|
සූර්යා දයාරුවන්, ඔබට ඔහු මතකද?සූර්යා දයාරුවන්ව ඔබ වඩාත් හඳුනාගන්නේ ජයන්ත චන්ද්‍රසිරිගේ සමනළ සංධ්වනිය චිත්‍රපටයෙනි. එහි උද්දික ප්‍රේමරත්නගේ ළමා විය නිරූපණය කළේ ඔහුයි. ගායන ශිල්පියකු ලෙස ද වෙනමම ගමනක් යාමට සූදානමින් සිටියි. පසුගිය දින සූර්යා තම නවතම ගීතයේ රූප රචනය ද සහිතව නිකුත් කළේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවැති උත්සවයකදී. පොළොන්නරුවේ ඉපිද සම්භාවනීය කලාවක් සොයා යන ඔහු සමඟ කතාබහකි මේ. සූර්යා, ඔබටම මා ඉඩ දෙනවා මේ සංවාදය අරඹන්න. හොඳයි, මං ඉස්සෙල්ලාම කියන්නම් මගේ ගීතය ගැන. දුරින් ඉන්න ලෙසටයි එය නම් කොට තියෙන්නේ. දුමින්දු අලහේන්ද පද රචනයෙන් ද අශාන් ප්‍රනාන්දු සංගීත නිර්මාණයෙන් ද මේ සඳහා එක් වුණා. මෙය සම්පූර්ණ විරහ ගීතයක් නෙවෙයි. ඒත් යම්තාක් දුරට විරහව තියෙනවා. සමනළ සංධ්වනිය තිරගත වන කාලේ ඔබ හුඟාක් ජනප්‍රියයි. නමුත් ක්‍රමයෙන් ඒ ජනප්‍රියත්වය අඩු වුණා. එය නැවත වැඩි කර ගන්න ද මේ ගීතය කළේ? ඔබ කිව්වා වගේ මාව දැන් පාරේ බැහැලා ගියත් වැඩි දෙනෙක් හඳුනන්නේම නැති තරම්. මං ඒකට ආසයි. මොකද ඒ නිදහස මට වටිනවා. ඒ හින්ද බලෙන් ජනප්‍රියත්වය හොයා යන්න මම උත්සාහ කරන්නේ නැහැ. කොහොමත් මං ජනප්‍රියත්වය හඹා ගිය කෙනෙකුත් නෙවෙයි. ජනප්‍රිය වෙන්න සිංදු කිව්වා නම් අද මං සුපිරි තරුවක්. මං එහෙම කියන්නේ දුරින් ඉන්න මගෙ දස වැනි ගීතය නිසා. මං මීට කලින් ගීත පටිගත කරලා තියෙනවා කියලා වැඩි දෙනෙක් දන්නේ නැති තරම්. නව පරපුරේ අනෙක් ගායකයින්ට මෙන් ඔබට වානිජ අරමුණක් නැද්ද? තියෙනවා. මං මෙදා පාර සිංදුව කළේ ගෙදර තියාගෙන ඉන්න නෙවෙයි. මෙය මං රිඟිංටෝන් ඉලක්ක කරගෙන කරපු ගීතයක්. එහෙම වුණා කියලා කසිකබල් වචන නෙවෙයි මේකෙ තියෙන්නේ. මේ දවස්වල බයිලා සිංදු නිර්මාණය වෙනවා වැඩියි. රිඟින් ටෝන් වෙළෙඳ පොළේ ඉතා හොඳ ඉල්ලුමක් තියෙනවා එවන් වූ ගීතවලට. බයිලා සිංදුවක් කිව්වා නම් මීට වඩා ජනප්‍රිය වෙන්න තිබුණා? බයිලා සිංදු ඉක්මනින් හිට් වෙනවා. මං එහෙම සිංදුවක් නොකිව්වේ හේතුවක් මත. මං උදාහරණයක් අරගෙනම කියන්නම්කෝ. මට ෂෝස්වලට ආරාධනා ලැබෙනවා. ඒ හැම ෂෝ එකකටම සහභාගි වන්නේ අමරසිරි පීරිස්, කසුන් කල්හාර වගේ විශිෂ්ට ගායකයෝ. ඔවුන් සමඟයි මං ෂෝස්වල සිංග් කරන්නේ. මං කවදා හරි ඒ ගායකයන්ගේ මට්ටමට යනවා. බැරි වෙලාවත් මං බයිලා කිව්වා නම් අර වගේ ගායකයොත් එක්ක මට ෂෝස්වලට කතා කරන එකක් නැහැ. ඔබට ඕනෑ සම්භාව්‍ය කලාකරුවකු වෙන්න? ඔව්. කොහොමද ඔබේ රංගන කටයුතු එහෙම? මේ දවස්වල දස්කොන්, කාල සහ පෝටාවැටිය යන නාට්‍යවල ෂූටිං. ඒ අතරින් දස්කොන් පමණයි විකාශය වන්නේ. එහි මම හින්නි බණ්ඩාර. ඔබට චරිතයක් ලැබුණම මොනවද මුලින්ම අහන්නේ? මං පිටපත ඉල්ලනවා. එය ජයන්ත චන්ද්‍රසිරි සර්ට දීලා ඔහුගේ අනුදැනුම මත එම චරිතය නිරූපණය කරනවා. ජයන්ත සර් එපා කිව්වොත් මං රඟපාන්නේ නැහැ. ඔබ සාමාන්‍යයෙන් චරිතයක් රංගනයට පෙර භාවනා කරනවා කියලා මට දැනගන්නට ලැබුණා? ඇත්ත. මුලින්ම මම කෙටි භාවනාවක යෙදිලා මම ශූන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඉන් පසු චරිතයට පණ පොවනවා. එතකොට දර්ශන තලයේ ඉන්නෙ මං නොවෙයි. රඟපාන චරිතයේ කෙනා. භාවනාකරලා රඟපාන්න තරම් වෙලාවක් තියෙනවාද වර්තමාන ටෙලි නාට්‍ය කලාව ඇතුළේ? භාවනා කරනවා කිව්වට පැය ගාණක් භාවනා කරන්නේ නැහැ. සුළු වේලාවකුයි එහෙම කරන්නේ. මේ හේතුව මත මං වැඩිය මෙගාවල යන්නේ නැහැ. ඒ හේතුව හින්දමද මෙගාවලට නොයන්නේ? නැහැ. එකට හේතු ගොඩක් තියෙනවා. අද ගුණාත්මක මෙගා නාට්‍ය අඩුයිනේ. අනික මට ඕනෑම නාට්‍යයකට කතා කළොත් කැමරමන්ගේ ඉඳල හොයල බලනවා. ඒක මගේ ප්‍රතිපත්තියක්. අනික මෙගා මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක්. මම මේ අහන්නමයි හිටියේ, තවම සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් අවුට් වුණේ නැහැනෙ? නැහැ, නැහැ, මේ අවසන් වසර මගේ. ලබන අවරුද්දෙන් පසුව දිගටම කලාවේ නියැලෙනවාද? නැත්නම්? මං හිතාගෙන ඉන්නේ විදෙස් ගත වෙන්න. ඒ මොකටද? මගේ වෘත්තීමය අධ්‍යාපන කටයුත්ත සඳහා. තවදුරටත් පැහැදිලි කළොත්? මට ඕනෑ කවදා හරි වෘත්තීමය ඔපෙරා ගායකයකු වෙන්න. ලංකාව තුළ ඉඳගෙන ඒ වැඩේ කරන්න බැරිද? බැහැ. හරි ඔපෙරා ස්ටයිල් එක මෙහෙ නැහැ. අද කේමදාස මාස්ටර් හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? එතුමා ඔපෙරා ගායනය ඉගැන්නුවේ අපේකම අරගෙන. ඔහු හිටියත් ඔහුගෙනුත් යමක් ඉගෙන ගෙන අනිවාර්යයෙන්ම විදෙස් ගතවේවි. වෘත්තීමය ඔපෙරා ගායකයකුට මෙරට තැනක් තියෙයිද? ආර්ථික වශයෙන් ස්ථාවරවන්න පුළුවන් ද එවන් වූ අයකුට? මගේ බලාපොරොත්තුව මේකයි. හොඳට ඔපෙරා ගායනය ඉගෙනගෙන රජයේ හෝ පෞද්ගලික ආයතනයකට බැඳිලා ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒත් සමඟම මගේ පෞද්ගලික වියදමින් හෝ අප රටේ ගම් පළාත්වල ඇවිදලා මේ සඳහා උනන්දුව තියෙන හැමෝටම ඔපෙරා ගායනය කියලා දෙනවා. ග්‍රාමීය මට්ටමෙන් ඔපෙරා ගායනය ව්‍යාප්ත කරන්න මට ලොකු වුවමනාවක් තියෙනවා. කවදා හරි මං ඒක කරනවා. හිතනවාද ඒක ලෙහෙසි පහසු කටයුත්තක් කියලා? බොහෝ දේවල් පටන් ගන්නකම් විතරයි අමාරු. ඊට පස්සේ ඉබේම යහපත් තත්ත්වයට වැටෙනවා. මේ ගැනත් මං එහෙමයි හිතන්නේ. කොහොමද ඔබේ නවතම ගීතය රස විඳින්න පුළුවන්? මාධ්‍ය ආයතන කිහිපයකින් දැනටමත් එය ප්‍රචාරය වෙනවා. ඊට අමතරව යූ ටියුබ් හරහා මෙහි නම ටයිප් කොට රස විඳිය හැකියි. ඔබේ කලා කටයුතු සාර්ථක කර ගැනීමට කවුද පිටුපස සිටින්නේ? ජයන්ත සර්, සන්ධ්‍යා ජයසූරිය ආන්ටි, ඒ වගේම දුරින් ඉන්න ගීතයේ රූප රචනය අධ්‍යක්ෂණය කළ රොෂාන් සහ සංස්කරණය කරදුන් චන්දනට බෙහෙවින් තුති පුදනවා. එතකොට විශේෂ කෙනෙක් එහෙම ළඟ නැද්ද? ඉස්සර හිටියා. දැන් නැහැ. කලාවට පැමිණි පසුව මට අහිමි වෙච්ච දේවල් අතර ඇය ඉන්නවා.
|