වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




හුනුවටයේ කතාව ජනකරළිය හරහා ඉන්දියාවේ කේරළයට

හුනුවටයේ කතාව ජනකරළිය හරහා ඉන්දියාවේ කේරළයට

කලබලකාරී නගරයේ කෙළවරක සුවිසල් නුගරුක මුල විශාල පිරිසක්. විවිධ රාජකාරීන් සඳහා පැමිණි ජනතාව අතරේ වැඩිහිටියන් මෙන්ම විවිධ වයස් මට්ටම්වල දරුවනුත් මෙතන එක සීරුවට බලාගෙන ඉන්නේ වේදිකා නාට්‍යයක්. වේදිකාව සුවිශේෂයි.

ඇරීනා තියටර් ක්‍රමයට සැකසුණ මෙහි වේදිකාවේ හතර වටේ සිටම ජනතාව නාට්‍යය රස විඳීනවා. නාට්‍යයේ කොටසක් අවසානයේ විරාමයක්. ඒ විරාමය ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ඒ ප්‍රේක්ෂකයන් සිය අදහස් දක්වන වෙලාව.

ඔවුන් ප්‍රශ්න ගැටළු වගේම ඒවාට විසඳුම් ලබා දෙනවා. හරිම අපූරු සංවාදයක්. ඒත් මේ වේදිකා නාට්‍යයක්. හැමෝම මේ නාට්‍ය රස විඳීන අවස්ථාවේ එතැනට පැමිණි ඉන්දීය ජාතිකයන් පිරිසකගේ විශේෂ අවධානයට මේ නාට්‍ය වගේම රඟහලත් ලක්වුණා.

මේ නාට්‍ය කණ්ඩායම තමයි ජනකරළිය. පරාක්‍රම නිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වූ ජනකරළියේ යොවුන් නාට්‍ය කණ්ඩායම එදා රඟ දැක් වුූයේ ‘හුණුවටයේ කතාව’ නව නිෂ්පාදනය. මීට පෙර හුණුවටයේ කතාව නැරඹූ ජනතාවට ඊට වඩා වෙනස් ආකාරයෙන් ඉදිරිපත් කළ ජනකරළිය නාට්‍ය කණ්ඩායමට ඉන්දියාවෙන් ලැබුණේ සුවිශේෂ ආරාධනාවක්. ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපි සම්බන්ධ කරගත්තේ ජනකරළිය නිර්මාතෘ ප්‍රවීණ අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල.

ජනකරළිය නාට්‍ය කණ්ඩායම ලද මේ ආරාධනාව ගැන මුලින්ම දැනගන්න කැමැතියි?

ඇත්තටම එය අපේ නාට්‍ය කලාවට සුවිශේෂ වෙනවා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිෂුර් නගරයේ පැවැත්වෙන හය වැනි අන්තර් ජාතික නාට්‍ය උළෙල සඳහා තමයි මේ ආරාධනාව ලැබුණේ. ඒ අනුව පෝලන්තය, රුමේනියාව, ජෝර්ජියාව, නෝර්වේ, ඉතාලිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, රුසියාව සහ එංගලන්තය ඇතුළුව ඉන්දියාවේ නාට්‍ය කණ්ඩායම් රැසක් නාට්‍ය රඟදක්වන මේ උළෙලේ ලංකාව නියෝජනය කරන්නේ ජනකරළිය නාට්‍ය කණ්ඩායමයි. ලබන ජනවාරි 27 වැනිදා සිට පෙබරවාරි 03 වැනිදා දක්වා මෙම නාට්‍ය උළෙල පවත්වන්නට නියමිතයි.

 ජනකරළිය නාට්‍ය කණ්ඩායමේ රඟහලත් මෙහිදී සුවිශේෂ අංගයක් බවට පත්වෙලා තියෙනවා?

ඔව් ඇත්තටම අපේ ජංගම රඟහලේ සුවිශේෂත්වයක් තියෙනවා. නිව් ඇරීනා රංග ශාලා ක්‍රමවේදයට අනුව තමයි මෙම ජංගම රඟහල නිර්මාණය කරලා තියෙන්නේ. මෙහිදී පැති හතරකින්ම ප්‍රේක්ෂකයන්ට නාට්‍ය නැරැඹීමට ලැබීමේ අවස්ථාව තියෙනවා.

එහිදී ප්‍රේක්ෂකයා සහ රංගන ශිල්පීන් අතර දුරස්ථ බවක් නැහැ. ඒ වගේම නාට්‍ය ප්‍රදර්ශනයට සීමා නොවී සංවාද මණ්ඩප ලෙසින් ද එය ක්‍රියාත්මකයි. ප්‍රේක්ෂකයන්ගේ අදහස්වලටත් මෙහි ඉඩකඩ වෙන් වෙනවා. ඉන්දියාවේ මෙවැනි ජංගම රංග ශාලා නැහැ.

ජංගම රඟහල

ඔවුන් ලංකාවට පැමිණි අවස්ථාවකදී දැකලා මෙය අපූරු නිර්මාණයක් ලෙස සළකා තමයි මෙම ආරාධනාව කළේ. මෙම නාට්‍ය උළෙල තුළ නාට්‍ය රඟ දක්වන එක් පරිශ්‍රයක් ලෙසත් අපේ ජංගම රඟහල භාවිත කිරීමට නියමිතව තියෙනවා.

එහිදී ඉන්දියාවේ නාට්‍ය කණ්ඩායම් පහක් සහ ප්‍රංශයේ ෆුට්ස්බර්න් නාට්‍ය කණ්ඩායමත් අපේ රඟහලේ නාට්‍ය රඟදක්වන්න නියමිතයි. එය ජනකරළිය නාට්‍ය කණ්ඩායම වගේම ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රය ලද විශේෂ අවස්ථාවක් ලෙස මම දකිනවා.

 මෙහිදී ජනකරළිය කණ්ඩායම රඟදක්වන්නේ ඔබ විසින් නව නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කළ ‘හුනුවටයේ කතාව’. මෙම නිර්මාණයෙත් යම් වෙනසක් තියෙනවා නේද?

හෙන්රි ජයසේනයන්ගේ නිෂ්පාදනයට වඩා වෙනස් ආකාරයකට මම මේ නව නිෂ්පාදනය නිර්මාණය කළා. ඒ අපේ ජංගම රඟහලට ගැළපෙන ආකාරයටයි. සාමාන්‍ය රඟහලකදී ප්‍රේක්ෂකයන් සිටින්නේ වේදිකාවට ඉදිරියෙන් පමණයි. නමුත් අපේ ජංගම රඟහලේ සිව් දිසාවකින් ප්‍රේක්ෂකයන් සිටිනවා.

හුණුවටය

ඒ නිසා එයට ගැළපෙන විශේෂ රංග විධි ක්‍රමවලට අනුවයි මෙය නිර්මාණය කෙරුණේ. ඒ වගේම මෙම නාට්‍ය අන්තර්ජාතික නාට්‍ය උළෙල සඳහා තෝරා ගත්තේ එම උළෙල සංවිධායකයන් විසින්මයි.

ඊට අමතරව කේරළ සංචාරයට පෙර ලබන 29 වැනිදා මෙහි විශේෂ දර්ශනයක් රාජගිරිය ජනාධිපති විද්‍යාලයීය රංග ශාලාවේදී රංගගත කරන්නත් සූදානම්.

මෙම අවස්ථාවට සහභාගි වන ජනකරළිය නාට්‍ය කණ්ඩායම ගැනත් කියමු?

ජනකරළිය නාට්‍ය කණ්ඩායම නියෝජනය කරමින් දිලීප් රෝහණ, රොනිකා චාමලී, රාසයියා ලෝහනාදන්, සෙල්වරාජ් ලීලාවතී, අජන්ත ශාන්තකුමාර්, සතිස් සුරේන්ද්‍ර, ඉනෝකා ලංකාපුර, අරෝෂා තරංගනී, ත්‍යාගරාජා ශිවනේසන්, පාලිත අබේලාල්, දේව්රාන් ශ්‍රී ලිවේරා, සරත් බානගල, අමිල දිනේෂ්, විජිත හෙට්ටිගේ, ජනිත දිසානායක, අලගුරාජ් යශෝප්‍රසාද්, දමින්ද මෙන්ඩිස්, කුමරේෂන් මහින්දන්, තිළිණි නිමේෂා, මදීරා උදිෂානි, සමන්ලතා දිසානායක, දිනූෂ අලහකෝන්, චන්න ප්‍රදීප් හේරත්, ළමා නළු නිපුන් බණ්ඩාර යන ශිල්පීන් මේ අවස්ථාවට සහභාගි වෙනවා.

 මෙවැනි විදෙස් අත්දැකීම්වල වැදගත්කම වගේම එහිදී අපේ රටට තිබෙන ස්ථානය ගැනත් සටහනක් තබමු?

නාට්‍ය කලාව ගැන බොහෝ උදාහරණ ගන්න පුළුවන් රටක් තමයි ඉන්දියාව. මේ වන විට ඉන්දියාවේ නාට්‍ය උළෙල කිහිපයක්ම වගේම එහි විවිධ ප්‍රාන්ත වෙත ගොස් නාට්‍ය රඟ දක්වන්නත් අවස්ථාව ලැබුණා.

ජනකරළිය නාට්‍ය කණ්ඩායමට මේ වන විට වසර දහයක් පුරා පැමිණි ගමනේදී එවැනි අත්දැකීම් රැසක් ලබාගන්න හැකි වුණා. ඒ සියලු අත්දැකීම් අනුව අපේ නාට්‍ය කලාව ඉහළ තැනක තියෙන බව සඳහන් කළ යුතුයි.

ඇත්තටම අපි එය ඔප්පු කරලා තියෙනවා. 2010 වසරේ පැවැති ෆ්‍රීඩම් ටු ක්‍රියේට් නාට්‍ය තරඟාවලියේදී ආසියා පැසිෆික් කලාපීය රටවල හොඳම සංස්කෘතික කණ්ඩායම් දහය අතර අපේ ජනකරළිය නාට්‍ය කණ්ඩායමත් තෝරා ගැනුණා.

ඒ වගේම අපේ රටේ දක්ෂ තරුණ නාට්‍යකරුවන් සිටිනවා වගේම ඔවුන්ගේ නිර්මාණ ඉහළ මට්ටමක පවතින බවත් පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා. ඔවුන්ගේ එම හැකියාවන් තව තවත් ඔප මටටම් කර ගැනීමට අවස්ථාවන් සකසාදීමයි අපේ වගකීම.