඔහු මියැදෙයි කියලා. මට හරියට දුකයි මෙච්චර මහන්සියෙන් මා නිර්මාණය කළ මිස්ට ෆොන්සේකාගේ ප්‍රාග් ධනය ඔහුට පිරිනමන්න බැරි වෙච්ච එකට. මෙය මං ඔහුගේ අවසන් මාස තුන ඇතුළත සාකච්ඡා කරපු කරුණුවලිනුයි මා රචනා කළේ.

* ගමිණී අප අතරින් නික්ම ගිය පසු බොහෝ දෙනෙකු ඔහුව අමතක කළා. එහෙත් ඔබ ඔහුගේ දසවැනි ගුණානුස්මරණය දා ඔහු වෙනුවෙන් මෙම සුවිශේෂී ග්‍රන්ථය එළි දැක්වූවා. කොහොමද එහෙම වුණේ?

ගාමිණී ෆොන්සේකා නම් මිනිසා මිනිස් වෙසින් දුටුවා නම් ඔහුව කවදාවත් අත හැරෙන්නේ නැහැ. එදා මිස්ට ෆොන්සේකා සමඟ හිටපු බොහෝ දෙනෙක් වානිජ පරමාර්ථ මත ඔහු මියැදුනත් සමඟ ඔහුව අමතක කළා. ඇතැම් අය මිස්ට ෆොන්සේකාව හැඳින්නුවේ මිනිස් වෙසින් ආව දෙවියෙක් හැටියට. එබැවින් ඒ දෙවියා ගැන හිතුවා මිසක ඔහු තුළ හිටපු මිනිසාව දැක්කේ නැහැ. අපි මිස්ට ෆොන්සේකා ගැන දැකලා අහලා තිබුණේ ජනමාධ්‍ය හරහා. එබැවින් ඔහු ගැන සීමිත තොරතුරු ප්‍රමාණයකුයි ගලා ආවේ. නමුත් ඔහු පිටුපස සිටිය ශාස්ත්‍රඥයා, විශ්ලේශකයාව දුටුවේ නැති තරම්. ඔහු වගේම ඔහු තුළ සිටි අයත් විශිෂ්ටයි.

* ගාමිණී තම සහෝදර ශිල්පීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සටන් වැදි අයෙක්. මේ පිළිබඳ ඔබේ අදහස පැහැදිලි කළොත්?

හරිම පුදුමාකාරයි. ඇතැම් අවස්ථාවල චරිතයන් සඳහා ඔහු ඉතා වැඩි මුදලක් ඉල්ලුවා. ඒ සල්ලිවලට තියෙන කෑදරකමට නෙවෙයි. ඔහු වැඩිපුර මුදලක් ගත්තම ඔහුත් සමග රඟපාන නළු නිළියන්ටත් ඒ මට්ටමට නැති වුණත් සැලකිය යුතු වටිනාකමක් ලබා ගත හැකියි යන මතයේ ඔහු හිටියා. ඒක එහෙම්මම සිද්ධ වුණා. ඔහුට පුළුවන්කමක් තිබුණා තමන් සමඟ කුමන නිළියක් රඟපෑවත් ඒ් චිත්‍රපටය දින සියයක් ප්‍රදර්ශනය කරවන්න. ඒ හින්ද ඔහුගේ චිත්‍රපටවල සිටි නිළියන් අතිශය ජනප්‍රිය වුණා. ෆරිනාලායි, මානෙල් වානගුරු, ජෙනීටා සමරවීර ඊට උදාහරණ. මිස්ට ෆොන්සේකාට පුළුවන් සිනමාත්මක කැරැල්ලක් ගොඩ නගන්න. ඔහු ඒක කරලා පෙන්නුවා.

* ගාමිණී තමන්ගේ අනන්‍යතාවය ගොඩ නඟා ගත්තේ බොහොම අපූරුවට. ඔබේ දෘෂ්ඨියෙන් බලන කළ එය විස්තර කරන්නේ කෙසේද”?

මිස්ට ෆොන්සේකා නළුවකු වශයෙන් ඉස්මතු වන්නේ සන්දේශය හරහා. ඔහු නළුකමට කසකැවුණු පුද්ගලයෙක්. සන්දේශය චිත්‍රපටයේ ඇතැම් දර්ශනවලදී ඔහුට තිබුණේ නිකම් පෙනී සිටින්න. ඒත් ඔහු එය පවා තමන්ගේ දේවල් එකතු කරගෙන කළා. එහෙයින් සන්දේශය තමන්ගේ ටර්නිං පොයින්ට් එක කරගගන්න පුළුවන් වුණා. ඔහු රංගනයේදී කළ නොහැකි දේවල් නැහැ කියලත් ඔහු එමඟින් ඔප්පු කළා.

* ගාමිණී ෆොන්සේකා තමන්ගේ ප්‍රතිරූපය මත හුදකලා වෙච්ච අයෙක්. හරියට සිංහ කූඩුවෙන් එළියට නොගිය සිංහයෙක් වගේ. ඒක ඔහු විසින් කළ රංගනයක් ද නැත්නම් යථාර්ථයද?

මිස්ට ෆොන්සේකා කොයි දේ කළෙත් පදනමක් යටතේ. අනික ඔහුට ක්ෂේත්‍රය පිළිබඳ මහා දැනුමක් තිබුණේ. අනෙක් නළුවන් දේශපාලඥයින් පසුපස යද්දී දේශපාලඥයින් ඔහු සොයා ආවා. දමිත් වරෙක කියලා තියෙනවා ඔහුට තම පියාව හමුවන්නත් ඇපොයිමන්ට් දාන්න වුණා කියලා. ඒ ඔහු ලොකුකමට කළ දෙයක් නොවෙයි. හුදකලාව ජීවත්වීමේ රටාව ඔහු පුද්ගලික අනන්‍යතාවයක් කර ගත්තා. ඒ අනන්‍යතාවය මත ජීවත්වනවා කියන්නේ කසයක් අරගෙන තමුන්ට තමුන්ටම තලා ගන්නවා වගෙයි. ඔහු නිධානය වගේ විශිෂ්ට චරිත කළා. ඒ චරිත ගොඩ නගා ගත්තේ ස්වයං අධ්‍යයනයකින්. එය කරන්න විවේක බුද්ධිය අවශ්‍යයි. ඒකයි ඔහු තනි වුණේ.

* ඔබ ගාමිණී පිළිබඳ රචනා කළ ග්‍රන්ථය ඉතාම මිල අධිකයි. සාමාන්‍ය කෙනෙකුට දරන්න බැරි තරම්?

මෙය මීටත් වඩා මිල කරලයි තිබුණේ. නමුත් තවත් අඩු කළා පුළුවන් විදියට. මෙහි මිස්ටර් ෆොන්සේකාව සිතුවම් ගත කොට තිබෙනවා. ඒවා ඇන්දේ ජනක රත්නායක. ඔහු බෙහෙවින් මහන්සි වුණා ඒ වෙනුවෙන්. මොකද මං මිස්ටර් ෆොන්සේකාගේ පින්තූරයක් දිලා මේක චිත්‍රයක් විදිහට ඇඳලා දෙන්න කියලා නෙවෙයි කිව්වේ. මගේ මනසේ මිස්ටර් ෆොන්සේකාව ඇඳුන විදිහ කියලා එයයි සිතුවමකට නඟන්න කිව්වේ. මෙහි රචකයා මං වුණාට මින් මම ඉවත් වෙලා ඉන්නේ.

මගේ අදහස් නොව මිස්ටර් ෆොන්සේකාගේ සිත තමයි පොත කියවන කෙනා කියවන්නේ. ඒ හින්දා ඔහුට ළෙංගතු අයෙක් කීය වුණත් මෙය මිලට ගනීවි. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මෙහි පිටපත් දහයක් විකිනුණා. එයම මට ප්‍රමාණවත්. කිසියම් කෙනෙක් හෝ ඉන්නවා නම් මෙය එක පාර මුදල් දීලා ගන්න බැරි, ඔවුන් මට කතා කරන්න. එතකොට මාසිකව පන්සිය ගානෙ හරි ගෙවලා මෙය ගෙනියන්න මම ඉඩ සලස්වලා දෙන්නම්. මට තවමත් සියුම් කනගාටුවක් තිබෙනවා මිස්ටර් ෆොන්සේකාට මෙය බලන්න බැරි වීම ගැන. එහෙම වුණා නම් ලංකාවේ සතුටින්ම ඉන්න මිනිසා මම වේවි.