වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල තව දින 19 යි

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල තව දින 19 යි

ලබන 2 වැනිදා සිට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී මෙරට අංකුර සිනමාකරුවනට සිනමා ලෝලීන්ට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහඟු අවස්ථාවක් උදා කරමින් සිනමා කුසලතා ප්‍රවර්ධන වැඩමුළු තුනක් සංවිධානය කොට තිබේ. මෙහි පළමුවැන්න සැප්තැම්බර් 03 දා පැවැත්වෙන අතර ඉන්දීය සිනමාකරු රාජිව් රවි විසින් මෙය මෙහෙයවනු ලබයි. කැමරාව සමඟ රීති බිඳ දැමීම මෙම වැඩමුළුවේ තේමාවයි. එය සිනමාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩදායි එකක් වනු ඇත.

මෙම වැඩමුළු මාලාවේ දෙවැන්න සැප්තැම්බර් 04, 05 යන දෙදින තුළ දී සිනමාවේ “චලනරූප අධ්‍යක්ෂණය” තේමාව යටතේ පැවැත්වේ. එය මෙහෙයවනු ලබන්නේ කාන් සිනමා සම්මානලාභී මෙක්සිකානු සිනමාකරු කාලෝස් රෙගදාස් විසිනි. මෙය ඔහු ආසියානු රටක පවත්වන පළමු වැඩමුළුව වනු ඇත.

අවසාන වැඩමුළුව ඉන්දීය සිනමාවේදී විචාරිකා මීනක්ෂි සෙදේ විසින් සැප්තැම්බර් 05 දින පවත්වනු ලැබේ. යහපත් තිරරචනය සහ සිනමා උළෙලේ මුලෝපයන් එහි තේමාවයි. මෙම වැඩමුළු මාලාවේ අයදුම්පත් www.iffcolombo.com යන වෙබ් පිටුවෙන් ලබාගත හැකියි.