|
බැඳලා අවුරුදු හතයි ඇල්බම් එක තාම නෑ
පුවත්පත් සාකච්ඡාවේදී යසරත් කළ හෙළිදරව්ව
මහානාම විද්‍යාලයේ මාධ්‍ය කවයේ හිටිය කොලු ගැටව් ටික තරමක් කටකාරයි. හැමෝටම තිබුණේ ප්‍රවෘත්ති කීමේ ආසාවක්. චමුදිත, තුෂාර මේ කොලු රංචුවේ කැපී පෙනෙන චරිත. ඒ අතර තවත් එක් කටකාර කොලුවෙක් හිටියා. ඔහු තමයි යසරත් කමලසිරි.
නිවුස් කීමට තිබුණු කැමැත්ත නිසාම යසේ එම්. ටී. වී. නාලිකාවේ අහම්බෙන් දැකපු දැන්වීමකට ඉල්ලුම් කරනවා. 1997 පෙබරවාරි පළමුවෙනිදා උදේම යසරත්ට ලිපියක් ලැබෙනවා. ‘සහන නිවේදකයන් තෝරා ගැනීමේ තිර පරීක්ෂණය පෙබරවාරි 01 වැනිදා උදෑසන 9.30 ට එම්. ටී. වී. සිරස දෙපානම පන්නනිපිටිය කාර්යාලයේදී.’ ලියුම අතට ලැබණු ගමන් ඔහු වෙලාව බැලුවා. හරියටම වෙලාව 10.30 යි. මොනවා කරන්නද අහම්බෙන් ලැබුණු චාන්ස් එකත් මිස් වුණා කියලා හිතාගෙන ඔහු එහි තිබුණු අංකයකට දුරකතන ඇමතුමක් ගන්නවා. දුරකතනයට පිළිතුරු දෙන්නේ සිරස ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදක අධ්‍යක්ෂ හැරල්ඩ් විජේසිංහ මහත්මයා. සර් . . . මට පරීක්ෂණයට ලියුම ලැබුණේ දැන්. ඉන්ටවීව් එකට එන්න බැරි වෙයිද? ඔහුගේ උත්සාහය සාර්ථකයි. ‘හා . . . කමක් නෑ . . . ඉක්මනට එන්න ඉන්ටවීව් එක තවම යනවා . . .’ ඔහු පියාපත් ලැබූ කුරුල්ලෙක් වගේ සිරස කාර්යාලයට ළඟා වුයේ තනතුර ලැබුණාට වඩා උද්දාමයෙනි. දෙයියනේ . . . හිතාගන්න බැරි දිග පෝලිිමක්. සම්මුඛ පරීක්ෂණ වට හතරයි. මේ පරීක්ෂණ හතරම සමත් වෙලා සහන නිවේදක තනතුරක් යසරත්ට ලැබෙනවා. ඔය විදිහට අහම්බෙන් සිරසට නිවුස් කියන්න ආපු යසරත් දැන් එහි මුල් පුටුව හොබවන දක්ෂ පරිපාලන නිලධාරියෙක්. ඒ කියන්නේ සිරස මාධ්‍ය ජාලයේ News 1st කළමනාකාර අධ්‍යක්ෂකයි. මොන තනතුර ලැබුණත් යසේ අදත් එදා වගේම නිරහන්කාරයි. එදා ඩෙනිම් කලිසමයි, ටී ෂර්ට් එකයි ඇඳලා දෙපානමට පයින් ආපු මේ කොලුවට ඒ අතීතයේ සුවඳ තවමත් එදා වගේම මතකයි. ඒ ගුණ සුවඳ නිසාම ඔහු සමඟ කතාබස් කරන්න ඔහුගේ නිවහනට යන්න වෙලාවක් නොමැති නිසා අපි ඔහුගේ කාර්යාලයට ගොඩ වැදුණා.
යසරත් කමලසිරි කිව්වාම රටම දන්නේ නිවේදකයකු ලෙසනේ. අපේ කතාව එතනින්ම පටන් ගමුකෝ . . . ඇත්තටම මගේ දක්ෂතාවයට අපේ පාලන අධිකාරිය මේ තනතුර ලබා දුන්නාට මම තවමත් එදා වගේමයි. තවම නිවුස් කියනවා. මම එදා මේ ආයතනයට එද්දී හිටියේ සුළු සේවක පිරිසක්. අපිට සමහර වෙලාවට මේකප් දාගන්නෙත් අපිමයි. මම නිවුස් කියන්න එන කාලේ චේතනා විතරයි හිටියේ. අපි දෙන්නම මේකප් දාගෙන නිවුස් බීම් එකට එනවා. ඒ නිසා අපට හැම දෙයක්ම හුරුයි. නිවුස් එකක් කියන්න විතරක් නෙවෙයි, ලයිටින්, එඩිටින්, නිවුස් රිපෝට්ස්, මේ හැම දේම කරන්න පුළුවන් වුණේ මම පොඩිම තැන ඉඳන් ඉහළට ආපු නිසයි.
මේ තරම් කාලයක් ප්‍රවෘත්ති නිවේදක අංශයේ සිරස ආයතනයේ වැඩ කරපු ඔබට සෑහෙන්න අත්දැකීම් ඇතිනේ? අපෝ ඔව්. අපට කොයි තරම් නම් දේවල් තියෙනවාද? ඒ කාලේ චේතනාට අනතුරක් වුණා. ඉතින් මට එක දිගටම දවස් 27 ක් රාත්‍රී ප්‍රවෘත්ති කියන්න සිද්ධ වුණා. මම හිතන්නේ මේක රෙකෝඩ් එකක් වෙන්න ඇති.
ප්‍රවෘත්ති නිවේදකයකු වුණු ඔබට මේ වගේ වගකිමක් පැවරුණේ කොහොමද? මේක ඉබේ සිද්ධ වුණු දෙයක් නොවෙයි. පුංචිම තැන ඉඳන් මෙතැනට එන්න කරපු කැපවීමේ ප්‍රතිපලය තමයි මේ. නිවුස් කීමේ කලාවේ වෙනසක් කළේ අපියි කියලා මම හිතනවා. ඒ කියන්නේ බොහෝ දේවල් මුලින්ම මාධ්‍යයට හඳුන්වා දුන්නේ අපියි. මට මුලින්ම පැවැරුණේ උදෑසන ප්‍රවෘත්ති කීමටයි. මුලින්ම උදෑසන නිවුස් කියන්න පටන් ගත්තේ අපේ ආයතනය. උදෑසනම සූදානම් වෙලා නිවුස් කීම තරමක වෙහෙසකර කටයුත්තක්. ඉන් පසුව මට නිෂ්පාදකයකු වීමේ අවස්ථාව ලැබුණා. මම මේ කටයුත්තේදී වෙනස්කම් රැසක් කළා.
ඔබ කළ ඒ කැපවීමට ලැබුණු සම්මානත් ඇතිනේ? මට 2007 දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම ප්‍රවෘත්ති වාර්තාකරු ලෙසත්, හොඳම ප්‍රවෘත්ති නිවේදක බවටත් සම්මාන ලැබුණා. ඇත්තටම ඒක ලැබුණේ පුදුම විදිහට. මහවිලච්චිය කියන ගමේ ගුරුවරයකු ක5 යොදාගෙන කළ අපූර්වතම අත්දැකීමක් තමා ඒ වාර්තා වැඩසටහන. ඒ වගේම මට 2011 දී විශිෂ්ඨතම තරුණායට හිමි සම්මානය හිමි වුණේ මාධ්‍ය වෙනුවෙන් කළ මෙහෙවරට.
ඔබට මේ මාධ්‍ය ජීවිතයේ අමතක නොවෙන සිදුවීම් ඇතිනේ? අපෝ . . . අනන්තයි . . . ඒ නිසානේ අපි හැමදාම ව්ඥඹඵ 1 වෙන්නේ. මට අමතකම නොවෙන සිද්ධියක් තමයි සුනාමී දිනය. හරියටම නත්තල් දවසේ. කිසිම නිවුස් එකක් නෑ පහුවදාට හොඳ ලීඩ් එකක් ගහන්න. නිවුස් රූම් එකට වෙලා අපි රෑ දොළහ වෙනකම් හිටියා. පහුවදා උදේ නිවුස් රූම් එකේ ඉන්න කොට අපේ යාළුවෙක් කතා කරලා කිව්වා මුහුද ගොඩට ගලනවා කියලා. ඇත්තටම අපිට සිද්ධිය හිතා ගන්නත් බැහැ. එතන ඉඳන් අපි පැය දෙකක් එක දිගටම බ්‍රේකින් නිවුස් ගැහැව්වා. අන්තිමට අපට මේ ගැන දැනගන්න තිබුණු ක්‍රමය තමයි ඒ ප්‍රදේශයට යන එක. ඒ දේ කරන්න බැරි නිසා අපි චොපර් එකකින් ඉහළට ගිහින් බැලුවා. එතකොට තමයි අපි ඇස් දෙකෙන්ම දැක්කේ මොකද වුණේ කියලා. මම දවස් දෙකක් දිගටම නිවුස් කිව්වා. ඇත්තටම මේක පුදුම අත්දැකීමක්. ඒ වගේම තමයි යාපනයේ පුස්තකාලයට බෝම්බ දාපු දවස. මට මොහොතින් පණිවුඩයක් ලැබුණා පලාලිවලට යන්න කියලා. අපි පැයක් ඇතුළත යාපනයට ගියා. මම ඇස් දෙකෙන්ම දැක්කා එතන මොකද වෙලා තියෙන්නේ කියලා. තවත් අමතක නොවන සිදුවීමක් තියෙනවා. එක දවසක් නැගෙනහිර ප්‍රදේශයේ සුළි සුළඟක් හැමුවා. හදිසියේම වුණු මේ සිද්ධිය වෙන වෙලාවේ නිවුස් බීම් එකේ හිටියේ මමයි. මට කිව්වේ සිද්ධිය ගැන විතරයි. කිසිම ස්ක්‍රිප්ට් එකක් නැතුව විනාඩි 20 ක් මේ සිද්ධිය ගැන සජීවි විකාශයක් සිදු කළා.
මේ වගේ අත්දැකීම් තියෙන ඔබේ පෞද්ගලික ජීවිතේ කොහොමද? මම විවාහ වුණේ අපේ ආයතනයේම සේවය කරපු ගෝතමි දිසානායක සමඟ. විවාහ වුණාට පස්සේ අපි දෙන්නා තීරණය කළා දෙන්නගෙන් එක් කෙනෙක් ජොබ් එකෙන් අයින් වෙන්න. එතනදී වඩාම හොඳ එයා අයින්වීම කියලා තීරණය වුණා. ඇත්තටම ඒ තීරණය නිවැරැදිය කියලා අපට දැන් හිතෙනවා. අපට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු හතයි, දෙවැනියාට අවුරුදු හතරයි, පොඩි දුවට අවුරුද්දයි. ඇත්තටම පවුලේ සියලු දේ බලන්නේ ගෝතමී. ඒක මට විශාල පහසුවක්. මේ වගේ රැකියාවක් කරද්දී පවුලේ වැඩ ගැන සොයන්න ඇත්තටම වෙලාවක් නැහැනේ. ඒත් ලැබෙන ඉඩකදී ඔක්කොම එකතු වෙලා සතුටු වෙනවා. මේ නිවාඩුව ඔක්කොම බදුල්ලේ ඉන්නේ. ඒ නිසයි ඔයාලට ඒ අය හමු නොවුණේ. අපේ හමුවීමට සමු දෙන්නට මොහොතකට පෙර යසරත් අපේ ඡායාරූප ශිල්පියාට පුංචි මතක් කිරීමක් කළේය. මල්ලි මගේ වෙඩින් ඇල්බම් එක නම් තාම ලැබුණේ නැහැ. කොල්ලෝ දෙන්නට නම් ඒ ගැන ඒ තරම් ගාණක් නැහැ. තව ටික දවසකින් දුව අපේ ඇල්බම් එක ගැන අහන කොටවත් පෙන්වන්න පුළුවන් වෙයි නේද යැයි ඇසුවේ හෘදයංගම බැඳීම නිසාමය.
|