වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිත්ත අමරසිංහගෙන් අලුත් නිර්මාණයක්

සුමිත්ත අමරසිංහගෙන් අලුත් නිර්මාණයක්

අපි විවාහයට දින නියම කර ගත්තට පස්සේ සැන්දෑ කාලයක විජේ අයියයි මාලිනී අක්කවයි බලන්න ගියා. ඒ දෙන්නා අපිව සුහදව පිළිඅරගෙන ආ ගිය තොරතුරු කතා කරලා, රවීයි විජේ අයියයි එංගලන්තේ ගිහින් එනකොට ගෙනාපු දේවල් ගැනත් කතා කළා. රවී මට ගෙනාපු හුඟාක් දේවල්වලට සමානම දේවල් තමයි විජේ අයියා මාලිනී අක්කටත් ගෙනැත් දීලා තිබුණේ. දෙන්නම හුඟාක් එකතැනින්ම තමයි අරන් තිබුණේ.

මට ගෙනත් තිබුණ මාල වළලු කරාබු ඒ විදියම දේවල් විජේ අයියා මාලිනී අක්කටත් ගෙනත් දීලා තිබුණා. රවී අපි දෙන්නටම බ්‍රේස්ලට් දෙකක් අරන් ඇවිත් තිබුණා. එකක රවීගේ නම කොටල අනිත් එකේ මගේ නම. විජේ අයියත් ඒ විදියම බ්‍රේස්ලට් දෙකක් ගෙනත් තිබුණා විජේ අයියගේ නමයි මාලිනී අක්කගේ නමයි සඳහන් කරලා. රවීයි විජේ අයියයි ඒවා ගත්ත තැන් ගැනයි ඒවා ගන්න කොට වෙච්ච සිදුවීම් ගැනයි මතක් කර කර සතුටු වුණා. මාලිනී අක්කගෙයි මගෙයි ඇඳුම්වල මාරු කරපු අත්සන් දෙක ගැනත් කියලා හිනා වුණා.

අපි ඔක්තෝබර් තිස් එක් වෙනිදා බඳිනවා කියලා කියපුවාම විජේ අයියා මාලිනී අක්කගේ පැත්තට හැරිලා කිව්වා මාලිනී එහෙනම් අපත් එදාටම බඳිමුද කියලා. මාලිනී අක්කත් කිව්වා හොඳ අදහසක්. කෝකටත් දිනේ වෙන් කරලා තියාගමු කියලා. ඉන් පස්සේ නම් ඒ යෝජනවට මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ. කාලය ගෙවිලා යනකොට අදහසත් ගෙවිලා යන්න ඇති.

මඟුල් ගෙදරට අරින ආරාධනා පත්‍රය හදන්න සුමිත්ත අයියා බාර ගත්තා. සුමිත්ත අයියා වැඩක් බාර ගත්තොත් ඒක ගලේ කෙටුව අකුර වගේ හරියට වෙලාවට, තිතට කිසිම අඩුපාඩුවක් නැතිව කරන බව අපි හොඳාකාරවම දන්නවා. රවී තාමත් කියන්නේ සුමිත්ත අමරසිංහ තරම් තමන් කරන ඕනැම වැඩක් හරිම ක්‍රමානුකූලව කැපවීමෙන් ඉතාම පිළිවෙලට කරන වෙනත් කෙනෙක් තාම ජීවිතේට මුණගැහිලා නැහැ කියලා.

ඉතින් සුමිත්ත අයියට ඕනෑ වුණා ඒ කාලේ කවුරුවත්ම නොකරපු විධියට ආරාධනා පත්‍රයට අලුත් යමක් එකතු කරන්න. ඒ හින්දා අපි දෙන්නගේ පින්තූරයක් සහිතව ආරාධනා පත්‍රය හදන්න අයියා වෙහෙස වුණා. සුමිත්ත අයියා දවසම (Dark Room) කලුවර කාමරේට වෙලා පින්තූර බල බල කපල කොටලා ඒක හදන්න ඕනෑ මොන විදියට ද කියලා කල්පනා කළා.

අන්තිමේදී අයියගේ හිතෙන්ම මේ විදියට හදනවා කියලා කල්පනා කළා. අන්තිමේදී අයියගේ හිතෙන්ම මේ විධියට හදනවා කියලා සැලසුම් කරගෙන ඒක හදන්න පටන් ගත්තා. හැබැයි අපිට නම් පෙන්නුවේ නැහැ. අපි දන්නවා ඒක හොඳටම හදලා ඉවර කරලා නැතිව අපිට පෙන්වන්නේ නෑ කියලා. ඒක ඉවර කරන තුරු ඉන්නේ නැතිව ඒක මොන විදියේ දෙයක් ද කියලා බලන්න මට ඉස්පාසුවක් නැහැ. මම අක්කට කිව්වා අනේ අක්කේ මට කාඩ් එක කොහොම එකක් ද කියලා පොඩ්ඩක් පෙන්නන්න කියන්නකෝ කියලා.

අම්මෝ මට නම් බැහැ වැඩ කරන වෙලාවට ඕවා අහන්න. ඔයා දන්නවනේ අයියගේ භාග වැඩ නැහැ කියලා. ඕක ඉවර කරලා නීට් කරලම තමයි බලන්න වෙන්නේ. අක්කා එහෙම කිව්වත් මම පින්සෙන්ඩු වුණා. මම මෙහෙම දෙතුන් සැරයක්ම අහනකොට අක්කා කිව්වා එහෙනම් සුමිත්ත අයියා කොහේ හරි ගියාම ඩාක් රූම් එකට ගිහින් ටක් ගාලා බලලා එන්න කියලා. මම සුමිත්ත අයියා ගෙදරින් යන වෙලාවක් බල බලා හිටියා.

එදා සුමිත්ත අයියා ගෙදරින් ගියේ සුමිත්ත අයිය ගාව වැඩ ඉගෙන ගනිමින් සිටි මනමේන්ද්‍ර අයියට (පසු කලෙක ප්‍රවීණ චිත්‍රපට කැමරා ශිල්පියෙක් වු චන්ද්‍රලාල් මනමේන්ද්‍ර) වැඩේ පවරලා. සුමිත්‍රා අක්කා කිව්වා අනේ මනමේන්ද්‍ර, සුමිත්ත එන්න කලින් ප්‍රීතිට ඔය කාඩ් එක ටිකක් පෙන්වන්න කියලා.

පසුගිය කොටස්

* රවීගෙන් ඇඳුමක් විජයගෙන් අත්සනක්
 

* බොඳ මීදුම් කඳු රැල්ලේ

* පවස නිවන දිය පොදක් නොවී ඔබ

* අත්තිකාරම්වලින් අල්මාරියක්

* පුදුම වාසනාවන්ත කෙල්ලෙක්


* එංගලන්තෙන් මඟුල් ඇඳුම්