වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඈත අතීතයේ සිහින මැදින් යළි ජීවනයට යනවා

ඈත අතීතයේ සිහින මැදින් යළි ජීවනයට යනවා

මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර

ගේයපද රචකයකු තමා සිත්ගත් ගීත පිළිබඳ කරන ආවර්ජනය

අතීත සිතුවිලිවල අතර සැරිසරන්නට තරාතිරමක්, උගත්කමක් අවශ්‍ය නොවේ. නූගතකුට වුව ද, උගතෙකුට වුව ද ඒ අතීතය සිහිපත් වීම, සිහිපත් කිරීමට අවශ්‍ය වන්නේ සිදුවීම් පෙළක්මය. මෙවර අතීත මතකය සිහි කෙරෙන ‘මතක ගී පොත’ ට සහභාගි වන්නේ ආචාර්ය ප්‍රනීත් අභයසුන්දරය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයෙහි මහාචාර්ය ලෙස කටයුතු කරන ඔහු ලියූ ‘මම නම් ආසයි අහන්න නයනා’, ‘වරදක් කළත් හිතකින් නොවේ’, ‘ගීතාංජලී ඕන් නමෝ’ ගීත ශ්‍රාවකයා අතර ජනප්‍රිය වූ ගීත කිහිපයකි.

මා ගී පද රචකයෙක් වීමේ ගෞරවය හිමි විය යුත්තේ අම්මාටය. මා මෙන්ම තාත්තා ද ගී පද රචකයෙක් බවට පත් වන්නේ ඇය නිසා බව මම කියමි. කල්‍යාණි අභයසුන්දර වන ඕ ආචාර්ය අමරදේව, විශාරද ඩී. ආර්. පීරිස්, වාද්‍ය නිපුන් පී. වී. නන්දසිරි, එච්. ඩී. එස්. ජයසේකර වැනි කලා ශිල්පීන් සමඟ භාරතයේ ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ සංගීතය හැදෑරුවාය. එකල පටන් ලැබුණු ඒ කලා ඇසුර පියාණන් සමඟ විවාහ වූ පසුව ද වර්ධනය වූවා මිස අඩු නොවූයේය. එමෙන්ම අම්මාත්, තාත්තාත් දෙදෙනාම කලාවට බෙහෙවින් ආදරය කළහ.

ඒ කලාවට හදවතෙහි වූ බැඳීමම කලා පරිසරයක් අප නිවසෙහි ගොඩ නැඟීමට හේතු වූවා යැයි පැවසීම මුසාවක් නොවේ. ඒ නිසා අප නිවෙසට ආවේ ගියේ අම්මාටත්, තාත්තාටත් හිතැති හිත මිතුරන්ය. කලා හිත මිතුරන්ය. එසේ පැමිණි ඔවුන් බොහෝදෙනා කතාබහ කළේ හුදු ඕපදූප නොවේ. ගීතය පිළිබඳවත්, කලා ලොව පිළිබඳත්ය. ඒ අවස්ථාවල කුඩා දරුවකු වූ මා ඔවුන්ගේ සියොලඟ වෙලෙමින් ඔවුන් කරන කතාබහවලට ඇහුම්කන් දුන්නේ දැඩි කැමැත්තෙනි.

මගේ තාත්තා කිවිපති විමල් අභයසුන්දර ලෙස කලා ලොවේ ප්‍රකට වන්නට පළමුව ගීත නාටක කිහිපයක් ගුවන් විදුලියට රචනා කළ බව මගේ මතකයේ ලියැ වි තිබේ. ඒ ද මානවසිංහයන්ගෙන් ඉනික්බිතිවය. ඉන් පසු ඔහු අතෙන් ලියැවුණු වසන්තා සන්දනායක ගැයු ‘ධර්මරාජා නමාමි’, ‘දොළ ළඟ ගුරු පාර දිගේත්, ආචාර්ය අමරදේව, ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග ගැයූ ‘ධර්මදීපනී ලංකාධරණී’, මහාචාර්ය සනත් නන්දසිරි ගැයූ ‘අලුත් ඉරක් පායා නව ලෝකේ’, ‘ඉන්ද්‍ර මගේ සිත’, ‘නිබ්බුත පද’ වැනි ගීත බරසාරය.

මා අගයනා, සිත් බැඳුණු මේ ගීතය ද ඔහු සුරතෙන් පද බැඳුණු ගීතයකි.

ආචාර්ය අමරදේවයන් අපේ තාත්තා හමුවීමට පැමිණි එක් දිනයක ඔවුන් ගීයක් සකසන අයුරු පාසලේ සිට ගෙදර පැමිණි මම අසා සිටියෙමි. ඒ අයුරෙන් ලියැවුණු මේ ගීතය පළමුව මට ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ ඉන්දියාවේදීය. ඒ මා ඉන්දියාවේ බරණැස් හින්දු විශ්වවිද්‍යාලයට ගොස් සමාජ විද්‍යා විෂයයෙන් දර්ශන ශූරී උපාධිය ගැනීමට ක්‍රියාත්මක වූ සමයේය. ඒ පසුබිම මතකයට නැඟෙන විට මට ජීවිතයට අමතක කළ නොහැකි අපූරු හිමිවරුන් කිහිප නමක්ම සිහියට නැඟේ.

ඒ මාපලගම විපුලසාර, මාඉටිපේ විමලසාර, දොඩම්ගොඩ රේවත, මේධානන්ද හිමිවරුන්ය. එහි විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ පටන් උන්වහන්සේලා මට බොහෝ උදව් උපකාර කළ අයුරු මැවි මැවී පෙනේ. එවැනි පරිසරයක වෙසෙමින් මම මේ ගීතය ඇසූ අයුරු මෙලෙස සිහිපත් කරමි. ඒ බරණැස් ඉසිපතන බිමේ වූ මූලගන්ධ කුටි විහාරයේ වාදනය වූ ධම්ම චක්කපවත්තන සූත්‍රයට සවන් දීමෙන් අනතුරුව වග මගේ මතකයේ ලියැ වී තිබේ. ඒ ගීතය ඇසූ සැනෙන් මගේ දෑසෙන් කඳුළු වැල් ගලා හැලුණේ දිය උල්පතකින් දිය උනන්නා සේය. ගීතයේ ගාම්භීර ප්‍රකෘතිය, අප ජන විඤ්ඤාණයට කා වැදුණු බුද්ධාලම්භන ප්‍රීතිය, අනගාරික ධර්මපාලතුමාගේ ශාසනවීර, ධර්ම වීර ධීර ක්‍රියා කලාපය මගේ මනැසේ මැවී පෙනෙන්නට වූයේ චිත්‍රපටයක් නරඹන්නාක් මෙනි.

මේ වසරේ සැප්තැම්බර් 17 වැනිදාට අනගාරික ධර්මපාලතුමා ඉපැදී වසර 150 ක් සපිරෙන්නේය. රටත්, ජාතියත් වශයෙන් ආධ්‍යාත්මිකව පිබිදී ස්වශක්තියෙන් කම්මැලිකම හා අලසකම දුරලා නැඟිටින සැටිත්, ආර්ථික ශක්තියෙන්, දේශපාලනික සෛ්වරීත්වයෙන් අවදි වන සැටිත් එතුමා අපට කියා දුන්නේය. මේ ගීතය අසන සෑම විටෙකම අප කොතරම් ඒ කරුණු අමතක කර ඇත්තේදැයි මට සිහිපත් වන්නේ නිතැතිනි.

එපමණක් නොව කොට කලිසමක් ඇඳ පාසල් යන කොලු ගැටයකුව සිටි සමයේදී මා මහාචාර්ය සුනිල් ආරියරත්න යන්ගේ කවි ගී පිළිබඳ ඉගෙන ගැනීමට ඔහුගේ නිවෙසට පිවිසි අයුරුත් මේ ගීතය අසන විට සිහිපත් වෙයි. එක් අවස්ථාවකදී ඔහු පද බඳින ලද විශාරද නන්දා මාලිනිය ගැයූ අනගාරික ධර්මපාලතුමන් පිළිබඳ කියැවෙන ගීතය අසන විටෙක මගේ මතකයට නිතැතින්ම පිවිසෙන ගීතයක් වෙත් නම් ඒ තාත්තා ලියූ මේ ගීතයයි. ඉන් නැඟුණු නොමඳ රසයයි.

සාරානාථයෙ මිගදායේ
බාරණසියේ ඉසිපතනේ
ධම්ම චක්ක දේශනය පැවැත් වූ
ගෞතම සම්බුදු ශාක්‍යමුණී

ශුද්ධ භූමි වන පුණ්‍ය භූමි වන
මහර්ෂී ඉසිපතනාරාමේ

අනගාරික ශ්‍රී ධර්මපාල කෘත
මූලගන්ධ කුටි විහාරයේ

සකල සුධීජන මන මණ්ඩිත
ජගතා නන්දිත සිරිපෑ පංකජ

වන්දේ අභිවන්දේ ප්‍රණාමාමී
සාධු සාධු සම්බුද්ධ ප්‍රදීපේ

 

ගේය පද – විමල් අබේසුන්දර

සංගීතය – විශාරද ඩබ්. ඩී. අමරදේව

ගායනය – විශාරද ඩබ්. ඩී. අමරදේව

මේ ගීතය ගයන ඩබ්. ඩී. අමරදේවයන්ගේ ස්වරය මා යළිත් වරක් රැගෙන යන්නේ දුරාතීතයටය. එනම් අම්මා පිළිබඳ මතකය වෙතටය. ඇගේ කටහඬ මට සෑම විටෙකම ඇසෙන්නේ සිහිනෙන් ගෑ මුදු සුවඳක් ලෙසිනි . එවිට කුඩාකල මා ඈ තුරුලෙහි හොවා කව් ගි ගයනා අයුරු ද මා මනසෙහි සිත්තම් වෙයි. නිවෙසෙහිදී කොතරම් ඈ කවි ගී ගැයුව ද ග්‍රැමෆෝන් තැටිවලට නැඟුණු ඇගේ කටහඬ මට අසන්නට ලැබුණේ අම්මා පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කළ සමරු වැඩසටහනකිනි. ඈ මිය ගියේ 1998 වසරෙහි වෙසක් මස 11 වැනිදා වෙසක් පෝ දිනයෙහිය. මේ ගීතය මගේ ඒ මතකය අවදි කරවයි.

ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුළ තෙරැපෙනවා

ආ මග දෑලේ පිපි මල් පර වී නෑ ඵල හට ගන්නේ
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ උන්මය රිදවන්නේ

තණ්හා දෑතින් පැතුමේ වරපට // ගිලිහී බිම වැටිලා
දෛවයේ ගොනු අද ජීවන ගැල ගෙන ආ මග දිග යනවා
ඈත අතීතයේ සිහින මැදින් යළි ජීවනයට යනවා
 

ගේය පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර

සංගීතය – ජයතිස්ස අලහකෝන්

ගායනය – දේවානන්ද වෛද්‍යසේකර

‘සාමා’ චිත්‍රපටයේ එන මේ ගීතය හා සසැඳුනු අපූරු කතාවක් මේ පිටුපස ඇත. එහිදී මේ ගීතය ලියන්නට පළමුව ඇරැයුම් ලද්දේ මඩවල එස්. රත්නායකයන්ය. ගීය ලියන්නට ඇරැයුම් කරන්නට ගිය ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ලවාම ඔහු ඒ ගීතය රචනා කර වූයේ මඩවල එස්. රත්නායකයන් කෙරෙහි තිබෙන්නා වූ පරාර්ථකාමී, පරිත්‍යාගශීලී ගුණය කෙබඳු ද යන්න අපට සිහිපත් කරමිනි. මේ ගීතය මට ඒ අතීතය සිහිපත් කරයි.

ගීතය අසන සෑම විටම ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙක වන සංයෝගයත්, වියෝගයත් සිහි වන්නේය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම සංකල්පය මනසට නැඟෙන්නේය. මහගමසේකර නිරතුරු සිහි කළා මෙන් මරණය - ඇතිවීම – නැතිවීම මතකයට නැඟෙන්නේය. එය එසේ වන්නේ අප අද වන විට හිරි ඔතප් සිඳ බිඳගත් අකාරුණික, මෛත්‍රී නොවන සමාජයක් බවට පත්ව සිටිමින් සිහින දකින නිසාදැයි මම නොදනිමි. ලෞකික ආශාවල ඇලී ගැලී සිටින සත්ත්වයන්ගේ ගොඩට මා ද ඇතුළත් වෙයි. එසේ පවසන්නේ 1989 ‘සංහිඳ පාමුල’ ගීත රචනා සංග්‍රහයක් එළිදැක් වූ පසුව මතු දිනෙක ද ගී පද මාලා සමුච්චයක් එළිදැක්වීමේ කැමැත්තෙන් මා පසුවන බැවිනි. බුදු ගී ලිවීමත්, ඇසීමත් අතිශය ප්‍රියංකරය. දේශ වාත්සල්‍යය මෙන්ම ආධ්‍යාත්මික බව සඳහා සත්‍යසායි භජන් ගීත ඇසීම ද මගේ ප්‍රියංකර අත්දැකීමකි. එවැනි බොහෝ ප්‍රියංකර අත්දැකීම් රැසක් හදවතෙහි ඇති කරන මේ ගීතය ද නිතර ඇසීමට මම ප්‍රිය කරමි.