වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




අරවින්ද යායක මධුමාධව

අරවින්ද යායක මධුමාධව

මධුමාධව අරවින්ද කොළඹ නගර සභා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙලා . . . කියන ආරංචිය ක්ෂේත්‍රය පුරාම පැතිරිලා. ඇත්තටම ඇයි මධුමාධව ඉල්ලා අස් වුණේ? ක්ෂේත්‍රය ගැන කළකිරිලාවත්ද? ඒ අතරේ ප්‍රශ්නත් ගොඩක්. මේ විදියේ කිදිම ප්‍රශ්නයක් නිසා නෙවෙයි මධු මන්ත්‍රී ධූරයෙන් අයින් වෙලා තියෙන්නේ. ලබන වසරේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්නයි. ඒත් ඉතිං ඒකට ඉන්න තැනින් අයින් වෙන්න ඕනෑ නෑනේ? ‘මම මහජන නියෝජිතයෙක්. මම මේ තැනට ආවේ මහජනතාව නිසා. යළිත් ඉදිරිපත් වෙන්න මට ඒ හයිය පාවිච්චි කරන්න උවමනා නැහැ. ඒ වගේම මගේ දේශපාලනය පිරිසුදුයි. ආදර්ශවත් විදියට එය කරන්නයි මට අවශ්‍ය. මමම දීලා රතිඤ්ඤා පත්තු කරගන්නවත්, මල් මාලා දමා ගන්නවත් මට ඕනෑ නැහැ. ඒ වගේම තාප්ප පුරා පෝස්ටර් ගහගෙන, පොලිතින් සැරසිලිවලින් පරිසරය දූෂණය කරලා, කොල්ලන්ට මත් වතුර දීලා දිනන්න මට අවශ්‍ය නැහැ.

එත් මේ කිසි දෙයක් නැතුව මම ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම්. බුද්ධිමත් ජනතාව මා තෝරා ගනීවි.’ මධුමාධව සරසවියට පිළිතුරු දුන්නා. ඒ වගේම මධුමාධව කියන්නේ කලා හැකියාවන් රැසක් උරුම කරගත් කලාකරුවක්. දේශපාලනය නිසා කලාවෙන් තරමක් ඈත්වෙලා හිටියත් ලබන වසර ආරම්භයත් සමඟ ‘අරවින්ද යාය’ නමින් තීරු ලිපි එකතුවකින් සැදි කෘතියක් එළි දක්වන්නත් ඔහු සූදානම්.