|
රොෂාන් පිලපිටියගේ ජීවිතයට වඩාත්ම බලපෑම් කළ චිත්‍රපට හත
කලා ලොවේ තම සිත් ගත් දේ පුදුම හතට අද පවසන්නේ ඔබට ළෙන්ගතු රංගන ශිල්පියෙක්. අපේ සිනමාවට, ටෙලි නාට්‍යයට වගේම වේදිකාවටත් සිය රංගන හැකියාවෙන් අනගි සේවයක් ඉටු කරන ඔහු රොෂාන් පිලපිටිය. රොෂාන් අද පුදුම හතට කියන්නේ ඔහු නැරඹූ සිනමා නිර්මාණ අතරේ වඩාත්ම හිතට දැනුණු චිත්‍රපට හත ගැනයි.
රේඛාව දේශීය සිනමාවේ පුරෝගාමී චරිතය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිනමාවට දුන් වටිනානම දායාදයක් තමයි රේඛාව චිත්‍රපටය. එය අපේ සිංහල සිනමාවේ සුවිශේෂ සන්ධිස්ථානයක් සටහන් තබන චිත්‍රපටයක්. මෙරට මුල්වරට එළිමහනේ රූගැන් වූ චිත්‍රපටය ලෙසින් රේඛාව දේශීය සිනමාවට නව මුහුණුවරක් එක් කළා. 1956 වසරේ තිරගත වූ රේඛාවේ විලී බ්ලේක්ගේ කැමරා අධ්‍යක්ෂණයත්, ටයිටස් තොටවත්තයන්ගේ කලා අධ්‍යක්ෂණයත්, මර්සලින් ජයකොඩි පියතුමන්ගේ පද රචනයත් සුනිල් ශාන්තයන්ගේ තනු නිර්මාණයත් වගේම බී. එස්. පෙරේරාගේ සංගීත අධ්‍යක්ෂණයත් එහි වටිනාකම වඩා තීව්‍ර කළා. ගැමි ජීවිතය විදහාපාන ගැමි සමාජය ගෙනහැර දක්වන කතා පුවතක් තිරයට ගෙන ආ රේඛාව අපේ සිනමාවේ රංග රීතිය සම්පූර්ණයෙන් වෙනස් කළ චිත්‍රපටයක් ලෙසින් මා දකිනවා. අපේ සිනමාවට නව අත්දැකීම් වෙනස් මුහුණුවරකින් ගෙන ආ රේඛාව චිත්‍රපටය මා දුටු සිනමා නිර්මාණ අතර සුවිශේෂම නිර්මාණය ලෙසින් මා දකිනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑවේ මගේ අම්මා.
නිධානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ තවත් සුවිශේෂිතම සිනමා දායාදයක් වූ නිධානය චිත්‍රපටයත් මා සිත් ගත් චිත්‍රපට අතරේ ඉහළින්ම තිබෙනවා. 1972 වසරේ තිරගත වෙමින් ඉතාලියේ වැනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී රජත සිංහ සම්මානයට පාත්‍රවීමත් අපේ රට ලද විශාල ගෞරවයක්. ඒ වගේම එහි රංගනයත් මා ඉතා සුවිශේෂ ලෙසින් දකිනවා. එහිදී සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා විලී අබේනායක ලෙසින් කළ රංගනය වගේම නිළි රැජන මාලිනී ෆොන්සේකා අයිරින් ලෙසින් කළ රංගනයත් අති විශිෂ්ටයි. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් නිධානය වෙනුවෙන් කළා වූ සංගීත නිර්මාණයත් සිංහල සිනමාවේ අමරණීය නිර්මාණයක් ලෙසින් මා දකිනවා.
තුෂාරා එදා සිංහල සිනමාවේ සුන්දරම පෙම්වතුන් යුවළ සොඳුරුතම රංගනයක යෙදුණු චිත්‍රපටයක් තමයි තුෂාරා චිත්‍රපටය. අපේ රටේ තවත් අපූරු නිර්මාණකරුවෙකු වූ යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කරමින් පණ දුන් මේ ආදර කතාව තිරගත වුණේ 1972 වසරේදීයි. තුෂාරා අපේ සිනමාවට ගෙන ආවේ අපූරුතම සුන්දරත්වයක්. එහි වූ අලංකාර ගීතවල නැවුම් බව අදටත් එලෙසමයි. විජය – මාලිනී එදා සිනමාවේ ලස්සනම පෙම් යුවළ ලෙසින් සම්පත් සහ තුෂාරා ලෙසින් කළ රංගනයත් සිංහල සිනමාවේ අමරණීයයි.
ද ගෝඩ්ෆාදර් – The God father මාරියෝ ෆුසෝ විසින් රචනා කරන ලද ද ගෝඩ්ෆාදර් නවකතාව ඇසුරින් නිර්මාණය කළ පාතාල ලෝකය සම්බන්ධව කියවෙන කතා පුවතක් ගෙන එන ද ගෝඩ්ෆාදර් චිත්‍රපටය නරඹන්න ලැබීම ගැනත් මා සතුටු වෙනවා. මෙවැනි වූ නිර්මාණ තුළින් ඉගෙන ගන්න ඇති දේ බොහෝයි. රංගන ඉරියව්, කැමරා කෝණ ආදී විවිධාකාර විෂයන් රැසක් අපට අධ්‍යයනය කරන්න මෙයින් අවස්ථාව ලැබෙන බවත් සඳහන් කරන්න ඕනෑ. ගෝඩ්ෆාදර් චිත්‍රපටයේ බාලන් බ්‍රැන්ඩෝගේ රංගනයත් සුවිශේෂයි.
සිනමා පැරඩිසෝ - Cinema Paradiso මෙම නිර්මාණයත් ඉතා සුවිශේෂ අධ්‍යක්ෂණයක් ලෙසින් මා දකිනවා. සිනමාව හා සම්බන්ධ වූ කතා පුවතක් ගෙන එන සිදුවීමක් මෙයට ඇතුළත්. ඒ කතා පුවතට මා බෙහෙවින් ප්‍රිය කරනවා. පිලිප් නොරෙට්, සැල්වේටර් කෙසිඕ, මාර්කෝ ලෙඔනාඩ්‍රි, ජෙක්‍යුස් පෙරින් යන රංගන ශිල්පීන්ගේ රංගනයත් මෙම නිර්මාණයේ සුවිශේෂ ලෙසින් මා දුටුවා. මේ චිත්‍රපටය ඇතුළේ සෑම සිනමා ලෝලියකුගේම අත්දැකිම් ඇතුළත් බැව් මගේ විශ්වාසයයි.
චිල්ඩ්රන් ඔෆ් හෙවන් - Children of
Heaven සපත්තු ජෝඩුවක් වටා ගෙතුණු පුංචි දරුවන් සම්බන්ධ මේ චිත්‍රපටය මගේ විශේෂ ඇල්මක් ඇති වුණා. දුප්පත් දිවි පෙවෙතක් ගෙවන පුංචි දරුවන් මුහුණ දෙන දුක් කම්කටුලුවලදී මා අතිශයෙන් සංවේදී වුණා. ඒ මමත් ගමේ හැදි වැඩුණු කෙනෙක් නිසයි. චිල්ඩ්රන් ඔෆ් හෙවන් චිත්‍රපටය 1998 වසරේදී ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය ලෙසත් සම්මානයට නිර්දේශ වුණා. එය රචනා කර අධ්‍යක්ෂණය කළෙත් ඉරාන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ මර්ඩ් මජීඩ් විසින්. එහිදී අමීර් ෆාරොක් හෂේමියන් සහ බහාරේ සිද්දිබිගේ රංගනයත් ඉතාම සුවිශේෂයි.
බ්ලූ ඊස් ද වෝමස්ට් කලර් - Blue is the
Warmest Colour අපේ සමාජයට නුහුරු තේමාවක් වුණත් එහි රංගනය අපි විශේෂයෙන් අගැයිය යුතු එකක් ලෙස මම සිතනවා. එහිදී ඇබ්ඩෙලටිෆ් කෙච්චේ නම් අධ්‍යක්ෂවරයා ලියා සේඩොක්ස් සහ ඇඩ්ලේ එක්සාකෝපෝලෝස් යන රංගන ශිල්පිනියන් දෙදෙනාගේ රංගනය අධ්‍යක්ෂණය කළ ආකාරය විශේෂයි. නිදහසේ රංගනයේ නිරත වීම එහිදී ප්‍රධාන වී තිබෙනවා. එය අපට සිනමාවේ සුලභව දකින්න නොලැබෙන්නක්.
|