|
||||
එන්නේ උන් හෙළූ ප්‍රාණ වායුවයි
යුද පිටියේ සටන් වැදි රණවිරුවන් මාතෘ භූමිය ඉදිරියේ තම පණ දෙවැනි කොට සළකන්නේය. එවැනි අභීත රණවිරුවන් කුමන බාධක ඉදිරියේ වුවද නොසැළෙන්නාක් සේම කිසිවෙකු හමුවේ හිස නොනමන්නෝ ද වෙති. එසේම ජීවිතයේ අවසන් ලේ බිඳුව තෙක් සටන් වදින ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ද මාතෘ භූමියේ නිදහසයි.
“මාණික්‍ය සේ පොළො ගැබේ නිදාන වී රට වෙනුවෙන් දිවි පරදුවට තබනා එවැනි අභීත රණවිරුවන් පිළිබඳ මෙලෙස ගැයුවේ හෙළයේ මහා ගාන්ධර්වයා වන පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසිනි. මේ අපූරු පදවැල එදා මෙදා තුර මවුබිම වෙනුවෙන් සටන්වැදි ඒ රණවිරුවන්ගේ හදපත්වලට තවත් ශක්තියක් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මානුෂික මෙහෙයුමේදී දායකත්වය සපයන ලද ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මියගිය, ආබාධිත තත්ත්වයට පත්වූ හා දැනට සේවයේ යෙදී සිටින මෙන්ම විශ්‍රාම ගොස් සිටින නිලධාරීන්ට හා සෙසු නිළයන්ට රණශූර පදක්කම් පිරිනැමීමේ උළෙලේදී එය යළිත් ඉස්මතු විය. පසුගිය 04 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහතා විසින් පණ්ඩිත් අමරදේවයන් හට සමරු තිළිණයක් පුද කළේ වැඳ නමස්කර කිරීමෙන් අනතුරුවය. රට වෙනුවෙන් සටන් කළ අභීත රණවිරුවෙකු සිය නිල තේජස ද සමඟින් මෙලෙස ආචාර දැක්වූයේ සටන්බිමේ ඉදිරියට යාමට මෙම ගාන්ධර්වයාගේ ඒ ගැයුම තව තවත් ශක්තියක් වූ බැවිනි. මේ අපූරු සිදුවීම ඒ සඳහා වූ හොඳම සාක්ෂියයි.
|
||||