වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 16 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

තනි මිනිසෙක්ගේ හමුදාව කමාන්ඩෝ (COMMANDO)

ගමන් ගත් හෙලිකොප්ටර් යානය චීන දේශ සීමාවේදී කඩා වැටීම නිසා අත් අඩංගුවට පත් වන ඉන්දීය හමුදාවේ කමාන්ඩෝ නිලධාරියකු ඔවුන්ගෙන් පළා යෑමේදී ඇති වන ත්‍රාසජනක සිදුවීම් සමූහයක් වටා කමාන්ඩෝ නම් තෙළිඟු චිත්‍රපටය නිර්මාණය වී ඇත.

දිලිප් ගෝෂ් අධ්‍යක්ෂණය කළ කමාන්ඩෝ විපුල් ෂා ගේ නිෂ්පාදනයකි.

විද්යුත් ජට්වාල්, ජයිදීප් අගල්වට් සමඟ හඳුන්වා දෙන පූජා චොප්රා කමාන්ඩෝ සඳහා රංගනයෙන් දායක වී ඇත.

ස්ටීවන් සීගල් ගේ නවතම රංගනය අ ගුඩ් මෑන් (A GOOD MAN)

මහල් නිවාස සංකීර්ණයක ජීවත් වන ඇලෙක්සැන්ඩර් කඩවසම් මිනිසෙකි. ඔහු විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු වන අතර තම මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වන අසල්වැසි පවුලකට සිදුවන බලපෑමකදී ඔහු චීන සහ රුසියානු අවිගත් කල්ලි දෙකක් සමඟ මුහුණට මුහුණ සටන් කිරීම අරඹයි.

ත්‍රාසජනක සටන් ඇතුළත් ක්‍රියාදාම චිත්‍රපටයක් වන අ ගුඩ් මෑන් සඳහා රංගනයෙන් දායක වන්නේ ලෝ ප්‍රකට ක්‍රියාදාම නළුවකු වන ස්ටීවන් සීගල්ය. අනිකුත් චරිත සඳහා රොස් බලකි, ට්‍රිසිමා, ඉව්ලියා වර්ඩොස්, වික්ටර් ටෙබ්ස්ටර් රංගනයෙන් දායක වෙති.

අ ගුඩ් මෑන් තියෝති වැක්ස්මස්ගේ අධ්‍යක්ෂණයකි.

හාස්‍ය රසය පිරි වනවරායන් වල්ලවරායන් (VAANAVARAYAN VALLAVARAYAN)

අධ්‍යක්ෂ රාජ් මොහාන්ගේ නවතම දෙමළ චිත්‍රපටය වනවරායන් වල්ලවරායන් දැන් නිකුත් වී ඇත.

ශංකර් රාජා සංගීතවත් කළ බී. පාන්ඩියන් නිෂ්පාදනය කළ වනවරායන් වල්ලවරායන් හාස්‍ය මුසු ආදර පුවතක් රැගත් චිත්‍රපටයකි.

මෙහි වනවරායන් ලෙස ක්‍රිෂ්ණ කුලසේකරන් ද වල්ලවරායන් ලෙස ආනන්ද් රඟන අතර සෙසු චරිත රංගනයන් මොනාල් ගජාර්, නිහාරිකා කරීර්, එස්. පී. බී. චරන්, ජානකි කොවායි, සරලා, තම්බි රාමයියා සමඟ ජයප්‍රකාශ් මේරා දායක වී ඇත.

හිඩස පිරවිය හැක්කේ ආදරයට පමණි ගෞරි තෙරේ පියාර් මේන් (GORI TERE PYAAR MEIN)

හින්දි සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් නිෂ්පාදනය කළ චිත්‍රපටයකි ගෞරි තෙරේ ප්‍යාර් මේන්.

ප්‍රනිත මල්හෝත්‍රා අධ්‍යක්ෂණය කර ඇති මෙහි කරීනා කපූර්, සාරධා කපූර් රංගනයෙන් දායක වී ඇත. ගම්මානයක් දියුණු කිරීමට වෙර දරන තරුණියක හා ඇයගේ අතපතා වෙහෙසෙන තරුණයකු වටා ගෙතුන මේ චිත්‍රපටය ඉතා ඉහළ ආදායමකට උරුමකම් කීවකි.

ඔවුන් තවදුරටත් අවු. 21 අය නොවේ 22 ජම්ප් ස්ට්‍රීට් (22 HUMP STREET)

හාස්‍යයට කැමති ප්‍රේක්ෂකයාට ඔබින නවතම ඉංග්‍රීසි විකට චිත්‍රපටයක් 22 ජම්ප් ස්ට්‍රීට්.

ක්‍රිස් මිලර් සහ පිල් ලෝඩ් අධ්‍යක්ෂණය කර ඇති මෙහි චානිස් ටබුම්, ජොනා හිල්, ඇම්බර් ස්ටීවන්ස් සහ වේයාට් රසල් රංගනයෙන් දායක වී ඇත.

විශේෂ පැවරුමක් සඳහා රහසිගතව දෙවන වරටත් උසස් පෙළ සඳහා මඟ පාදාගත් තරුණ නිලධාරීන් දෙදෙනකු වටා ගෙතී ඇති 22 ජම්ප් ට්‍රීට් ඔවුන් තවම අවුරුදු 21 අය නොවේ යන තේමාවෙන් නිර්මාණය වී ඇත.

සත්‍ය කතාවක් මිලියන් ඩොලර් ආම් (MILLION DOLLAR ARM)

ලෝක ප්‍රකට ඩිස්නි චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මිලියන් ඩොලර් ආම් හොඳ රස වින්දනයට කැමති ඉංග්‍රීසි සිනමා ප්‍රේක්ෂකයාට සුදුසු චිත්‍රපටයකි.

ක්‍රීඩා ඒජන්තවරයකුගේ සත්‍ය කතාවක් ආශ්‍රයෙන් තනා ඇති මිලියන් ඩොලර් ආම් ක්‍රැග් ගිලස්පි අධ්‍යක්ෂණය කර ඇත.

ජෝන් හම්, සුරාජ් ශර්මා, ඇලන් මුර්කිස් සමඟ ලේක් බෙල් මෙහි රංගනයෙන් දායක වී ඇත. මෙය ඔබට ටයිටන්ස් සහ මිරකල් වැනි චිත්‍රපට සිහිගන්වනු ඇත.

සිහිනය සැබෑ කරගන්නට ස්ටෙපින් හයි (STEPPING HIGH)

ඇය ජීවත් වන්නේ නර්තනය සඳහාමය. එය කාටවත් නැවැත්විය නොහැක. විශ්වාස කරන්න.

බටහිර නැටුම් ගැයුම් නැරඹීමට කැමති තරුණ පරපුරට ආකර්ශණීය චිත්‍රපටයෙකි ස්ටෙපින් හයි චිත්‍රපටය.

හෙන්රි චා(ර්) අධ්‍යක්ෂණය කළ මෙහි පල්මර් ඩාවිස්, අමීර් කොරත්ගි සමඟ මේරි කාරිග් රංගනයෙන් දායක වී ඇත.