වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




කවදාවත් මම ආධුනික තත්ත්වයට වැටිලා නැහැ

කවදාවත් මම ආධුනික තත්ත්වයට වැටිලා නැහැ

සෝමතිලක ජයමහ

මට මගේම වෙච්ච මුල්ම සිංදුව
දස බිම්බර මාර සෙනඟ

‘සවස් වරුවේ ජන කවි ගායනා කෙරිච්ච ගෙදර ආලින්දෙට වට වෙච්ච දරු පැටව් හය දෙනකුගෙන් සතරවැනියා මං. අපේ අම්ම, අප්පච්චිල කුරුණෑගල – නක්කාවත්තේ ගැමි ගෙදරදි එහෙම අපටත් කියා දුන්නෙම සිව්පද. ඉතින් සංගීතයටත් මගේ ආසාව ඇති වෙන්නෙම මවුපියන් ඇසුරේ ගෙදරින්.

ගුවන් විදුලියත් ගමට ඇවිත් නොතිබිච්ච ඒ කාලේ කට පාඩමින් ගෙදර ගොඩ වදින අමුත්තන්ට ඇහෙන්න කවියක් දෙකක් කියන්නත් මට තිබුණේ ලොකු ආසාවක්. හැබැයි ඒ ආසාවෙ තරමටත් වඩා මගේ ලැජ්ජාව වැඩියි. අමුත්තන්ගේ පෙරැත්ත කිිරිල්ලට මං කවි කියන්නෙම තනියම කාමරේකට ගිහින් දොරත් වහගෙන. ඒව අහගෙන ඉන්න කට්ටිය කවි අහන්න ඕනෑ කාමරයෙන් එළියෙ ඉඳන් තමයි.

මේ සබකෝලය අවුරුද්දක් දෙකක් නෙවෙයි, ඉස්කෝලෙත් හයේ පන්තිය විතර වෙනකල්ම තිබුණා. ඒ විදියට කිසිම දේකට ඉදිරිපත් නොවෙච්ච මුළුගැන්විච්ච ළමයින්ගෙන් කෙනෙක් මං. අනිත් ළමයි එක එක විශේෂාංග රැස්විම්වලදී, සමිති සමාගම්වලදී ඉදිරිපත් කරනවා. මං ඒවා දිහා බලාගෙන රස විඳිනවා. හැබැයි දුරින් ඉඳන් විතරයි.

එහෙම වුණත් මට ඉදිරිපත් වෙන්නය කියලා කවුරුත් බල කිරීමක් කෙරුවෙත් නැහැ. ඒකට එක හේතුවක් තමයි ඒ කාලේ මං හිටිය නක්කාවත්ත මහින්ද මැදි විදුහලේ ඉගැන්නුව ගුරුවරුන්ගෙන් හුඟ දෙනක් අපේ නෑයෝ. හය ශ්‍රේණියේදිත් හිටිය ටීචර් නෑකමට මට අක්කා වෙන කෙනෙක්. නිශ්ශබ්දව පන්තියේ පැත්තකට වෙලා අනිත් ළමයින්ගෙන් වෙන් වෙච්ච හුදෙකලා ජීවිතයක් තමයි මං ගත කළේ.

ඔය රාහු දසාවට හෙනහුරා ලැබුවෙත් මේ මං මතක අලුත් කරන ඒ හය ශ්‍රේණියේ මං හිටිය කාලෙදිමයි. ඒ තමයි ජයසුන්දර කියන ඉස්කෝලෙට අලුතින් පත් වෙච්ච විදුහල්පතිවරයාගේ පැමිණීම. මං හිටිය හය ශ්‍රේණියත් හතේ පන්තියත් තිබුණේ ප්‍රින්සිපල්ගේ කාමරේ කිට්ටුව. ඉතින් අපි කරන කියන හුඟක් දේවල් ලොකු ඉස්කෝලේ මහත්තයට පේනවා. ටික දවසක් ප්‍රින්සිපල් උදේ රැස්වීමේදී ළමයි එළිදක්වන විශේෂාංග දිහා හොඳට බලන් හිටියා.

මේ වැඩේ හරි යන්නේ නෑ. හැමදාමත් මං රැස්වීමේදී දකින්නෙම එකම මූණු. හැමදාමත් හැංගෙන ගොයියො හුඟක් ඉන්නවා. මින් පස්සේ එහෙම බෑ. මට ඕනෑ හයේ හතේ පන්තිවල ඔක්කෝම ළමයින්ගේ නම් ලැයිස්තුවක්. ඒ හැම ළමයෙකුගෙම නම ලියූ තුණ්ඩුවක් මං මෙන්න මේ පෙට්ටියට දානවා. එයින් උදෑසන රැස්වීමේදී තෝරන තුණ්ඩුවේ නම කියැවෙන ළමයා තමයි විශේෂාංගයක් වේදිකාවේදී කරන්නේ. ඉතින් කොයි වෙලාවෙ තමන්ව වේදිකාවට කැඳවයිද දන්නේ නැහැ. හැමෝම ඒ වෙලාවට එළිදක්වන්න දෙයක් සූදානම් කරගන්නයි තියෙන්නේ.

එකසිය ගණනක් ළමයින්ගේ නම් ඔය පෙට්ටියේ තුණ්ඩු කෑලිවල ලියා තිබුණා. දැන් ඉතින් මේ මටත් වැඩ වරදින්න පුළුවනි කියලා මගේ හිතට තදට දැනුණා.

සංගීතය එතරම් ප්‍රසිද්ධ වෙලා නොතිබිච්ච ඒ කාලෙදි අපි ගීතයක් ඇහුවෙම ග්‍රැමෆෝන් තැටිවලින්. ඒත් ග්‍රැමෆෝන් තැටියක් ගමේ වාදනය කෙරෙන්නෙත් මඟුල් තුලාවක් වගේ කලාතුරකින් ගමේ තිබිච්ච උත්සවයක. ඒ. එම්. යූ. රාජ්ගේ ‘නාමෙ නොදිරනා’ තමයි මං බැරි වෙලාවත් වේදිකාවට කතා කළොත් ඉදිරිපත් කරන්න මං ටිකෙන් ටික පාඩම් කර ගත්ත සින්දුව.

මං හිතුව හරි. දවසක් වේදිකාවට එන්නය කියලා කියැවුණේ සෝමතිලක ජයමහට. දෙගිඩියාවෙන් ලැජ්ජාවෙන් ගොඩ වැදුනත් සින්දුව ලස්සනට කියැවුණා. එදායින් පස්සෙදි රහසකුත් හෙළි වුණා. ඒ වෙනින් මොකක්වත් නෙවෙයි මට සින්දු කියන්න පුළුවන්ය කියලයි.

මං සින්දු කියනවයි කියලා දැනගත්තාම උදේ රැස්වීම මෙහෙයවන්න බාර වෙච්ච මගේ යාළුවා සමරසිංහ කළේ කපටි වැඩක්. එයා රැස්වීම පටන් ගන්න කලින් මගේ නම ලියැවිච්ච තුණ්ඩුව තෝරගෙන පෙටිටියේ කට ගාවින්ම තියනවා. ඒ මාව වැඩිපුර වතාවක් ගෙන්වල සින්දු අහන්න හිතාගෙන සමරසිංහගේ උපාය හුඟක් දවසට සාර්ථකයි. නිතර නිතර වේදිකාවේ සින්දු කියලම දැන් මගෙත් සබකෝල ගතිය අඩුයි. දවසක් මං සමරසිංහට කිව්වේ,

‘ඔය වැඩේ කරන්නෙපා. එතකොට අනිත් අයට ඉදිරිපත් වෙන්න ඉඩ ලැබෙනවත් අඩුයි. ඔයා හවස සමිතියේ න්‍යාය පත්‍රයේ අගට හැම සමිති වාරයකටම මගේ සින්දුවක් දාන්න. සමරසිංහත් ඒ වැඩේට කැමැති වුණාම මං ඉස්කෝලේ සමිති සමාගම් අන්තිමේදිත් සින්දු කියන්න ගන්නවා. මගේ පාසල් ජීවිතෙත් ගෙවෙනවා.

දැන් මං තරුණයෙක්. මුල්ම රැකියාව විදියට විෂය භාර නිලධාරියෙක් විදියට පත්වීම ලැබුව ගුවන් විදුලියේ වෙළෙඳ සේවයට. නිල බලයෙන් මට මගේ නම දමාගෙන සින්දුවක් දෙකක් කියන්නත් බැරිකමක් තිබුණා නෙවෙයි. ඒත් කවමදාකවත්ම එහෙම කළේ මම නෙවෙයි. රාජකාරිය ඉෂ්ට කරගෙන මං හිටියේ මගේ පාඩුවේ.

මගේ පාසල් මිත්‍රයා සමරසිංහත් ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ රැකියාවකට පැමිණියේ ඔය අතර. සංගීත අංශයට තමයි යාළුවා පත් වුණේ. දවසක් මං වෙළෙඳ සේවයේ මගේ රාජකාරි කටයුතු කර කර ඉඳිද්දි ඇවිත් මගේ ඉදිරියේ හිට ගත්තේ එයා.

‘අදින් ඉවර වෙන්න තියෙන සරල ගී පරික්ෂණයට අපි එක්දහස් පන්සිය දෙනෙක් විතර මේ වෙද්දි පරික්ෂා කරලා ඉවරයි. සෝමතිලකත් එක්කරගෙන යන්නයි මං ආවේ’. මං අදිමදි කළේ එතැන හිටිය සංගීත ශිල්පීන් එහෙම හුඟ දෙනෙක් මං දන්න හඳුනන අය නිසයි. ඒත් සමරසිංහගේ බල කිරිල්ලට මං ශබ්දාගාරයට කර පොවද්දී විවේකය ගත කර කර හිටිය ශිල්පීන් එකට එකතු වුණේ එක මිනිත්තුවට. එදා ගායනා කළ ගීයට මට ලකුණු සියයකින් හැත්තෑවක් ලැබී තිබුණා. මටත් හිතුණෙම දැන්නම් සංගීතය හදාරන්නේ නැතුව බැරිම බවයි. ඩන්ස්ටන් ද සිල්වා තමයි ඒ කාලේ සංගීත පරිපාලක. මං සින්දුව කියද්දි එයාටත් ඇහිලා තියෙනවා.

මගේ යාළුවා සමරසිංහගෙන් ‘කවුද ඒ හාදයා’ කියලා ඩන්ස්ටන් මහත්තයා අහල තියෙනවා. යාළුවත් ‘එයා අපේ වෙළෙඳ සේවයේ කෙනෙක්නේ’ කියලා මගේ වගතුග සමරසිංහ කිව්වාම තමයි ‘ඇවිත් එයාට මාව හම්බ වෙන්න කියන්න’ කියලා තියෙන්නේ.

‘ඩන්ස්ටන් මහත්තයා සංගීතය උගන්වන්න ද කියලා ඇහැව්වොත් එහෙම උඹ බෑ කියලා එහෙම කියනවා නෙවෙයි’ කියලා තමයි මිත්‍රයා මාව යැව්වේ.

සංගීතය ඉගෙන ගෙන තියෙනවාද? සංගිතය පුළුවන්ද? කියලා ඇහැව්වාම නැහැයි කිව්වත්, සංගීතය ඉගෙන ගන්න කැමතිද ඇහුවාම මං පැනලයි ‘හා’ කිව්වේ. මට හොඳට මතකයි එතුමා අපිට සංගීත පන්තිය තිබ්බේ කොළඹ සුදර්ශියේදී. සංගීතයත් ඉගෙන ගනිද්දී දවසක් වෙළෙඳ සේවයේ මගේ මේසය ළඟට ඇවිත් හිටියේ විල්සන් ද අල්විස්, වයලින් වාදකයෙක් විදියට නම් දැරුව කෙනෙක් එයා.

සෝමතිලක අද හඳමාමා ළමා වැඩසටහනට සින්දු කියන්න හිටිය ළමයෙක් ඇවිදින් නැහැ. ඒ ළමය කියන්න හිටිය සින්දුව ඔයාට කියන්න බැරිද?

ඇහැව්වාම මං ගත් කටටම බැහැයි කිව්වේ වැඩ වෙලාවෙදි මට කොහොමටත් විදියක් නැහැනෙ කියලා හිනහවීගෙන. විල්සන් ඊළඟට ආවේ ඒ කාලේ ඩිරෙක්ටර් වෙලා හිටිය ලිවී ආර්. විජේමාන්නටත් කියලා මාව ඒ වැඩේට නිදහස් කරන්න අවසරයක් අරගෙන. ඔහොම තමයි ජීවිතේ මං මගෙම වෙච්ච මුල්ම සින්දුව කිව්වේ. ඒ තමයි ‘දසබිම්බර මාර සෙනඟ’. මං මගේ මංගල සරල ගීත වැඩසටහනේදී මුලින්ම ගැයුවෙත් ඒ ගීතය.

අපේ රටේ සංගීත ශිල්පින් වර්ගීකරණයට භාරතයෙන් දීපාල් භාත් සංගීත උපදේශකවරිය පැමිණියේ 1979 අවුරුද්දේ. මට ඒ පරීක්ෂණයේදී ලැබුණා විශිෂ්ට ශ්‍රේණියක්. සුළු පිරිසකට විතරක්ම ලැබිච්ච මේ ශ්‍රේණිගත කිරීමේදී මගේ සමර්ථයට හේතුව විදියට දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ ගායක පිරිසගෙන් ශ්‍රැතියට අනුවම ගායනා කරන ශිල්පියෙක් කියලයි.

මේ වර්ගීකරණයත් එක්කම මගේම ගීත හය ගණනේ අවුරුද්දකට වැඩසටහන් හතරකදී ගීත ගයන්නට මටත් අවස්ථාව ලැබෙනවා. එහෙම නොකඩවා ගී ගැයුවා නම් මට අඩුම ගණනේ අවුරුද්දකට මගේම ගීත විසි හතර ගණනේ එළිදක්වන්න තිබුණා. ඒත් මම මට ලැබෙන ලැබෙන ගී ගැයුවේ නැහැ.

මම රචනා කළ පදවැල්වලට තනුවක් මා විසින්ම යෙදූ ගීත දහසයක් විතර වෙනවා. එහෙම පද වැලින් හා සංගීතයෙන් සැඳෑ අඳුර, වත්සුණු සුවඳින්, දෙනුවර මින්පසු, සුනිල්වන් නුවන් යුග ඔය වගේ මගේම නිර්මාණත් බිහි වුණා. නමුත් ඒ කාලෙදි මං සිතුවේම මතු යම් දවසකදී මගේ නමින් පමණක්ම මේ ගීත පැවතීමට විද්වත්තු දෝෂාරෝපණය කරන්නට පුළුවනි කියලයි. ඒ නිසයි මං එම්. රාජපක්ෂ විදියට අන්වර්ථ නාමයක් පාවිච්චි කරන්න හිතුවේ. නමුත් මේ එම්. රාජපක්ෂ නමත් එක තැනකදි හැරුණේ මගේ අවාසියට. ඒ මං ‘මනමාල ගිරව්’ කැසට් පටය එළි දැක්වුවාම මේ කැසට් පටයේ පද රචනා සහ තනුවලට මුදල් ගෙවීම් කරද්දී එම්. රාජපක්ෂගේ කොටසටත් සෝමතිලක ජයමහ අයිතිවාසිකම් කියන්නේ කොහොමද කියලා ඇති වුණේ මතභේදයක්. සමහරු ඇහැව්වේ අනුන්ගේ ගීතවලට නම දාලා කැසට් කළේ ඇයි කියලයි.

ප්‍රවීණ නිවේදක පාලිත පෙරේරා ඒ වෙද්දි ජනප්‍රියව තිබුණු ආරාධනා වැඩසටහන මෙහෙයවමින් සිටියා. ඇත්ත කතාව දැනගත්ත පාලිත කිව්වේ ‘මට මේක රටටම හෙළි කරන්න ඕනෑ. ඒ නිසා ආරාධනා විකාශය කරද්දි සෝමතිලක එන්නම ඕනෑ කියලා.

‘ඔබේ සැඳෑ අඳුර ඉඳල නිර්මාණවලට එම්. රාජපක්ෂ කියලා ආරූඪ නමකින් පෙනී සිටියේ කවුද?’ එදා පාලිත ඇහැව්වාම මං ඇත්තම කිව්වා.

තවත් දවසක මට මගේම පද රචනාවක් නිසා ඇති වෙලා තිබුණේ දෙගිඩියාවක්. ඒ එයින් බෞද්ධ සාහිත්‍යයට අවැඩක් කළා කියලා චෝදනා නැඟෙයිදෝ කියලා. ඉතිං ගී පද රචනාවත් රැගෙන ගියේ විමල් අබේසුන්දරයන් හමුවට. ගිහින් විමසුවේ මේ ගීතය කියන්න හොඳද කියලයි. එතුමා පද රචනාව කියවා බැලුවා. අන්තිමේදී අදහස විදියට කිව්වේ ප්‍රතිනිර්මාණයක් විදියට මේකේ වරදක් නැහැ කියලයි. අන්තිමේදී ගීතයක් විදියට ‘නව දැළි හේනක’ ගීය එළිදුටුවේ එහෙම. ගීතයේ පද රචනාවට හේතු වෙච්ච තවත් රහසක් තිියෙනවා. මගේ මිතුරෙක් කොළඹ කිට්ටුව හිටියා. නිවාඩුවට මිත්‍රයාගේ ගෙදරට විවේකය ගත කරන්නට යන එන පුරුද්දක් මට තිබුණා. යාළුවාගේ මවුපියන් එහේ ගියාම මට කියන්නේම තවත් දවසක් දෙකක් නැවතිලා යන්නයි කියලයි. ඒ තරමටම එයාලා මාව සැළකුවේ එයාලගේ පවුලේම කෙනෙක් විදියට.

දවසක් මිත්‍රයාගේ අම්මා මට කතා කරලා කළේ ඉල්ලීමක්. ඒ මගේ මිත්‍රයාගේ ප්‍රේම සම්බන්ධයක පළහිලව්වක්. මිත්‍රයාගේ පෙම්වතියට තිබුණු අකමැත්ත නිසාම එයාලා මගෙන් ඉල්ලුවේ මිත්‍රයාට පෙම්වතියව අතහැර දාන්න උපදෙස් දෙන්නයි කියලයි. නමුත් මිත්‍රයාට ඒ විදිහේ බලපෑමක් නොකළත් මං දවසක් ‘ඔයා ආදරය කරන කෙනාට ඔච්චරටම ආදරේ එයා ලස්සනද?’ කියලා මං මිත්‍රයාගෙන් ඇහැව්වා. එයා කිව්වේ ‘නෑ, නෑ එහෙම එයා රූපයෙන් එච්චර ලස්සන කෙනෙක් නම් නෙවෙයි. ඒත් මං කාලයක්ම ඇසුරු කළ ප්‍රේමවන්තියව මට අමතක කරන්න බැහැයි’ කියලයි.

මමයි සිතයි එකම පොර බැඳිල්ලකට පැටලුණේ ඔන්න ඔය මොහොතේ ඉඳලයි. එක පැත්තකින් මිත්‍රයාගේ පිළිතුරින් සිතේ මැවුණේ ඇස දකින රූපයයි, හදවත හඳුනා ගන්නා රූපයයි අතරේ වෙනස. ඊට පිටුපසින් චිත්‍රපටයකදී වාගේ මැවුණේ බෞද්ධ සංස්කෘතියේ එන ජනපද කල්‍යාණි – නන්ද කුමාර කතාව. නන්ද කුමරු වෙළුණේත් මිත්‍රයා වගේම ප්‍රථම ප්‍රේමයෙන්ම වෙන්න පුළුවන් බවත් මගේ සිතින් මටම කියන්න ගත්තාම සිත ඇතුළින්ම බිහිවෙච්ච පදවැලක් තමයි මේ ‘නව දැලි හේනක’.