වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




එකට ඉන්නේ නැති එකෙත් වෙනසක් තියෙනවා

එකට ඉන්නේ නැති එකෙත් වෙනසක් තියෙනවා

අමිල - තේජා කැදැල්ලට ගොඩවෙමු

තේජාට අමතරව ගෙදර තනියට කෙනෙක් ඉන්නවා

සුපුරුදු ලෙස උදාවන වැහිබර දිනයට අමතකව ගියා සේ අද ඈත අහස් කුසෙන් හිරු එබිකම් කරයි. හිරු කිරණ සමඟ පිවිසෙන මඳ සුළඟ ගතට මෙන්ම සිතට ද සුවදායකය. සිමෙන්ති බංකුවෙහි ඈඳිගෙන තේ කෝප්පය තොලගාන අමිලට අහස් කුස දෙස බැලුණේ ඉබේමය. සුදුවලා පෙළට ඉහළින් පෙනෙන නිල්වලා පෙළ පිහිරා ඇදෙන අහස් යානය දුටුවනම ඔහුගේ මුවඟට නැඟුණේ සිනහවකි.

‘මොකද තනියම සිනා වෙන්නේ’

තේජා ඇසුවේ සිය පෙම්බරයාගේ සිනහවේ අර්ථය දැන ගනු රිසියෙනි.

‘අර බලන්නකෝ ‘

ඔහුට ළං වූ සිය ආදරියගේ නෙත, තවමත් ඈත අහස් කුසේ ගමනක යෙදෙන අහස් යානය වෙත රැඳ වූ අමිල ඈ දෙස බලා සිටියේ ආදරණීය බැල්මක් නෙත රඳවමිනි.

‘වෙනදාත් මම මෙතනට වෙලා ඉන්න කොට නිකමට වගේ අහස් යානයක් යනව ද කියලා අහස බලනවා. ඒකයි අදත් මේ බැලුවේ නිකමට වගේ’

තේජාගේ උවන ද සිනහවකින් හැඩවීමට ගතවූයේ නිමේෂයකි.

‘කොයි තරම් ඈත හිටියත් ඔයාගේ හිත තියෙන්නේ මා ළඟ කියාල මං දන්නවා’

ඈ කිව්වේ අමිලගේ සිත හැඳිනගෙන සිටින බව හඟවන්නටය.

ඒ අතර අප එහි පිවිසුණේ මේ දෙදෙනාගේ සොඳුරු කතාබහට විරාමයක් තබමිනි.

‘මේ දවස්වල අමිලට නිවාඩු වගෙයි’

අප අසල අසුන්ගත් අමිලගෙන් මම පළමුව විමසීමි.

‘මගේ බිරිය මේ දවස් ටිකේ මගේ ළඟම ඉන්න නිසා මට තරමක් නිවාඩු ලැබුණා. නැත්නම් ඉතිං නිතරම වගේ ඉන්නේ නාට්‍ය රූගත කිරීම් සමඟයි. මම රඟපාන ‘ආදර දෑසක්’, ‘ෆේස් බුක්’ කියන ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඒ අතර එහි රූගත කිරීම් කෙරෙනවා. ලක්ෂ්මන් පුෂ්ප කුමාරගේ අලුත් ටෙලි නාට්‍යයකටත් මට ආරාධනා ලබුණා. ඒකේ රූගත කිරීම් තියෙන්නේ හපුතලේ. තේජා ගියාට පස්සේ එහි රූගත කිරීම් ආරම්භ කිරීමටත් නියමිතයි. ඒ වනතුරු මේ දවස් ටිකේ බිරියත් සමඟ බොහොම සතුටෙන් කාලය ගත කරනවා’.

එහෙම කියන විටම අමිලගේ ප්‍රියාදරිය තේජා පහළ මාලයට පිවිසියේ කවදත් ඇගේ උවනේ රැඳුණු සිනහවත් රැගෙනමය.

‘ඔන්න මමත් ආවා’

එසේ කියමින් ඇය අමිල අසලම අසුන් ගත්තාය.

‘කාලයකට පස්සේ ද ඔබට නිවාඩුවක් ලැබුණේ ?’

කතාබහ අරඹනු රිසියෙන් මම තේජාගෙන් විමසීමි.

‘මීට සති කිහිපයකට පෙරත් මම අමිලව බලන්න ආවා. මාසයකට දෙසැරයක් විතර මට අමිලව බලන්න එන්නට ඉඩ හදා ගන්න පුළුවන්. ඒ අතර අමිලටත් ලැබෙන නිවාඩුවේ එයා කරන්නේ මාව බලන්න ඩුබායි එන එකයි. ඒ නිසා කිසිම ගැටලුවක් නැතිව ජීවිතේ ගෙවෙනවා නේද අමිල’

අමිලගෙන් පිළිතුරන් ලැබෙනතුරු ඇය බලා සිටියාය.

‘ඇත්තම කිව්වොත් අපි දෙන්නම අපේ වැඩ කටයුතුත් එක්ක කාලය බෙදාගෙනයි තියෙන්නේ. ඒ නිසා කිසිම ගැටලුවක් අපි දෙන්නා අතරේ නිර්මාණය වෙන්නේ නැහැ. දෙන්නට දෙන්න හොඳින් අවබෝධ කරගෙන ඉන්න නිසා අපි ජීවිතය සතුටෙන් ගත කරනවා’

මේ කැදැල්ලෙහි සොඳුරු බැඳීම ජීවිතයේ නව මඟකට පාර කිව්වේය. ඒ පාරෙහි ගමන් කරන ඔවුන්ගේ ජීවිතය වරෙක තනිකඩය.

‘තනිකඩව ගෙවෙන කාලයේ අමිලට උයන්න පිහන්නේ කවුද?’

‘එතකොට අපේ ගෙදර ඉන්න අප්පු තමයි උයන්නේ. ඔහු මගේ රුචි අරුචිකම් හොඳින් දන්න නිසා බොහොම කැමැත්තෙන් ඒ කටයුතු කරනවා. මේ ගෙදර තේජා ගියාට පස්සේ මගේ තනිය මකන්න තවත් කෙනෙක් ඉන්නවා. ඒ අපේ සුරතලා ජූනියස්.

අමිලගේ කැදැල්ලේ ඉන්න අනෙක් සාමාජිකයා තමයි ඒ. අප්පුගේ අදරයට අමතරව ජූනියස් තේජාගේ ආදරයත්, සැලකිල්ලත් ලබන්න තරම් වාසනාවන්ත වී ඇත.

‘තේජාට හොඳට උයන්න පුළුවන්ද ?’

අමිලගෙන් ඊට ලැබුණු පිළිතුර නම් සුන්දර සිනහවකි.

ඒ සිනහව කිව්වේ ඇයට උයන්න පුළුවන් බව යැයි අපි නිගමනය කළෙමු.

‘ඉඳල හිටලා වුණත් තේජා උයන කෑම රසයි. ඈ මගේ රුචි අරුචිකම් හොඳින් හඳුනාගෙනයි ඉන්නේ. මගේ ළඟ ඉන්න විට මුළුතැන්ගෙය බාරගෙන මම කැමැති කෑම හදලා හොඳ කෑම වේලක් දෙන්න ගන්න උත්සාහය මා අගය කළ යුතුයි. ඈ හදන චිකන් වගේම මාළු කරියත් බොහොම අපූරුයි. ඒක නම් ඈට පවුලෙන් ලැබණු අත් ගුණයක් කියලයි මට නම් සිතෙන්නේ. ඒ වගේම ඈ මට හොඳ බිරියක්’

‘මොනවද අමිල වැඩිපුරම කන්න කැමැති’

‘පොල් සම්බෝල සමඟ කරවල බැඳලා බත් කන්න අමිල බොහොම කැමැතියි. මගේත් ප්‍රියතම කෑම වෙන්නේ පොල් සම්බෝලයි. මුල් කාලයේදී නම් ඔහුට රතු බත් කන්න තරමක් අපහසු වුණා. මොකද මම ගාල්ලේ නිසා වැඩිපුරම කන්න පුරුදු වෙලා හිටියේ රතු බත්. දැන් නම් රතු බත් ඔහුට බොහොම හුරුයි’

තේජාගේ අත් ගුණයයි ආදරයයි මිශ්‍ර වෙලා හදන කෑම බොහොම රසවත්.

‘ඒ අතර දෙන්නම ඉන්න විට දවස ආරම්භ වෙන්නේ’

‘මොනව හරි විශේෂ වැඩ කටයුත්තක් නැත්නම් මමත් තේජත් දවල් වෙනකම් ටිකක් නිදිය ගන්නවා. නැත්නම් උදේම නැඟිටලා දෙන්නත් එක්ක යොදා ගත්ත වැඩකට යනවා. ගෙදර වැඩ කෙරෙන්නේ අපි දෙන්නගේම සහයෝගයෙන්. තේජා උයන විට මම කරන්නේ මුළු ගේම අස්පස් කරන එකයි. ඒ වන විට ඈ උයලා අවසානයි. මම අස්පස් කරලා අවසානයි. දවසේ ගොඩක් කාලයක් අපි දෙන්නට සතුටෙන් ගත කරන්න කාලය ඉතුරු වන නිසා අපි ඒ කාලය සුන්දරව ගෙවනවා’

‘ජීවිතයේ සුන්දරත්වය අරගෙන අමිල අසලට පැමිණෙන තේජාගේ අනාගතය පියාඹමින්ම ගෙවිලා යාවිද?

අපි දෙදෙනාගෙන්ම විමසීමු.

‘තේජාගේ ළඟදියි එයගේ තනතුර උසස් වුණේ. ඒ නිසා තව ටික කාලයක් ඈ ඒ තනතුරේ ඉඳීවි ඒ තනතුර ලැබුණ ගමන් ඒකෙන් අස් වෙන්න බැරි නිසා. ඒ කියන්නේ තවත් ටික කාලයකින් ඈ රැකියාවෙන් සමුගන්න අදහසක් තිබෙනවා. අපේ කැදැල්ලට තවත් කෙනෙක් ළං කර ගන්න හොඳම කාලයයි මේ. ඒ ගැනත් අපි හිතමින් ඉන්නේ. එහෙම දෙයක් වුණොත් මේ ගැටලු සියල්ල ඉතා ඉක්මනින්ම විසඳේවි’

අමිලගේ අනාගත බලාපොරොත්තු රැසක් තිබෙන වගක් අපට පෙනේ. ඒ අතර මේ ඉඳහිට හමුවීම පිළිබඳ තේජා පැවසුවේ අපූරු කතාවකි.

‘මෙහෙම තිබෙන දුරස් බවත් අපේ ජීවිතවලට අලුත් අර්ථයක් ගෙනෙනවා. නිතරම අපි දෙන්නට දැනෙන්නේ ජීවිතය අලුත් වුණා කියලා. නිතරම ඵකට ඉන්නේ නැති එකත් ජීවිතයට අපූරු වෙනසක් ගෙනෙනවා’

ඊට පස්සේ කැදැල්ලේ දිගටම රැඳෙන්න බලාපාරොත්තු වන තේජාත් රඟපෑම තෝරා ගනිවිද?’

‘එයා කොහොමත් රඟපාන්න කැමැති නැති නිසා ඒ කාරණය නම් ඉෂ්ට වෙන එකක් නැහැ. අනෙක් එක මෙයා ඉතිං ගෙදර රඟපාන එකම මදෑ’

දෙදෙනාගේ උස්ව නැඟෙන සිනහ හඬ මුළු නිවෙස වසාගෙනම විහිදේ. ඒ සිනහව සිහිපත් කරන්නේ වසර දහයක පමණ දිගු කලක් බැඳි සෙනෙහේ දමක සුන්දරත්වයයි.