|
|
අහස ඉසව්වේ ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක් වාගේයමුනා මාලනී පෙරේරා හදවත ඉපදෙන සොඳුරු සිතුවිලි පන්හිෙඳන් ගෙත්තම් කරන ඔවුන්ගේ සිතුවිලි පිළිබඳ ලියන්නට අපි උත්සුක වීමු. එහිදී නිතර නිතර සවන් යොමන්නට සිත මෙහෙය වන ගේය පද එකක් නොව කිහිපයක් තියෙන වග නම් අපට රහසක් නොවේ. ඔවුන්ගේ ඒ සිත්බැඳි ගේය පද සොයා යන ‘මතක ගී පොත’ චාරිකාවට මෙවර සිය හදවත විවර කරන්නේ කිවිඳියකි.ගේය පද රචිකාවකි. ඈ යමුනා මාලනී පෙරේරා ය.
එදා ලුම්බිණියේ වේදිකා ගතවූයේ රෝහණ දන්දෙණියගේ ‘පරාස්ස’ නාට්‍යයයි. හිතාදර රෝහණගේ ‘පරාස්ස’ නරඹන්න කෙල්ලො ටිකට තිබුණේ පුදුම හද්ස්සියකි. බෝඩිමෙන් එළියට ආව මේ ටිකදෙනා නැවතුණේ ලුම්බිණි රඟහලෙහිය. ඒ අතර යමුනාත් සිටියාය. ’සූටි ගමරාළට රඟපෑව නථවා හොඳයි’ යමුනාට කියැවුණේ ඉබේටම වගේය. යමුනාගේ විචාරය හිතේ තියාගත් යෙහෙළියෝ තිරය පිටුපසට ගියේ මේ අතරය. ඒ නථ නිළියන්ට සුබ පතන්නටය. ප්‍රේක්ෂාගාරයට වී යමුනා බලාගෙන සිටියේ සිය යෙහෙළියන් පැමිණෙනතුරු ය. යෙහෙළියන් සමඟ ඈ අසලට පැමිණියේ අමුත්තෙකි. ඒ අමුත්තා දුටු යමුනාගේ මුවඟට නැඟුණේ හීන් සිනහවකි. ’සූටි ගමරාළව හිතට අල්ලලා වගෙයි.’ අමුත්තාගේත්, යමුනාගේත් කතාබහ දැක්ක එක් යෙහෙළියක් කීවේ අනෙකාට ඇඟිල්ලෙන් අනිමිනි. කොහොම නමුත් සූටි ගමරාළගේත්, යමුනාගේත් ආදර කතාවට මුල පිරුණේ ඒ අයුරිනි. සූටි ගමරාළට රඟපෑව සේනක පෙරේරාට සම්මානයක් ලැබිණි. යෞවන සම්මාන උළෙලේ දී ලැබුණු මේ සම්මානය සේනකට රුසියාවට යන්නට පාර කිව්වේය. එපමණක් නොව යමුනාත්, සේනකත් එක්තැන් කිරීමට පාර කිව්වේ ද මේ රුසියානු ගමනය. ’පරාස්ස ගිය දුරක්.’ දෙන්නාගේ ආදර කතාව දන්නා බොහොම දෙනෙක් මුවඟට නැඟුණේ එවැනි වදනකි. කාලය ගෙවී ගියේ ය. සේනක රුසියාවෙන් පැමිණියේ නැවුම් බලාපොරොත්තු රැසක් පෙර දැරිවය. ඔහු මහවැලියේ වැඩ බාර ගත්තේ අලුත් කැදැල්ලක් තනන අදහසිනි. යමුනාගේ ජීවිතයට අපූරු අත්වැලක් වූ සේනක නිසා යමුනා සිටියේ ඉහවහා ගිය සතුටිනි. ’ඉදිකටුවයි නූලයි වගේ.’ කොහේ ගියත් එකට සිටින මේ ජෝඩුව දකින කවුරුත් කීහ. කුරුල්ලයි, කිරිලිලියි වගේ සතුටින් සිටිය යමුනාගේ නෙත් කඳුළෙන් පිරීමට ගතවූයේ ටික කාලයකි. කිසිම දිනයක ජීවන අත්වැල අත නොහරින්නට පොරොන්දු වූ දයාබර සේනක, යමුනා මෙලොව තනිකර යන්නට ගියේය. මේ වනවිට ඔහු නික්ම ගොස් දස වසරක් නික්ම ගොසිනි. ඒ අද ඊයේ වගේය. ඒ මතක සැමරුම් අතර ගෙවුණු ජීවිතයේ අතීතය යළි යළිත් සිහිපත් කරන ඕ යමුනා මාලනී පෙරේරාය. කිවිඳියක ගේය පද රචිකාවක ලෙස ඔබගේ හදවත සැරිසරන ඈ ඒ අතීතයට තවමත් ආදරය කරන්නීය. ඕ මේ ගීතයට ඇලුම් කළේ ද අතීතය සිහිපත් කරන්නට පෙර සිටය.
‘සඳු ද අවදියෙන් තරු ද අවදියෙන්
|
‘සිහින නෙලුම් මල ජීවිත පොකුණේ
දෑස් අභියස පිපී සැලේ’
තුන්යම ගතවූ ජීවිතයේ
අරුණථ නැඟෙනා පබාතයේ
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රීදී පහන් තරුවක් වාගේ
‘දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදි කළා
මැදියම අවදිව හැබහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු සිහිනේ
එහෙත් සිහිනයක් වේදෝ එය යළි
ජීවිතයේ අන්තිම යාමේ
ගායනය – විශාරද ඩබ්ලිව්.ඩී.අමරදේව
සංගීතය - විශාරද ඩබ්ලිව්.ඩී.අමරදේව
ගේයපද – ධර්මසිරි ගමගේ
ජීවිත කාලයේම තමා බලාපොරොත්තු වූ බොහෝ සිහින ඉටුවේ ද කියන යම් සැකයකින් කථකයා පෙළෙන මේ ගීතයේ සිතුවිල්ල අප සියල්ලන්ගේම ජීවිතවලට අදාළ ය. මනුෂ්‍ය සන්තානයන්හි බලාපොරොත්තු වන පැතුම් ඉටු නොවූ අවස්ථාවල සිතෙහි ඇතිවන හැඟීම ධර්මසිරි ගමගේ නම් ප්‍රවීණ ගී පද රචකයා මනා සංයමයකින් සොඳුරු පදවලට නඟා තිබේ. ජීවිතයේ ස්වභාවය පිළිබඳ කියැවෙන,ජීවිතයෙහි තුන්යාමය පිළිබඳ කියැවෙන මේ ගීතය සොඳුරු ගීතයක් ලෙස මා සිතෙහි තැන්පත් වී ඇති අයුරු පුදුම සහගත ය.
‘අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රීදී පහන් තරුවක් වාගේ’
බලාපොරොත්තුව දැල් වී පැමිණෙන අයුරු රිදී පහන් තරුවකට සමාන කරමින් ගීපද රචකයා දක්වා ඇති අයුරු කදිමය.
‘දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදි කළා’
යන්නෙන් බලාපොරොත්තුව අවදි වන අයුරු දැක්වීමෙන් අපේ සිත සංවේදී බවට පත් කරයි. එසේ සිතක් සංවේදී බවට පත්කළ අපූරු සිදුවීමක් මේ ගීතය අසන මොහොතක් මොහොතක් පාසා මගේ මතකයට නැඟේ.
මේ වගකිවයුතු ආයතනයක ප්‍රධාන තනතුරක් දරන ඔහු වසර කිහිපයකට ඉහත මා හමුවීමට පැමිණියේ හදිසියෙනි. විවාහ වී දරුවන් දෙදෙනෙකු ද සිටින ඔහුගේ සිත ඇඳී යන සොඳුරු යුවතියක් පිළිබඳ ඔහු මා හා පැවසූ අයුරු මට අද මෙන් මතකය.
ඔහු ඒ පැමිණියේ සිය සිතැඟි ඇතිවුණු ආදරය පිළිබඳ ගීතයක් ලියා ගන්නටය. සිය බිරිඳ හා දරුවන්ට පණ සේ ආදරය කළ ඔහු, අර යුවතිය වෙනුවෙන් ලියූ පදවැල් ගීතයක් බවට පත් කරන්නට තනන නිර්මාණයට විශාල බර පැනක් දැරීමට ද සූදානම්ව සිටියේය.
එහෙත් ඔහුගේ ආදරය පිළිබඳ කිසිවක් නොදත් යුවතිය එක්වරම විවාහ වූවාය. ඉන් බොහෝ දුකට පත්වූ ඒ පුද්ගලයා ඈ මධුසමය ගත කරන හෝටලයේ පහළ තට්ටුවට වී මධුවිත පානය කළේ කිසිවකුටත් නොදැනෙන්නටය. ඒ ශෝකයෙන් මුසපත්ව මා සොයා පැමිණි ඔහුට මම අපූරු උපදේශයක් දුනිමි.
ඒ මේ ගීතය ලිවිය යුතුද? ගීතයක් බවට පත් කළ යුතු දැයි සතිදෙකක කාලයක් ඇතුළත තීරණයකට පැමිණෙන ලෙස ය. සති දෙකකට පසුව ඔහු මා දුරකථනයෙන් ඇමතුවේ ගීතය නොලිය යුතුය යන්න දැනුම් දීමටය.ඔහු සිත්ගත් යුවතිය කාර්යාලයට පැමිණිය ද ඈ කෙරෙහි පෙර ඔහු සිතෙහි වූ හැඟීම වෙනස් වී තිබිණි. ඔහු සිය නව අදහස මට පැවසූ අයුරු අද මෙන් මතකය.
අතීතය හා බැඳුණු මතක මං පෙත ගෙනහැර පෑ ඒ සිදුවීම ඇගේ හදවත නොමැකෙන මතකයක් මෙන් සටහන් වූයේ නිතැතිනි.
ඈ හා බැඳුණු සොඳුරු අතීත මතක අතර සැරිසැරූ අපගේ සිත්වල ද අමරදේවයන්ගේ ගී පදවල සොඳුරු බව සටහන් වූයේ නොමැකෙන අයුරිනි.