|
81 හැවිරිදි මහා ගායිකාව සමඟ විනාඩි දහයක් . . .
ආශා බෝස්ලේ ‘සරසවිය’ සමඟ කතාබහක . . .
සාකච්ඡාව මංජුල සේනාරත්න ප්‍රංශයේ සිට
‘ඔබේ කාලය විනාඩි දහයයි . . .’ තරුණිය කීවාය. මම හිස වැනුවෙමි. ‘පිංතූර ගන්න බැහැ. සමරු සටහන් ඉල්ලන්න එපා . . . ඇය හුඟක් මහන්සියෙන් ඉන්නේ . . .’ තවදුරටත් නොනවත්වා දොඩනා තරුණියට කන් නොදී අමුත්තන් රැඳී සිටිනා මනරම් ශාලාවෙන් පිටව, යහමින් එළිය කළ කොරිඩෝව දිගේ ඇවිද ගියෙමි. නියමිත කාමරය වෙත ළං වෙද්දී දොර අසල සිටගෙන සිටි ඉන්දීය ජාතිකයෙක් දොර විවර කර ඇතුළු වන ලෙස සුරතින් සංඥාවක් කළේය. ඇය මා ඉදිරියේ සුව පහසු අසුනක වාඩිගෙන සිටියාය. යන්තම් සිනහ වී දෑත් එක්කොට ‘නමස්කාර්’ යැයි කීවාය. මම ලංකාවේ සිනමා පුවත්පතකින් . . . මම කීමි. ඇය යළිත් සිනහ වී ඉදිරියේ ඇති අසුන පෙන්වමින් වාඩි ගන්නා ලෙස ඉල්ලා සිටියාය. ආශා බෝස්ලේ නමැති මහා ගායිකාව හමුවන්නට පැමිණීම අදහා ගත නොහැකි සංසිද්ධියකි. මේ හමුවීමට පෙර දිනයේ පැරිසියේ සුප්‍රකට Theatre du Chatelet ශාලාවේ ඇය සංගීත ප්‍රසංයක් පැවැත් වූවාය. මේ ප්‍රසංගයේ අනුග්‍රාහකයන් අතර පැරිසියේ සිට අන්තර්ජාලය හරහා ප්‍රචාරය වන Teen Taal නමැති හින්දි ගුවන් විදුලිය ද විය. මේ ගුවන් විදුලි සේවයේ පුරෝගාමී චරිතයක් වන ප්‍රිති ශ්‍රිවස්තාවා ගේ කාරුණික සම්බන්ධිකරණය තුළින් ආශා බෝස්ලේ හමු වී මේ සාකච්ඡාව කරන්නට අවස්ථාව ලැබුණේ. මෙසේ දැක්වෙන්නේ ඒ සාකච්ඡාවයි.
ඔබ පසුගිය දින කිහිපය පුරාම යුරෝපයේ නගර කීපයක ප්‍රසංග පැවැත්වූවා. ඊයේ ප්‍රසංගයේදී අප දුටුවේ දශක කීපයකට පෙර ප්‍රසංග වේදිකාවේ දුටු ගායිකාවමයි. මේ ජවය ශක්තිය ඔබට ලැබුණේ කෙසේද? (ඇගේ වයස අවුරුදු 81 කි). (සිනහ වෙමින්) දෙවියන් වහන්සේ මට කටහඬ දුන්නා වගේම ශක්තියත් ලබා දුන්නා. ඒ වගේම ගීත ගැයීම මට අපහසුවක්, මහන්සියක් ගෙන දෙන කාර්යයක් නොවෙයි. ප්‍රසංග වේදිකාවේදී මම සාමාන්‍ය ජීවිතයේදීට වඩා සැහැල්ලුවෙන් සිටින්නේ. මේ තරම් කලක් මම ජීවත් වෙන්නට, මට ශක්තිය ලැබෙන්නේ සංගීතයෙන්. ප්‍රසංග වේදිකාවට ගොඩ නොවුණොත් මම අසනීප වෙන්න ඉඩ තිබෙනවා.
ඔබ දශක හයක කාලයක් ප්‍රසංග වේදිකාවේ රැඳී සිටිනවා. තාක්ෂණය බෙහෙවින් දියුණුව ඇති මේ යුගයේ ප්‍රසංගයක ගී ගැයීමත් පහසු කාර්යයක් වී තිබෙනවා නොවේද? ගී ගැයීම නොවෙයි පහසු වෙලා තියෙන්නෙ. ඒ හා බැඳී තිබෙන අනෙක් දේවල්. විශේෂයෙන් අද ප්‍රසංගයක් පැවැත්වීම හෝ සංවිධානය කිරීම, ඒ සඳහා සූදානම් වීම ඉතාම ඉක්මනින් සිදු කරන්නට පුළුවන්. පැරිසියේ ප්‍රසංගයේදී ඔබ දකින්න ඇති වාදක කණ්ඩයමේ හතළිහක් පමණ දෙනා හිටියා. මේ අය වේදිකාවට ඇවිත් සූදානම් වෙන්න ගත වුණේ පැයකට ආසන්න කාලයක්. අවුරුදු විස්සකට තිහකට කලින් මේ සඳහා පැය හයක් හතක් ගත වෙන්න තිබුණා. ඒ වගේම හැම දෙයක්ම නවීන තාක්ෂණය සමඟ බැඳී තිබෙන නිසා කාර්මික ශිල්පීන්ට හා වාදකයන්ට වරදින්න තියෙන අවස්ථාව අඩුයි. ගායකයා ගී ගයනවා. ප්‍රසංග වේදිකාවේදී තාක්ෂණයෙන් ගායකයාට ලැබෙන විශේෂ සහනයක් නැහැ.
එහෙත් නවීන තාක්ෂණය පිහිටෙන් අලුත් ගායක ගායිකාවන් විශාල වශයෙන් බිහි වෙනවා නේද? ගී ගයන්න බැරි අයටත් පරිගණක ආධාරයෙන් ගී ගයන්න පුළුවන් වී තිබෙනවා නේද? ඔව්. ඒත් ඉන්දියාවේ එවැනි අය සිටින්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. පසුගිය කාලයේදී අලුත් ගායක ගායිකාවන් සිය ගණනක් මා දුටුවා. ඔවුන් මා හමුවට පැමිණිලා ආශිර්වාද ලබා ගන්නවා. ඔවුන් මගේ ඉදිරියේදී ගීත ගයන කොට මා දන්නවා ඔවුන් දක්ෂ බව. අද ඉන්දියාවේ ප්‍රසිද්ධ හැම ගායක ගායිකාවක්ම ඉතාම කුඩා අවදියේ ඉඳන් ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කරපු අය. ඔවුන්ට ගීත කියන්නට පරිගණක වුවමනා නැහැ. අනෙක් අතට වැදගත්ම දේ තමයි ප්‍රසංග වේදිකාව. ප්‍රසංග වේදිකාවේ ගීත කියන්න පුළුවන් තැනැත්තාගේ දක්ෂකම ගැන සැකයක් නැහැ.
අද ඉන්දියාවේ සිටින ගායක ගායිකාවන් අතරින් ඔබ ප්‍රිය කරන්නේ කවුරුන්ද? බොහොමයක් සිටිනවා. නම් වශයෙන් කියනවා නම් හුඟාක් දෙනාගේ නම් කිව යුතුයි. (සිනහවෙමින්) ඔබේ පුවත්පතේ ඉඩ මදි වෙයි.
ඔබේ සංගීත දිවියේ ඉතාම සුන්දර නිර්මාණ කීපයක් ඔබ ආර්. ඩී. බර්මන් සමඟින් බිහි කළා. මේ අවදිය ගැන ඔබේ මතකය කෙසේද? පන්චම් (ආර්. ඩී. බර්මන් සංගීත ක්ෂේත්‍රය හැඳින්වූයේ මෙනමින්) සහ අනෙක් සංගීත අධ්‍යක්ෂවරුන් අතර වෙනස තමයි ඔහු ගීතයේ ආත්මය සොයා ගිය තැනැත්තෙක් වීම. ඇතැම් අධ්‍යක්ෂවරුන් චිත්‍රපට සඳහා ගීත නිර්මාණය කළත් ඔවුන් දන්නේ නැහැ එය රූප ගත කරන්නේ කොයි නළුවා ද නිළියක සමඟ ද කියලා. නමුත් ගීතයක් සම්බන්ධයෙන් පන්චම් පර්යේෂණ කරනවා. හරේ රාමා හරේ ක්‍රිෂ්ණා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සීනාත් අමාන්ගේ ගති පැවතුම් (චිත්‍රපටයේ) හැසිරීම් වැනි දේ පවා ඔහු අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කළා. ‘ඩම් මරු ඩම්’ ගීතය මා ගයන්නේ මත්වුණු විලාසයකින්. ඒ වගේම චුරාලියා ගීතය (යාදෝ කි බාරත් චිත්‍රපටයේ) සීනාත් වෙනුවෙන් මම ගායනා කළේ ප්‍රේමණීය හැඟීම් ඇති වෙන පරිද්දෙන්. මේ මඟ පෙන්වීම ලැබුණේ පන්චම්ගෙන්. ඔහු එක ගීතයක් සඳහා කරන කැප කිරීම ඉහළයි. එක චිත්‍රපටයක් නිමා කෙරුවට පසුවයි ඔහු තවත් චිත්‍රපටයක් භාර ගන්නේ. මේ කැප කිරීම අද ක්ෂේත්‍රයේ දකින්නට නැහැ.
ශ්‍රී ලංකාවේ අපි අදටත් වැඩිය ප්‍රිය කරන්නේ අතීතයේ ඇසුණු හින්දි චිත්‍රපට ගීත. අද බිහිවෙන ගීත කිසිවෙක් දන්නේ නැති තරම්. මෙයට හේතුව ඔබ දකින්නේ කොහොමද? මේක හුඟ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක්. මට සමහර වෙලාවට හිතෙනවා එය මාව වර්ණනා කරන්න කියන දෙයක් කියලා. එදා වගේම හොඳ ගායක ගායිකාවෝ අදත් බිහි වෙනවා. ඒත් තරගය වැඩි නිසා වැඩි කාලයක් රැඳෙන්න අමාරුයි. සංගීත අධ්‍යක්ෂවරුනුත් එහෙමයි. ඒ වගේම එදා අපිට රස විඳින්න තිබුණේ ගීත පමණයි. විනෝදය සඳහා තිබුණේ සිනමාව පමණයි. අද එසේ නොවෙයි. විනෝද වෙන්න මාර්ග විශාලයි. ලෝකයේ හැම පැත්තෙන්ම ගීත අපිට අහන්න ලැබෙනවා. අද ඉන්දියාවේ තරුණ පරපුර බටහිර ගීත වැඩියෙන් අහනවා. එදා එසේ නැහැ. ඒ වගේම අද අපේ සංවේදී හැඟීම් වෙනස් වෙලා. එදා ගීතයකින් ලබා දුන්න ආදර හැඟීම, පණිවුඩය අද අහන්න වර්තමාන පරපුර කැමැති නැහැ.
ගායනය යනු හැදෑරිය යුතු දෙයක්ද? නිසි අධ්‍යාපනයක් නොමැතිව ගායකයෙකු විය නොහැකිද? ගායකයෙකු වීමට හැකියාවක් අවශ්‍යයි. දෙවියන් වහන්සේ මුලින්ම ඔබට හොඳ කටහඬක් දායාද කළ යුතුයි. තමන්ගේ ඒ හඬ හඳුනා ගැනීමට ඔබට හැකියාව තිබිය යුතුයි. ඉන් අනතුරුව ගායකයෙකු වෙන්න ඔබට පුළුවන්. ඒත් ගායනය කියන්නේ වෘත්තියක්. හැම වෘත්තියක්ම වගේ ගායනයත් ඉගෙන ගත යුතුයි. ගායනය රසවත් වෙන්නේ අධ්‍යාපනය මතිනුයි. ගායනයේ විවිධ තැන්වලදී සුළු එකතු කිරීම් කරන්න හැකි වෙන්නේ ලබන අධ්‍යාපනය තුළිනුයි.
අද හුඟාක් සංගීත අධ්‍යක්ෂවරුන් ගායනයට එකතු වී තිබෙනවා. ඒත් කිසිම කෙනෙක් කැපී පෙනෙන ගායකයෝ වෙන්නේ නැහැ. ආර්. ඒ. රහ්මාන් ප්‍රකට සංගීත නිර්මාපකයෙක් වුණත් ගායනයට ඔහු දස්කම් දක්වන්නේ නැහැ. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? හොඳින් මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. එනම් සංගීත අධ්‍යක්ෂවරයා තනු නිර්මාණය කළත්, සංගීත සංකලනය සිදු කළත්, වාදකයන් තෝරා ගත්තත් අදටත් ගායක ගායිකාවන් තෝරා ගන්නේ නිෂ්පාදකයා බව. මක්නිසාද මුල් පෙළේ සිටින ගායකයන්, ගායිකාවන් අය කරන මුදල වැඩියි. නිෂ්පාදකයාට හැකියාවක් තියෙනවා නම් පමණයි ඔවුන්ව ගායනය සඳහා යොදා ගන්නේ. සෝනු (සුප්‍රකට ගායක සෝනු නිගම්) අද ඉන්දියාවේ ඉන්න දක්ෂතම ගායකයා. කිෂෝර් සහ රාෆි ගෙන් පසුව විවිධ සංගීත සීමාවන්වලට ගායනා කරන්න පුළුවන් එකම ගායකයා ඔහුයි. ඒත් අද ඔහු වැඩිය ගීත කියන්නේ නැහැ. ඔහු ඉහළ මුදලක් අය කරනවා. ඒ මුදල නොලැබෙනවා නම් ඔහු ගායනා කරන්නේ නැහැ. එය හොඳ දෙයක්. හැකියාවක් තියෙනවා නම් තමන්ගේ කීර්ති නාමය රැකගෙන සිටීම වැදගත්. සංගීත අධ්‍යක්ෂවරයා මුලින්ම නිෂ්පාදකයාට යෝජනා කරනවා මේ ගීතයට අහවල් ගායකයා හොඳයි කියා. සෝනුගේ නම යෝජනා වුණොත් නිෂ්පාදකවරයා ඔහුගේ මුදල ගෙවන්න කැමැති වුණොත් ගීතය සෝනුට යනවා. එහෙම නැතිනම් වෙනත් අයෙකුට හිමි වෙනවා. සංගීත අධ්‍යක්ෂවරයකු ගීතය ගායනා කරන විට එක තැනකින් කාර්යයන් දෙකක් සිදු වෙනවා.
ඒත් මේ කරුණ නිසා සැබෑ දක්ෂ ගායකයන්ට අවස්ථාවක් නැති වෙනවා නේද? අපේ ක්ෂේත්‍රය අපූරු තැනක්. කොතරම් දක්ෂතාවය තිබුණත් මදි රසික ඉල්ලුම නැතිනම්. එක් කාලෙක කිෂෝර්, රාෆි, මුකේෂ් වගේ ගායකයන්ට තිබුණු ඉල්ලුම අද ඉන්න කිසිම ගායකයෙකුට නැහැ. චිත්‍රපටය නරඹන රසිකයාට වැඩක් නැහැ ගීතය සෝනු නිගම් ගැයුවත් වෙනත් අප්‍රකට අයෙක් ගැයුවත්. ඔහුට වුවමනා සිතට වදින රිද්මය පමණයි. හින්දි සංගීතයේ ස්වර්ණමය යුගය නෙවෙයි මේ තියෙන්නේ. (මේ මොහොතේ මගේ කාලය නිමා වී ඇති බව කළින් මා සමඟ කතා කළ තරුණිය කාමරයට ඇතුළු වී කීවාය. අවසන් ප්‍රශ්නය අසන්නැයි ලැබූ නියෝගය මත මම මෙසේ ඇසුවෙමි).
ඔබ ගීත 13000 ක් ගයා තිබෙනවා භාෂා 18 කින්. මගේ රටේ සිංහල භාෂාවත් මෙයට ඇතුළත්. ඇයි ඔබ ලාංකික තරුණ ගායක යුවළක් (භාතිය සහ සන්තුෂ්) සමඟ සිංහලෙන් ගීතයක් ගායනා කරන්න හිතුවේ? මං කැමැතියි අලුත් පරම්පරාවට අත දෙන්න. මගේ සහායෙන් ඔවුන් ඉහළ තැනකට පත් වෙනවා නම් එය මගේ සතුට. මේ ජීවිතයේ මා හැම දෙයක්ම ලබා තියෙන්නේ. දැන් මගේ කාර්යය අනෙක් දක්ෂ අයට උදව් කරන එකයි. |