වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




පුඤ්ඤසෝම නවත්වන්න උත්සාහයක් තිබුණා

පුඤ්ඤසෝම නවත්වන්න උත්සාහයක් තිබුණා

එහි අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය දැන් කතා කරන්නේ මෙහෙමයි

කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටය ගැන දැන් ඔබ තුළ ඇති හැඟීම කෙබඳුද?

ආරම්භක සිනමා ශාලා රාශියක දින සියය ඉක්මවා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනු ලැබුවේ සෑහෙන කාලයකට පසුවයි. කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටය නිසා මෑත කාලයේ සිනමාව කිසියම් පිබිදීමකට ලක්වීම ගැන මා ඇත්ත වශයෙන්ම සතුටට පත් වෙනවා. චිත්‍රපටය නිර්මාණය කිරීමට දායක වූ නිෂ්පාදකවරුන්ටත්, නළු නිළි කාර්මික ශිල්පීන්ට මෙන්ම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ සිනමා ශාලාවලටත්, සිනමා එන්ටර්ටේන්මන්ට්, රිද්මා ඇතුළු අනෙකුත් සිනමා මණ්ඩලවලටත් මේ මොහොතේ මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නට කැමැතියි.

පුඤ්ඤසෝම දිව්වේ ඓතිහාසික කතන්දර නිසා හෙම්බත් වී සිටි ප්‍රේක්ෂකයින් වෙනසක් බලාපොරොත්තු වූ නිසාද?

ඒ කාරණයම නිශ්චිත වශයෙන් බලපෑවා යැයි මා කියන්නේ නැහැ. තමන්ට හෘදයාංගමව වැළඳ ගත හැකි නම් මොන ශෛලියේ චිත්‍රපටයක් සමඟ වුවත් ප්‍රේක්ෂකයෝ බැඳෙනවා. සැහැල්ලු විනෝදාත්මක චිත්‍රපටවලට වැඩි ප්‍රේක්ෂක පිරිසක් කැමැතියි.

කාටුන් ශිල්පීනුත් ඔබට උදව් කළා?

ඔව්. කාටුන් ශිල්පීන් ‘පුඤ්ඤසෝම’ යන නමින් පොලිස් නිලධාරීන් හඳුන්වනු ලැබුවා. එය මා බලාපොරොත්තු නෙවූ දෙයක්. කෙසේ හෝ චිත්‍රපටය ජනප්‍රිය වීමට එම කාරණාත් බලපාන්නට ඇති කියා මට සිතෙනවා.

දැවැන්ත චිත්‍රපට තැනු නිෂ්පාදකවරු එම චිත්‍රපට සාර්ථකව ආදායම් උපයද්දී, පාඩු ලැබූ බැව් පවසනවා. ඇත්තටම පුඤ්ඤසෝම ලාභද?

එවැනි දැවැන්ත චිත්‍රපට නිපද වූ සමහර චිත්‍රපට නිෂ්පාදකවරුන් තම චිත්‍රපටයෙන් එසේ පාඩු සිදු වූයේ යැයි පවසන්නේ ආදායමට සාපේක්ෂව නිෂ්පාදනයට ගිය වියදම අධික වූ නිසා විය හැකියි. සමහර විට මේ සඳහා අනවශ්‍ය වියදම් හා නිසි කළමනාකරණයක් නොමැති වීම ද බලපාන්නට ඇති. චිත්‍රපටයක් හැදීමත් එක්තරා අන්දමක වෙළෙඳ කටයුත්තක්. ඕනෑම වෙළෙඳ කටයුත්තකදී මෙන් වියදම අවම කර ගැනීමේදී එහි අවදානමත් අඩු වෙනවා. මේ කාරණා නිසා කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයත් එහි නිෂ්පාදකයින්ට තමා ආයෝජනය කළ මුදල හා සමාන තවත් ලාභ මුදලක් ලබා දෙන්නට මට පුළුවන් වුණා. එමෙන්ම ලැබූ ලාභයෙන් එම චිත්‍රපටයට සම්බන්ධ වූ නළු නිළි හා කාර්මික ශිල්පින්ට පාරිතෝෂිත දීමනාවකුත් ගෙවීමට අපට හැකි වුණා.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී ඔබට වෙනත් පාර්ශවලින් බාධක එල්ල වුණාද?

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය දැක මේ චිත්‍රපටයෙන් පොලිස් සේවය හෑල්ලුවට ලක්වන බව කියමින් සමහරුන් පැමිණිලි කර තිබුණා. එහි නිලධාරීන් වෙත මා කැඳවනු ලැබුවා. මා මෙම චිත්‍රපටය නිර්මාණය කිරිමට පෙර එහි අනුමැතිය පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන තිබුණා. මේ චිත්‍රපටයේ සමහර කොටස් ඉවත් කරන ලෙස නිලධාරීන් මට දන්වා සිටියත් මා ඊට කෙසේවත් එගඟ වුණේ නැහැ. මේ වන විට චිත්‍රපටය කිසිදු දර්ශනයක් කැපීමකින් තොරව ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලබා තිබුණා. රැඟුම් පාලක මණ්ඩලයේ ඇති වීඩියෝ පිටපත නරඹා චිත්‍රපටයට ලබා දී ඇති සහතික පත අවලංගු කර, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඉදිරියේ නරඹා යළිත් එහි අනුමැතිය ලබා ගත යුතු බවත් ඔවුන් යෝජනා කර තිබුණා. නමුත් රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා තරයේම ඊට තම විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.

අකමැත්තෙන් වුවත් නඩුවක් සඳහා මා ද ලිය කියවිලි සූදානම් කරගෙන සිටියා. කෙසේ හෝ නඩු පැවරීමක් සිදු වුණේ නැහැ. පොලීසිය කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ සියලු කාරණාවලින් ඉවත් වූ බවත් පසුව මට දැනගන්නට ලැබුණා. මෙහිදී මා වෙනුවෙන් නොව නිර්මාණය වෙනුවෙන් පෙනී සිටීම ගැන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු එහි අනෙකුත් සාමාජික මහතුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා.

චිත්‍රපටය ප්‍රදර්ශනයේදී මේ කාරණය ප්‍රචාරයට යොදාගෙන ඔබට තව තවත් චිත්‍රපටය සාර්ථක කරගන්න තිබුණා නේද?

නැහැ. මට එහෙම බාල ප්‍රචාරයක් උවමනා වුණේ නැහැ. අපිට පොලීසියට අවමානයක් කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. දැන් මේ කතාව මා හෙළි කරන්නේ මුල්වතාවට. චිත්‍රපටය තිරගත කොට අවසන් වූ පසුවයි.

පුඤ්ඤසෝම වඩා නැරැඹුවේ පොලිස් නිලධාරීන් හා ඔවුන්ගේ භාර්යාවන් බවට මතයක් තිබෙනවා?

ඔව්. සමහර සිනමා ශාලා කළමනාකරුවන් ඒ බව සනාථ කළා. එයටත් වඩා සමහර පොලිස් නිලධාරීන්ගේ භාර්යාවන් පැමිණ තිබුණේ තමන්ගේ මහත්තයා ගැන චිත්‍රපටයේ මොනව හරි ඇතිද කියලා බලන්න.

පුඤ්ඤසෝම චිත්‍රපටයේ ඩී. වී. ඩී. අලෙවි කළා නම් විශාල ආදායමක් ලැබිය හැකියි නේද?

ඔව්. ඩී. වී. ඩී. පට අලෙවියෙන් අද නිෂ්පාදකයාට අමතර මුදලක් උපයා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. නමුත් ලංකාවේ තවමත් ඩී. වී. ඩී. වෙළෙඳපොළ වෙනත් රටවල මෙන් විශාල නැහැ. එනිසා චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කාලයේම ඩී. වී. ඩී. පිටපත් නිකුත් කිරීම හානි කරයි. චිත්‍රපටයක ඩී. වී. ඩී. පිටපත් නිකුත් කළ යුත්තේ අඩුම තරමින් චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කොට වසරක්වත් ගත වූ පසුවයි.

එහෙත් අන්තර්ජාලයටත් මුදා හැර තිබෙනවා?

ඔව්, ඒවා සිනමා නිර්මාණයක වටිනාකම නොදන්නා බාලයන්ගේ තුප්පහි වැඩ.

ඒ පිළිබඳවත් ක්‍රියා මාර්ග ගෙන තිබෙනවාද?

ඔව්. චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් වන සැණෙන් එය මකා දැමීම දැනටමත් අප ආයතනයකට බාර දී තිබෙනවා. එමෙන්ම ඒවා නිකුත් කරන අයගේ ගිනුම් හා සයිබර් අවකාශත් අහෝසි වෙනවා.

චිත්‍රපටය දින සියයක් ඉක්මවා සාර්ථක ලෙස ප්‍රදර්ශනය වුණා. එමෙන්ම අභියෝග රැසකට මුහුණ දුන්නා. ආපසු හැරි බැලීමේදී ඔබට සිතෙන්නේ කුමක්ද?

හොඳ ප්‍රහසන චිත්‍රපටයක් ලෙස ලාංකික සිනමා වංශ කතාවටත් එකතු වෙනවා නම් තවත් සතුටුයි.

කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයෙන් පසු ඔබගේ ඉදිරි නිර්මාණ, වැඩ කටයුතු මොනවාද?

කොස්තාපල් පුඤ්ඤසෝම දැන් අවසානයි. මහේන්ද්‍ර පෙරේරා පොලිස් ඇඳුම ගලවා ලැන්ටි නැමැති විනෝදශීලී පුවත්පත් කලාවේදියාගේ චරිතය සඳහා රොඩ්නි වර්ණකුල සමඟ සූදානම් වෙනවා. පබෝදා සංදීපනී යළිත් හැඩකාර යකින්නියක ලෙස බහුබූතයෝ 2 චිත්‍රපටය සඳහා වෙස් ගැන්වෙනවා. ඒ සමගම පූජා උමාශංකර් සදානුස්මරණ ඓතිහාසික පටාචාරා චරිතය සඳහා සූදානම් වෙනවා. මේ වන විට මෙම චිත්‍රපට දෙකේම වැඩ කටයතු ආරම්භ කර තිබෙනවා.