වර්ෂ 2014 ක්වූ අගෝස්තු 14 වැනිදා බ්‍රහස්පතින්දා




ටැංකිය මගේය. සිනමාව අපේය

ටැංකිය මගේය. සිනමාව අපේය

පුරුද්දක් හැටියට ටෙලිවිෂනයේ විකාශය වන වාද විවාද මා නරඹන්නේ නැත. හැන්දෑ කාලයේ එකිනෙකා ගහ බැණ ගන්නා හැටි බලා ඉන්නවාට වඩා චිත්‍රපටයක් නරඹන්නට හෝ පොතක් කියවන්නට නැතහොත් අන්තර්ජාලයේ සැරි සරන්නට මා කැමැතිය. එහෙත් පසුගිය අඟහරුවාදා සවස මම ටෙලිවිෂනයේ වාදයක් බලන්නට සිදු විය. එයට හේතු වූයේ අපේ ගෙදර උන්දෑ අමතර රාජකාරියක් මට පැවරූ බැවිනි. මේ රාජකාරිය නම් අපේ ගෙදර වතුර ටැංකියට වතුර පිරී ඉතිරෙන්නට පෙර වසා දැමීමය. වතුර අපතේ යෑම වැළැක්වීමට නම් ඒ පිළිබඳ අවධානයෙන් යුතුව සිටිය යුතු බැවින් චිත්‍රපටයක් එක දිගට නරඹන්නට වන්නේ ද නැත. පොතටත්, අන්තර්ජාලයටත් වහ වැටුණු පසු මට ජල ප්‍රශ්නය අමතක වීමට ඇති ඉඩකඩ වැඩිය. ගෙදර වතුර ටැංකියේ වතුර තිබුණේ ස්වල්පයක් බැවින් පසුදා එය හිස් වුවහොත් බලවත් අර්බුද රැසකට මුහුණදීමට සිදු වෙයි.

එබැවින් පුරුදු කාරිය අතහැර ටෙලිවිෂන් සංවාදයක් නැරැඹීමට මට සිදු විය. වතුර ගැන අවධානයෙන් සිටි බැවින් මේ වාදය සහමුලින්ම නරඹන්නට මට නොහැකි විය. එබැවින් ඒ පිළිබඳ යමක් ලියන්නට නොහැකිය. එදින එහි සිටියේ මා හොඳින් දන්නා සිව් දෙනෙකි. නීතිඥ අශෝක සේරසිංහ, පද්මසිරි කොඩිකාරත්, අනෙක් පැත්තෙන් ආචාර්ය සෝමරත්න දිසානායක හා සුගත් සමරකෝන්ය.

සිව් දෙනා මට පෙනුණු හැටියට නම් නෝබෝල්, වයිට් බොල් ද එකිනෙකා අතරට යවා ගත් අතර සීරුවට මාරුවට උඩ පන්දු ද බිම දා ගත්හ. ඒ ගැන යමක් කියන්නට ද මැලි වෙමි. මා වැඩසටහන දුටුවේ අතරින් පතර නිසාය. එහෙත් එක දෙයක් කිව යුතුය. අපේ ගෙදර වතුර ටැංකියේ ප්‍රශ්නය ද අපේ රටේ චිත්‍රපට කර්මාන්තය වගේම යැයි මට හැඟිණ. ගෙදර වතුර ප්‍රශ්නයට විසඳුම සොයා ගත යුත්තේ මා විසින්මය. ඒත් එයට විසඳුම ලබා නොදී ඇත්තේ ද මා විසින්මය. එය එසේ වන්නේ ඇයි?

ගෙදර ජල ටැංකියක් හැදුවේ වැඩි හොඳටය. අපට වතුර ලැබෙන්නේ ජල සම්පාදන මණ්ඩලය මගිනි. හදිසියේ වතුර කැපීමක් වුවහොත් එය ඉවසා ගත හැක්කේ ටැංකිය නිසාය. එහෙත් අපේ ටැංකිය හිස් වුවහොත් එය පිරෙනතුරු බලා සිටිය යුතුය. එය උතුරා යෑම වළක්වන වෑල් එක හා කහ පාට හෝ රතු පාට ලොකු ගුලිය (මා එයට කියන නම තවම දන්නේ නැත. අපේ සිනමාවේ ඇතැමුන් 4k, 2k ගැන කියන්නා වාගේමය) ටැංකියට සවිකළ මුල් දවස්වල එය හොඳින් ක්‍රියාත්මක විය. ජලය අපතේ නොගොස් ටැංකිය ස්වයංක්‍රීයව පිරී නතර විය. මාසයක් දෙකක් යද්දී නිකම් මොකක්ද දෙයක් වී බෝලය ගැල වී පාවෙන්නට ගත්තේය. එහි උතුරා යෑම ස්වයංක්‍රීයව නතර වීම එයින් නතර විය.

එතැන් පටන් ටැංකිය පිරුණ පසුව එය වසා දමන්නේ නැත්නම් උතුරා ගලන්නට විය. ටැංකිය පුරවන දිනවලට සෙසු රාජකාරි පැත්තක දමා එය උතුරන තුරු බලා සිටිය යුතුය. එබඳු අවස්ථාවල ද අහවල් බෝලයක් මිල දී ගෙන දන්නා කියන එකෙක් ලව්වා මේ ප්‍රශ්නය නිරාකරණය කරගත යුතු වන බව මම තීරණය කර ගතිමි. ඇස්තමේන්තු ගත වන මුදල මෙන්ම බාස් කෙනෙක් සොයා ගැනීම දක්වා වූ ක්‍රියාවලිය පිළිබඳ සැලසුම් ඒ මොහොතේ සූදානම් වෙයි. රාත්‍රියේ හෝ අවශ්‍ය බඩු බාහිරාදිය සකස් කර ගත හැකි නම් වැඩේ දන්නා කෙනකු අල්ලා ගත හැකි නම් ටැංකියේ ජල ප්‍රශ්නයට සිථිරසාර විසඳුමක් දීමට මා ඒ මොහොතේදී නම් සූදානම්ය. එහි වතුර පාවිච්චියට නොගන්නා තෙක් වතුර ඉතිරිව පවතී. එයින් පසු ටැංකිය හිස්වනතුරු ඒ පිළිබඳ මගේ උනන්දුව හීන වී යයි. චිත්‍රපට කර්මාන්තය පිළිබඳ බොහෝ සාකච්ඡා ද අවසානයේ ලැබෙන්නේ වතුර ටැංකියට මගෙන් ලැබෙන විසඳුම් වැනිම ඒවාය. එබැවින් ඒ ගැන වැඩිය කතා කරන්නේ නැත.

එහෙත් මට තිබෙන ගැටලුව නම් පසුගිය දශක කිහිපය මුළුල්ලේ බයිස්කෝප් පිස්සන් යනුවෙන් නම් දැරූ අප වැන්නවුන් ගැන මෙරට සිනමාවේ කවරකු හෝ අවධානය යොමු කරන්නේ ද යන්නය. සිනමාව පිළිබඳ මගේ ආදරය සමඟ මා වටහා ගත් වැදගත්ම කරුණ නම් සිනමාකරුවන්ගේ ආත්ම ප්‍රකාශනය, යුගයේ අවශ්‍යතාව වැනි ඇතැම් දෙනා දක්වන මතිමතාන්තර, වචන සියල්ල හුදු ප්‍රචාරක පාඨ බවයි. හැමෝම තම තමන්ගේ චිත්‍රපට අනිකාට වඩා සාර්ථකව ප්‍රදර්ශනය වනු දකින්නට කැමැතිය. වැඩියෙන් දුවනවාට කැමැතිය. බොක්ස් ඔෆිස් වාර්තා තියනවාට කැමැතිය. චිත්‍රපට නැරැඹීමේ විනෝදාංශය සඳහා අප වැය කරන මුදල කෙසේ හෝ තමන්ගේ නිර්මාණය සඳහා වැඩි වැඩියෙන් යොමු කරවා ගැනීම සාර්ථක සිනමාකරුවෙකුගේ ක්‍රමයයි. ඊට හේතුව කවර කලාවක් ගැන කවර පදනමකින් කතා කළ ද එය දැවැන්ත ව්‍යාපාරයක් වීමය. කොලේ වසා කලාව පෙන්වා ගැසුවාට චිත්‍රපට යනු ලෝකයේ ඇති කීර්තිමත් බිස්නස් එකකි.

මේ ව්‍යාපාරය නිෂ්පාදනය කරන භාණ්ඩය සිනමාව නමැති සිහිනයයි. ඒ සිහින කවර ආකාරයෙන් දැනෙන්නේ ද යන්න වෙනම කතාන්තරයකි. එය විවිධ රස ඔස්සේ ප්‍රේක්ෂක පාරිභෝගිකයා ග්‍රහනය කර ගනී. සිහිනයකින් මිදුණු යථාර්ථ ලෙස ඇතැම් නිර්මාණකරුවන් හැඳින් වුව ද යථාර්ථවාදී සිනමාවේ ඇත්තේ ද සිහින ඔළුවලට තල්ලු කර දමා අවසානයේ ලාභ පාඩු සලකන කලාවය. පාඩු ලබන චිත්‍රපට තනන සිනමාකරුවන් මෙන්ම ආයෝජකයන් ද ක්ෂේත්‍රයෙන් විසි වී යයි. මේ කලාව ප්‍රගුණ කරන ලද සිනමාකරුවන් රැසක් අපට සිටිය ද එය අති සාර්ථක වන්නට නම් ප්‍රේක්ෂකයා දිනා ගත හැකි වැඩ පිළිවෙළක් අවශ්‍යව තිබේ. අප වටහා ගත යුතු වැදගත්ම කාරණය නම් වර්තමානයේදි රූපීය මාධ්‍ය නිර්මාණ සීමා මායිමකින් තොරව ලොව පුරා එකවර දැකගත හැකි වීමය. කොටින්ම කියන්නේ නම් අපට ඉර පායන්නේ ඇමෙරිකාවට කලිනි. එබැවින් සිකුරාදාවක ලොව පුරා දිග හැරෙන අලුත්ම හොලිවුඩ් චිත්‍රපටය ඇමෙරිකානු ප්‍රේක්ෂකයන්ට කලින් වර්තමානයේ අපට දැකගත හැකිය.

සමහර විට එය අප දකින්නේ සිනමාහලෙන් පමණක් නොවේ. සිනමාහල් සංස්කෘතිය වර්තමානයේ සලකනු ලබන්නේ චිත්‍රපට නැරැඹීමේ ඒකායන මාර්ගය ලෙස නොවේ. මෙරට පවතින සිනමාහල් එකසිය ගණන එක දිනෙක සම්පූර්ණයෙන්ම හවුස්ෆුල් කර තිරගත කළත් එමඟින් නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයක් ඉන් පරිබාහිරව ඒ මොහොතේ චිත්‍රපට නරඹති. දිනපතා ටෙලිවිෂනය මඟින් සහ ගෘහස්ථ සිනමා තිරගත කිරීම් මෙහිදී අපේ අවධානයට යොමු විය යුතුය. කනගාටුවෙන් නමුත් මේ යථාර්ථයට අප මුහුණ දිය යුතුය. වර්තමාන සිනමා ප්‍රේක්ෂක පරම්පරාවේ එනම් අවුරුදු 10- 30 අතර කාණ්ඩයේ යෞවන යෞවනියෝ බහුතරය චිත්‍රපට පිළිබඳ අවධානයෙන් පසු වෙති. එහෙත් ඔවුන්ගේ සිනමා වීරයන් පෙර පරම්පරාවට වඩා වෙනස්ය.

සිනමාව පිළිබඳ ඔවුන්ගේ මාන පෙර පරම්පරාවට වඩා වෙනස්ය. ඔවුහු චිත්‍රපට නැරැඹීමෙන් සෑහීමකට පත් නොවී ජංගම දුරකථන යනාදිය භාවිත කරමින් කෙටි චිත්‍රපට කරන්නට උත්සාහ කරති. යූ ටියුබ් වැනි වෙබ් අඩවි හරහා තම නිර්මාණ ලෝකය හමුවට ගෙන යති. චිත්‍රපට යන වචනය ද වර්තමානයේ අර්ථ විරහිතය. යල් පැන ගොස් අවසන්ය. චිත්‍රපටයක් නම් එය විනිවිද පෙනෙන සෙලෝලයිඩ් පටයකි. අද චිත්‍රපට නැත. සිනමාව ඇත. නැතහොත් ජීවමාන රූප යන අර්ථය සහිත බයිස්කෝප්ය. මෙයට වසර ගණනාවකට පෙර මා ඉන්දියානු චිත්‍රාගාරයකට යන විට එහි කිසිම මොහොතක විවේකයක් නොතිබුණි. ගජරාමයට ඔවුහු ඊස් මීස් නැතිව වැඩ කරති. මන්ද යත් එක සතියකට චිත්‍රපට පිටපත් දහස් ගණනක් මුද්‍රණය කළ යුතු බැවිනි. එහෙත් වර්තමානයේ තත්ත්වය එය නොවේ. ඔවුහු චිත්‍රපටයක් මුද්‍රණය කරන්නට ලැබෙනතුරු බලා සිටිති.

ප්‍රේක්ෂකයන් ලෙස ඒ කිසිවක් අපට අදාළ නැත. එහෙත් අපට සිදුව තිබෙන්නේ සිනමා කෘතියක් නරඹන්නට සිනමාහලට ගොඩවන විට අප ගෙවන මුදලට සරිලන දේ ලැබෙනවාද යන ගැටලුවය. නිර්මාණයක තිබිය යුතු අත්දැකීම නම් අලුත් ආස්වාදයක් ලැබෙන්නේ ද යන්නය. සමහර විට සිනමාහල්වල දකින්නට ලැබෙන අපේ සිනමා කෘති කවර මට්ටමකින්වත් අගය කළ නොහැකිය. එමෙන්ම කොළඹ නගරයේ පවා ඇතැම් සිනමා ශාලා තවමත් පවතින්නේ අවුරුදු විස්සක තිහක පැරැණි පහසුකම් සහිතවය. ඉතා මෑතක අලුත් සිංහල චිත්‍රපටයක් නරඹන්නට ගිය මට ශාලාවේ පැවැති පෝරණුවක් බඳු රස්නය විඳ ගත නොහැකිව එයින් එළියට ගියේය. සිනමාහලක ඇති ශබ්දය, රූපය ගෙන දෙන පැරැණි යන්ත්‍ර සූත්‍රවලට ද කිසිදු ප්‍රමිතියක් නැත. සිනමා කර්මාන්තයේ නියැළි උදවිය එකිනෙකාට චෝදනා කර ගනිද්දී ප්‍රේක්ෂකයන් වශයෙන් අපට තිබෙන්නේ එයට මැදිහත් වන්නට නොවේ.

ඒ අරගල නරඹමින් චිත්‍රපටයක නැති ආතල් එකක් ගැනීම පමණි. සිනමා කර්මාන්තයේ සිටින කිසිවකු හෝ බහුතර ප්‍රේක්ෂකයන්ගේ සුබ සිද්ධිය සොයා බලන්නේ නැත. තම තමන්ගේ චිත්‍රපටයක් තිරගත වනවිට ඇති වන ප්‍රශ්නවලට ගහ බැණ ගන්නවා විනා ඔවුහු ප්‍රේක්ෂකයා දිනා ගන්නා දීර්ඝ වැඩ පිළිවෙළකට අවතීර්ණ නොවෙති. එයට හේතුව වෘත්තීය නිෂ්පාදකවරයන් නොමැති වීමය. ඉතාම හොඳ සිනමාහල් ඇතැයි කියන ප්‍රදර්ශන සමාගම්වල ද මුල් වටයේ ඇති ඇතැම් සිනමා ශාලා කඩා බිඳ දමන්නට හැකි නම් එය කිසිම පාපයක් නොවේ. එබඳු ශාලා ඇත්තේ දුර බැහැර නොවේ. කොළඹට නුදුරිනි. චිත්‍රපට නමින් හැදී රැඟුම් පාලක මණ්ඩලය මඟින් අවසරය ලබා ප්‍රදර්ශනය කරනු ලබන බොහොමයක් චිත්‍රපට සිනමාහල්වල හතර මායිමකටවත් වද්දා ගත යුතු තරම් නැත. වෙළෙඳසලට ඕනෑම භාණ්ඩයක් විකිණීමේදී යම් ප්‍රමිතිකරණයක් තිබිය යුතුය. එහෙත් ශාලාවකදී චිත්‍රපටයක් නරඹන්නට අප වැය කරන මුදලට වටිනාකමක් දෙන්නේ කවදාද? කවුරුන්ද?

එක් දෙයක් වටහා ගත යුතුය. කවුරුවත් තැනූ පලියට සිනමාහලකට ගොඩ වැදී චිත්‍රපට නරඹන පරම්පරාව තව බොහෝ කලකින් අඩු වෙයි. එහෙත් තමන් කැමැති පරිදි චිත්‍රපට තෝරා ගෙන තමන් කැමැති වේලාවලදී නරඹන අලුත් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වැඩි වෙමින් පවතී. වෙනත් රටවල සිනමාකරුවන් ඉලක්ක කරන්නේ ඔවුන්ය. අලුත් පරම්පරාවේ වෙළෙඳ පොළට අවතීරණය නොවී අපේ සිනමාවේ අනාගතය ගැන සිතිය නොහැක. පුවත්පතක් අන්තර්ජාලයට පිවිසෙන්නේ එය වටා ග්‍රාහක සමුහයක් දිනාගත හැකි නිසාය.

එය පුවත්පත් ඉතිහාසයේ නව ප්‍රවණතාවයි. සිනමාකරණයේදී ද මේ නව ප්‍රවණතා හඳුනා ගත යුතුය. පසුගිය දස වසර ලෝකය මිනිසුන්ගේ ඇඟිලි තුඬට ගෙන ආ යුගයකි. ඒ ඇඟිලි තුඩේ හයිය වර්තමානයේ ප්‍රේක්ෂකයෝ වන අපි පෙන්වා දෙමින් සිටිමු. එයට වඩා නම්‍යශීලී වන්නට අපේ සිනමාවේ බලධාරීන් මීට වඩා පිළියම් යෙදිය යුතුය. නැතහොත් අපේ සිනමාවත් මගේ වතුර ටැංකියක් දෙකම එක හා සමාන ඉරණමකට ගොදුරු වන්නකි. එහෙත් ටැංකිය මගේය. සිනමාව අපේය.