|
නිමල් ලක්ෂපති ආරච්චි ගැන නිමල මතකය
ආදරණීය භාර්යාව රමණී සිහිපත් කරයි
නිර්මාණශීලී ජීව ගුණය අදටත් මා සතුයි
රාත්‍රිය කෙමෙන් ගෙවී යමින් තිබුණි. ඝණ කළුවර හාත්පස වසාගත්වනමය. හීන් මැණිකා මාතාව එකවරම අවදි වූයේ සුවදායී සුභ සිහිනයකට අනතුරුවය. උත්තරීතර මාතෘත්වයේ සෙනෙහෙබර සිහිනය අත ළඟ වුණ හීන් මැණිකා ඝණ අඳුර තුළ සිහිනයෙන් දුටු පුතු සොයන්නට වූවාය. සැබැවින්ම එය පින්බර සිහිනයකි. කෙමෙන් රාත්‍රිය ගෙවී යමින් තිබුණි. උදෑසනම තම සෙනෙහෙබර සැමියා එනතුරු හීන් මැණිකා පැපිලියානේ සුනේත්‍රා දේවි විහාරයට පැමිණ භාරයක් වූවාය. 1954 වසරේ නොවැම්බර් 20 වැනිදා බලාපොරොත්තු සහිතව වේගයෙන් ගෙවී ගියේය. විසි එක් වැනිදාට හිරු උදාවත් සමඟ හීන් මැණිකා සොයිසා රෝහලට ඇතුළත් කරනු ලැබුවේ දෙවැනි දරු උපත අත ළඟ වන නිසාය. ක්‍රමයෙන් කාලය ගෙවී ගියේය. හොඳම වේලවේ උදාවත් සමඟ හීන් මැණිකා මාතාව තම දෙවැනි දරුවා මෙලොවට බිහි කළාය. ලාංකේය ගුවන් විදුලිය උඩු යටිකුරු කළ පෙරළිකාර හිතෛෂිවන්තයා මෙලොව බිහි වූයේ 1954 නොවැම්බර් මස විසි එක් වැනිදා සොයිසා රෝහලේදීය. දිනෙන් දින මුහුකුරා වැඩෙත්ම නිමල් නම් වූ මේ ළදරුවා පරිසරය ජීවිතය පිළිබඳ වෙනස්ම ආකාරයකින් දක්නට හුරු වුණේය. රේවත මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ මේ කුඩා දරුවා අනතුරුව පිටකෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයත්, කොළඹ ආනන්ද විද්‍යාලයත් තම අධ්‍යාපනයේ නිවහන් බවට පත් කොට ගත්තේය. කොළඹ ආනන්ද විද්‍යාලයේදී පරිණත සාහිත්‍ය ඇසුරකට පත් වූ ඔහු රංගනයට මෙන්ම ගුවන් විදුලි කලාවට ද එක ලෙස දස්කම් පෑවේය. අන්තර් පාඨශාලීය තරඟ හරහා නමක් රැන්දූ හෙතෙම ලංකාවේ කලාව තුළ සුවිශේෂි චරිතයක් වනු ඇතැයි සියල්ලෝම මත පළ කළහ. ‘නිමල් ලක්ෂපතිආරච්චි’ ලාංකේය ගුවන් විදුලි වනෝද්‍යානයට අලුත් වසන්තයක් කැන්දන් ආ මේ සුන්දර මිනිසාගේ අතීතය ද ඉතා සුන්දර වූවකි. ඔහුගේ අප දන්නා මෑත ඉතිහාසය ද විප්ලවවාදී නිර්මාණශිලී වූවකි. හදිසියේම ඔබ අප දමා නික්ම ගියත් සදාතනික සිහිවටනයක් වන ඒ සුන්දර මිනිසාව යළිත් මෙනෙහි කරන්නට අපි ඔහුගේ බිරිය රමණී සහ ආදරණීය දියණිය සචිනි හමු වෙමු. මේ අතීත සුන්දරත්වයක අව්‍යාජ වදන් පෙළයි. ‘නිමල් අපෙන් වෙන් වෙලා ගියත්, ඔහු සමඟ ගත කළ හැම තත්පරයක්ම අද ඊයේ වගේ අපේ හිත්වල තදින්ම තැන්පත් වෙලා තියෙනවා. මට හොඳට මතකයි මුලින්ම නිමල් හමුවුණු දවස. ඔහු තරුණ ප්‍රතාපවත් කඩවසම් සුන්දර නිහතමානී මනුස්සයෙක්. නිමල් ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කරන ගමන් ගුවන් විදුලි නාට්‍යවලට, වෙළෙඳ දැන්වීම්වලට තමන්ගේ දායකත්වය ලබා දී තිබුණා. මේ කාලේදී තමයි මමත් ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධ වෙන්නේ. හීතල නුවරඑළියේ ඉඳන් ආගන්තුක ගුවන් විදුලි සංස්ථාවට පැමිණි මට දිනෙන් දින මිත්‍රයන් ගොඩ නැඟුණා. මේ කාලේ වෙනකොට නිමල් ‘ගජමුතු’ ටෙලි නාට්‍යයේ ‘ගලබොඩ අප්පු’ගේ චරිතයට පණ පෙව්වා. දවසක් මගේ යාළුවෙක් නිමල් එක්ක මං ඉන්න තැනට ආවා. ‘මේ ඉන්නේ ගලබොඩ අප්පු, අඳුරගන්න හොඳ යාළුවෙක්. නම නිමල්.’ මගේ යාළුවා නිමල්ව අඳුන්වලා දුන්නේ එහෙමයි. එදා ඉඳන් අපි හොඳ යාළුවෝ බවට පත් වුණා. හම්බ වෙන හැම වෙලාවෙම ඔහු අලුත් අලුත් දේවල ගැන කතා කළා. නව නිර්මාණ කරන්න නිමල්ගේ තිබුණේ පුදුම ආසාවක්. එයාගේ ජීවිතය ගැන එයා නිතරම අපිට කිව්වා. ලංකාදීප පත්තරේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදියට මාධ්‍ය ජීවිතයට එකතු වුණු ඒ අතීත කතා ඔහු අපිට කිව්වේ ආදර්ශමත් කතන්දර විදියට. මෙහෙම කාලයක් ගත වුණා. නිමල්ගේ හඬ පෞරුෂය පරිනත චින්තනය වගේම ගති පැවතුම්වලටත් මම තදින්ම ඇලුම් කළා. එහි ප්‍රතිඵලයක් විදියට නොදැනීම මම ඔහුගේ පෙම්වතිය බවට පත් වුණා. දෙපාර්ශවයේම ආශිර්වාදය මැද්දේ ලෝකයේ මා දුටු අසිරිමත්ම මිනිසා සැමියා කර ගන්නට මා වාසනාවන්ත වුණා.
ඒ ජීවිතය නිමල් දිනෙන් දින කාර්යබහුල පුද්ගලයෙකු බවට පත් කළා. ඒ කාර්යබහුල බව අපේ ආදරයට, බැඳියාව, ජීවිතයට කිසිම බාධාවක් වුණේ නෑ. ගෙදර ඉන්න හැම දවසටම කෑම ඉව්වේ නිමල්. හැම වේලාවෙදිම මගෙත් දරුවන්ගේත් සැප දුක හොයන්න ඔහු අමතක කළේ නෑ. ඒ වගේම ගෙදර දොරේ වැඩ කටයුතු මග නොහැරී ඉටු කිරිීමට නිමල් නිරතුරුවම කැප වුණා. ගුවන් විදුලි නාලිකාවේ දියුණුවත් සමඟම නිමල්ගේ මූලිකත්වයෙන් සිරස රූපවාහිනිය ඇරැඹුවා. ආයතන දෙකේම අධ්‍යක්ෂ ජනරාල් බවට පත් වුණේ ඔහු. පළමු වතාවට තමයි එම තනතුරු දෙකම එකම පුද්ගලයෙකුට ලැබුණේ. තානාන්තරවලින් කොතරම් උසස් වුවත් හැමදාමත් මට හමු වුණේ එදා ගුවන් විදුලියේ අවන්හලේදී හඳුනා ගත් නිමල්මයි. ඔහු සුන්දර සැමියෙක් වගේම සියලු ගුණවලින් අගතැන්පත් පියෙකු ද වුණා. දරුවන් සමඟ කාලය ගත කිරීමට එයා ඉඩක් වෙන් කර ගෙන තිබුණා. දුවයි පුතයි නිමල්ගේ අතිශය සමීප මිත්‍රයන් විදියටයි කාලය ගත කළේ. රට රටවල්වල ගියත් එයා හැම විනාඩියක්ම ජීවත් වුණේ අපිත් එක්ක. විවිධ නාලිකාවල ක්‍රියාකාරී නිලතල දරපු නිමල් ලංකාවට චන්ද්‍රිකා තාක්ෂණය ගෙන ඒමටත් පුරෝගාමී වුණා. 2012 ජූලි 19 වැනිදා නිමල් ලංකාවට ආවේ අපි හැමෝමත් එක්ක පිටරටක පදිංචියට යන්න බලාපොරොත්තු රැසක් හිතේ තියාගෙන. නමුත් ජූලි විසි වැනිදා ඒ දැල් වී තිබූ පහන බලාපොරොත්තු සියල්ලම අඳුරේ තබා නිවී ගියා. හදිසියේ හැදුණු හෘදයාබාධයක් නිසා විනාඩි ගාණක් ඇතුළත නිමල් අප තනි කොට යන්නට ගියා. අපි තවමත් ජීවත් වන්නේ ඔහු දැල් වූ පහනේ දීප්තිමත් ආලෝකය යට. නිමල් ලක්ෂපතිආරච්චිගේ බිරිය කියලා මට ඕනෑම තැනක හඬ නගා කියන්නට පුළුවන්. ඔහු මට ලබා දුන් ඒ ගෞරවණීයත්වයට මා සදා ණයගැතියි. ‘නිමල් ආයෙත් එන්න, අපි සුන්දරව ජීවිතය ගෙවමු.’ හැමදාම අහස දිහා බලාගෙන මම ප්‍රාර්ථනා කරන්නේ එච්චරයි. මේ වායුතලය ඔහුගේ කටහඬ විසිරී පැතිරී ඇති බව මම දන්නවා. ඒ කටහඬ රමණීයයි. අමරණීයයි. රමණි දෑස් ඇර සඟවා ගත් කඳුළු බිඳුව බිම හෙලුවාය. දැන් වාරය සචිනිටය. ඈ ද මවගේ කතාවෙන් හැඟුම්බර වූ විලසකි. ‘තාත්තා තමයි මගේ මුළු ලෝකයම. තාත්තා වගේ දැවැන්ත සෙවණැල්ලක් යට හැදෙන්න, විඳින්න, ජීවත් වෙන්න මමයි මල්ලියි කොච්චරනං පිං කරල තියෙනවද කියලා එදාට වඩා අද දැනෙනවා. තාත්තා යෝධ තුරු සිරසක්. ඒ තුරු සිරසේ මල්වල සුවඳ තවමත් අපට දැනෙනවා. තාත්තාට උවමනා වුණා අපි ඒ මාවතේ යනවා දකින්න. ඒ නිසාම මං තාත්තාගේ සිටි හිට් චැනල් එක ආයෙත් ආරම්භ කළා. තාත්තා දීපු කාලවේ ජීවගුණය මගේ ලේවල තියෙනවා. ඒ දීපු උපදෙස් වගේම නිර්මාණශීලී ගුණ සුවඳ අදට ගොඩාක් වටිනවා. මං මේ චැනල් එක කරද්දී තාත්තා හිටියනං . . . ඔහුට කොච්චර සතුටක් දැනේවිද. සචිනි හැඟුම්බරය. සැබැවින්ම නිමල් ගැන මතකය මැවෙන හැම විටම ඔහු ඇසුරු කළ අපි මෙන්ම ඔබ ද හැඟුම්බර වනු නියතය.
|