|
වෙද හාමිනේ මරුවාට පැරදුනාය
රෙබෙකාගේ අවසන් කටයුතු අද (14) සවස බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. දේහය මේ වන විට කොළඹ ජයරත්න මල්ශාලාවේ අවසන් බුහුමන් සඳහා තැන්පත් කොට ඇත.
රෙබෙකා නිර්මලී ඇය අප දන්නා නාමයයි. එහෙත් ඇයගේ සැබෑ නම හෙට්ටිආරච්චිගේ රෙබෙකා නිර්මලා පෙරේරාය. කැලණියේ ඉපිද අනුරාධපුරයේ හැදී වැඩුණු ඇය ඉගෙනුම ලැබුවේ අනුරාධපුර කුරුන්දන්කුලම, නිවත්තකචේතිය සහ මොරටුව ද සොයිසා යන විද්‍යාලවලිනි. කලා ලොවට පිවිසෙන්නට ඇය උත්සාහ කරනුයේ යොවුන් වියට පිවිසෙද්දීමය. එහෙත් එහි සැබෑ මිනිසුන් මෙන්ම තක්කඩින් ද සිටින බව ඇය පළමුව වටහා ගත්තේ නැත. පසුව ඇයට මුල් වරට රංගනයට වරම් ලැබෙනුයේ බර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කරනු ලැබූ ගම්පෙරළිය ටෙලි වෘතාන්තයෙනි. මුලින් එහි ප්‍රධාන චරිතයට තෝරා ගනු ලැබුව ද ඇයට රඟපාන්නට ලැබුණේ සුළු චරිතයකි. ඉන් සෑහීමකට පත්වන්නට ඇය හිත හදා ගත්තාය. නමුත් දෛවය ඉක්මනින් ඇයට යුතුකම ඉෂ්ඨ කළාය. ජයන්ත චන්ද්‍රසිරි නම් එවක තරුණ නිර්මාණකරුවා සිය මුල්ම ටෙලි නිර්මාණයෙන් මෙරට ටෙලි නාට්‍ය කලාව උඩු යටිකුරු කළේය. ඒ වෙද හාමිනේ ටෙලි වෘතාන්තයෙනි. සුරූපී රෙබෙකා එහි වෙද හාමිනේ වන්නට වරම් ලැබුවාය. එපමණක් නොව සිය නවක නිළියගේ නිර්මලා යන නාමය නිර්මලී ලෙස හඳුන්වන්නට ජයන්තට හැකි විය.
‘සඳකැන් දහරින් දෙනුවන් වැසිලා මේ ගීතය ඇයගේ රුවත් සමඟ අපට සදාකාලිකවම මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසයේ ස්ථිර වූයේ එලෙසය. එතැන් පටන් රෙබෙකා චරිතාංග නිළියක ලෙස සිය කුසලතාව ටෙලිවිෂනය හරහා ඉස්මතු කර වූවාය. අන්තස්සරයෝ, සොහොයුරෝ, මිණිපුර හටන, ස්වයංජාත, නිසල විල ටෙලි වෘතාන්ත ඔස්සේ ඇය දක්ෂ නිළියක ලෙස අපේ හදවත් තුළ සදාකල් ලැගුම් ගත්තාය. ඇය සිනමාවට පිවිසියේ ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නි දාහය ඔස්සේය. ඇය වඩාත් හඳුන්වාදිය හැක්කේ ටෙලිවිෂන් නිළියක හැටියටය. ටෙලිවිෂනය තුළ ඇය නිකම්ම පෙනී සිටින ගැහැනියක නොවුවාය. තමා රඟපෑ සෑම චරිතයකටම නිශ්චිත වටිනාකමක් දෙන්නට ඇයට හැකිව තිබිණ. ඇය අවසාන භාගයේ ලන්ඩනයේ රූගත කළ රොඩ්නි විදානපතිරණගේ ඉරසේවය චිත්‍රපටයේ ද රඟපෑවාය. ඇය රංගන ජීවිතය ආරම්භ කළ ජයන්ත චන්ද්‍රසිරිගේ මාහැඟි චිත්‍රපටයක් ඇයගේ ජීවිතයේ අවසාන රංගනය රූගන්වන්නේ යැයි කිසිවකු හෝ සිතුවේ නැත. ඒ මහරජ ගැමුණු චිත්‍රපටයයි.
සොඳුරු රුව අනුක්රමයෙන් ගිළිහී ගොස් වේදනාවේ දැඩි පීඩනයට හසුව වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ කාරුණික ප්‍රතිකර මැද මරණය එනතුරු ඇයට ඉවසා සිටින්නට සිදුවිය. අවසානයේ ඊයේ අලුයම ඈ සදහටම නෙත් පියාගත්තාය. ඒ වනවිට ‘සරසවිය’ පුවත්පත මුද්‍රණය සඳහා සියල්ල සූදානම් තිබිණි. එහෙත් කාගෙත් ආදරය දිනූ ඇය වෙනුවෙන් පුවත්පත ප්‍රමාද කිරීම නොකළ හැක්කක් නොවේ. රෙබෙකාට යන්නට යැයි කියන්නට රසික ඔබේ මෙන්ම ක්ෂේත්රයේ අයටද අපටද බැරිය. එසේනම් රෙබෙකාට කියන්න වන්නේ ‘ගිහින් එන්න’ කියාය. ‘නැවත එන්න’. ඒ අවුරුදු හතලිස් අටක් වැනි කෙටි කලකදී ආපසු යන්නට නම් නොවේ. එය නිසැකවම ඔබගේ ද පැතුම වනු ඇත.
|