|
රජරටෙන් පායා විත් වේදිකාවත්, පුංචි තිරයත්, රිදී තිරයත් එකලු කරන ජයතිස්ස අතුලසිරි
‘නුවරඑළියේ ඉපැදුණු මම කලාවට ආදරය කරන්න පටන් ගත්තේ පාසල් යන කාලයේදීමයි. පාසල් වේදිකාවේ රඟපෑ ‘රෙදි හෝදන මහත්වරු’ මගේ මතකයෙන් නොගිලිහෙන වේදිකා නාට්‍යයක්. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරත් සමඟ මට දැනුණු සතුට කියලා නිම කරන්නට බැරි තරම්. ඉන් පස්සේ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසීමට මට වරම් ලැබෙන්නේ ජයසේකර අපොන්සුගේ ‘මඟුල් සක්වල’ වේදිකා නාට්‍යයෙන්. එතැනින් ඇරැඹුණු මගේ රංගන ගමන ‘නීතිය’, ‘වරිග සංගය’, ‘පෙම්වතියක් ඇවිල්ලා’ ආදී වේදිකා නාට්‍ය (දිගු හා කෙටි) දක්වා දිව යනවා. ඒ වගේම ‘භවාන්තරය’, ‘දියවරට මෙහෙවර’ කියන මුද්‍රා නාට්‍ය දෙකකට ද මා සහභාගි වුණා. මේ අතර පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ දයානන්ද ජයවර්ධනගේ ‘හිමගිරි අරණ’ කියන ටෙලි නාට්‍යයෙන්. ‘ස්වයංජාත’, ‘රිදී ඉට්ටංකරය’, ‘ගඟ අද්දර’, ‘චක්‍රාංගි’, ‘සතර දෙනෙක් සෙන්පතියෝ’, ‘රැජන’, ‘පවර මෙනුවර’ ආදී ටෙලි නාට්‍ය හැටපහක පමණ මේ වන විට රංගනයෙන් දායකවීමට මට හැකි වන්නේ මගේ තිබුණු යම් දක්ෂතා නිසයි. ඒ වගේම කලාවට පිවිසීමේදී යමෙකුට ඉවසිම වගේම කැප කිරීමක් තිබිය යුතු අත්‍යවශ්‍ය අංග වෙනවා. මේ දවස්වල මම රඟපාන ‘උඩු සුළඟ’, ‘ගිරිකුල’, ‘සුළඟ මත මොහොතක්’, ‘සඳපානාගල’, ‘සූරිය භානු’ ටෙලි නාට්‍යවල චරිත ටෙලි නාට්‍ය නරඹන්නන් අතර ජනප්‍රියයි. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර මා වඩාත් දිරිමත් කරනවා.
එමෙන්ම මේ දවස්වල තිරගත වන ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ මා රඟපෑවේ භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චරිතයක්. මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වන්නේ විදේශ ටෙලි චිත්‍රපටයකට ද සහභාගි වීමට ලැබීමයි. ඒ අපේ රටේ රූගත කළ ‘දාවාරියා’ චිත්‍රපටයයි. මම කළ මේ සියලු රඟපෑමට තුති පුද කිරීමක් ලෙස ලැබුණු කලා කීර්ති සම්මානය ද මම මතක් කළ යුතුයි. එය මට මහ මෙරක් වගේ. එය මට ලබාදීමට මුල්වුණු පල්ලේගම හේමරතන හිමියන්ට වගේම අනුරාධපුර දිසාපතිතුමා ඇතුළු පිරිසට ද ස්තුති කළ යුතුයි. මගේ කලා ගමනට කිසිදු කන්කෙඳිරිගෑමක් නොමැතිව මගේ සෙවනැල්ල වගේ සිටින බිරිය නන්දා මාංපිටියගෙන් ලැබෙන සහයෝගය නොවන්න මේ තරම් දුරක් මට එන්නට නොහැකි වන බවත් සත්‍යයක්. ඒ වගේම මගේ නිර්මාණ රස විඳිමින් ඒවායේ හොඳ නරක කියමින් මා දිරිමත් කරන දරුවන් දෙදෙනාත් මගේ කලා ගමනට ආලෝකයක්. මේ තරමක් දුර රංගනයෙන් පැමිණීමට මට හැකි වන්නේ කලා නිර්මාණකරුවන් මට ලබාදුන් නිර්මාණ නිසයි. ඒ නිසා මට උදව් කළ සියලු දෙනාටම ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මට ලියන්න කැමැති කෙනෙක් වේ නම් නො. 11, පාසල් මාවත, පොතානේගම, අනුරාධපුරය යන ලිපිනයට මට ලිපි එවිය හැකියි. නැතිනම් 0715788889 දුරකථන අංකයට මා ඇමැතිය හැකියි.
|