වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ අපේ නිලේෂා දුව මාලතී

ඒ අපේ නිලේෂා දුව මාලතී

අවසාන කොටස

සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ඔහුගේ 53 වැනි චිත්‍රපටය වන ‘දෝණි’ චිත්‍රපටයෙහි තිර පිටපත ඇසුරින් සරසවිය පාඨකයන් වෙනුවෙන් විශේෂයෙන් ලියැවුණු ලද මේ කතාව අද අවසන් වෙයි.

මම සාලයෙහි වාඩි වී ස්ටූලය මත වූ සඟරාවක් අතට ගත්තෙමි. එහි පිටු එකින් එක පෙරළුව ද මගේ සිතට දැනුණේ නොසන්සුන් බවකි. සේනක නිවාඩු දමා කොහේ ගියේදැයි මම කල්පනා කළෙමි.

‘මැඩම් අද මිස්ටර් රන්දෙණිය නෑ. හාෆ්ඩේ දාලා ගියා බබාට සනීප නෑ කියලා’

පිළිගැනීමේ නිලධාරිනියගේ වදන් කනට යවුල් අනින්නා සේය. ඔහු හා විවාහ වී ගෙවුණු වසර කිහිපය ගතවූයේ කිසිදු ගැටලුවකින් තොරවය. ඒ සිතුවිලි දාමයට ඉඩ නොතබාම සේනක පැමිණියේය.

‘මොකද ඔයා අද පරක්කු වෙලා. කොහේද ගියේ?’ මා සේනකගෙන් විමසුවේ කිසිවක් සිදු නොවුණු විලසය.

‘බෝඩ් මිටින් එක ඉවර වෙනකොට දෙක පහුවෙලා’

ප්‍රමාද වී පැමිණි පසුව තෙපළන සුපුරුදු වදන සේනක අද ද තෙපළයි. පාසල් වැඩ කරමින් සිටි සිඟිති හා රුවන් නැඟිට කාමරයට ගියේ එකිනෙකාට මුමුණමිනි.

‘ඒගොල්ලො දන්නවා ඔයා බොරු කිව්වා කියලා’

මා පැවසුවේ ඔහුගේ බොරුව අපට අමුත්තක් නොවුණු බැවිනි.

‘දර්ශී කිව්වෙ ඔයා හාෆ්ඩේ දාලා ළමයාට සනීප නෑ කියලා ගියා කියලා’

මම සේනකගේ නෙත් දෙසම බලාගෙන පැවසීමි.

‘සමහර දේවල් ළමයින් ඉස්සරහ කියන්න බැරි නිසා මම ඔයාට බොරු කිව්වේ’

මම සුරත දිගු කොට ඔහුගේ මුව වැසීමි.

‘එපා සේනක මට ඔයා විශ්වාසයි’

සේනක පිළිබඳ මනා අවබෝධයකින් පසු වූ මා කිව්වේ තවත් කරදර ඔහුට නොදිය යුතු හෙයිනි. සේනක පිළිබඳ මගේ සිතෙහි පැන නැගුණු සැකය දුරු විය. එනමුදු නැවත සේනක පිළිබඳ සැකය මා සිතෙහි පිළිසිඳ ගත්තේ අහම්බයෙනි.

‘පොලිසියෙන් ඇවිල්ලා කතා කරලා කියන කොට තමයි මම දැනගත්තේ මෙයාලා ගෙදර නොසිටියා කියලා. ලැජ්ජාවේ බැරුව ගියා සේනක’

සේනක නිවෙසට නොපැමිණි රැයෙහි සිඟිති දියණිය හා රුවන් පුතු කළ හපන්කම පිළිබඳ මා සිටියේ ඔහුට පවසමිනි. රුවන් පුතු හා සිඟිති දියණිය සිටියේ බිම බලා ගත් ගමන්ය.

‘කොහෙද ගියේ’

තරහ ගිය පසුව සේනකගේ මුවඟට නැගෙන ගැඹුරු හඬ මුළු නිවෙස පුරාම ගිගුම් දුන්නේය.

‘අපි කොහේවත් ගියේ නෑ’

රුවන් පුතු පැවසුවේ නිශ්ශබ්දව සිටීම සේනකගේ කේන්තිය වැඩි දියුණු කිරීමට හේතුªවන බව දැන සිටි නිසා විය යුතුය.

‘වැරැද්දක් කරලා තව බොරු කියනවා නේද’

සේනක පැවසූයේ රුවන් පුතුගේ අතින් ඇද තමා දෙසට වේගයෙන් අදිමිනි. රුවන් පුතුට පහරක් ගසයි දෝ යන බියක් මසිත පිළිසිඳ ගත් බැවින් මම ඔවුන් අසලට ගියෙමි.

‘ආ . . . බොරු කියනවා නේද?’

සේනකට කිසිදු දවසක නොවූ අයුරින් තරහා ගොසිනි. ඔහු පුතුව සොලවා අත හැරියේය.

‘මම පුංචි හින්දා බොරු කියනවා. තාත්තා බොරු කියන්නේ ලොකු හින්දද?’

රුවන් පුතු විමසුවේ සෙනක ගෙන්ය.

‘අම්මේ, තාත්තා නුවර සර්කිට් යනවා කියලා කිව්වට එහේ ගියේ නෑ. මම දැක්ක ඊයේ රෑ තාත්තා තවත් ඇන්ටි කෙනෙක් එක්ක කාර් එකේ යනවා’

රුවන් පුතු මා අසලට පැමිණියේ පෙරදා රාත්‍රියෙහි වූ ඒ සිදුවීම පිළිබඳ කියමිනි. මේ වන තෙක් පුතු හෝ දියණිය ඒ පිළිබඳ කිසිවක් නොකීවේ මන්දැයි මම නොදත්තෙමි. මම සේනකගේ උවන දෙස බැලීමි. ඔහු සිටියේ තුෂ්නිම්භූතවය.

නිවෙසෙහි වූ නිශ්ශබ්දතාවය දරාගත නොහැකි තරම්ය. යහන මත මුලින්තලා වූ මගේ නෙතින් කඩා පැන්නේ කඳුළු පොකුරකි. සේනක පිළිබඳ විශ්වාසවන්ත වූ මා සිත නැවත වරක් කීරි ගැසිනි. පාදයෙන් හටගත් වේදනාව පිට වූයේ හිස් මුදුනෙනි. එළිවනතුරු මා සිටියේ නින්දත් නොනින්දත් අතරය.

‘මාලතී’

සේනකගේ ආදරණීය ස්වරය ඇසුණේ මගේ කන අසලිනි. ඔහුගේ සුසුම් පොදහි උණුසුම මගේ සිත තව තවත් ඔත්පළ කළේය. ඔහු වැරැදිකරුවකු කරන සාධක රාශියක් මගේ සිතෙහි පෙළ ගැසිණි.

ඔහු ලක ලැහැස්ති වන්නේ කාර්යාලයට යෑමටය. මම ඉක්මන් වීමි.

‘මට ඔයාගෙන් යමක් ඉල්ලන්න තිබෙනවා’

සේනක මගේ උවන දෙස බැලුවේ විමතියෙනි.

‘ඔයා අපේ දරුවන්ගේ ඔළුවේ අත තියලා දිවුරන්න ඕනෑ අද ඉඳලා ඔයා මේ දරුවන්ගේ තාත්තා විතරයි කියලා’

යමක් කියන්නට තතනන සේනකව ගණනකට නොගත් මම සිඟිතිට හා රුවන් පුතුට කතා කළෙමි.

‘මාලතී මම කියන එක පොඩ්ඩක් අහන්නකෝ’

සිඟිති දියණිය හා රුවන් පුතු අප අසලය. අත ඇති බෑගය ඉවත හළ සේනක දරු දෙදෙනාගේ හිස මත අත තැබුවේ ඔවුන් දෙදෙනා තුරුලු කර ගනිමිනි.

සියල්ල එසේ විසඳුන ද මගේ සිතෙහි ඇති වූ සැකයට අත්තටු ලබමින් පියඹා යන්නට යත්න දරන්නේ මටම පාලනය කර ගැනීමට නොහැකිවය. එනමුදු මම මගේ සිතටම තරවටු කර ගතිමි. ගැහැනියකගේ සිතට සැකයක සේයාවක් දැනුණු විටෙක එය පහසුවෙන් හැර නොයයි. ඒ පීඩාකාරී බවෙන් මම ද පීඩා වින්ෙඳමි. සිතිවිලිවල සිර වී සිටි මම යළිත් පියවි ලොවට පිවිසියේ ත්‍රීවිලරයේ රියැදුරු ගැසූ නලා හඬිනි. වරින් වර සිතුවිලි අතර සිර වී තිබෙන සිත සන්සුන් කර ගත්තා පමණි. මගේ නෙත ගැටුණේ සේනකගේ රථයයි. එහි සිටි ගැහැනිය කවුද? මගේ හිත මගෙන්ම ප්‍රශ්න කළෙහිය. මම ත්‍රීවිලරයෙන් බැස්සෙමි. රෝහලේ රථ ගාලෙහි ඔහුගේ රථය නතර විය. මම රෝහල ඇතුළට ගියේ පිස්සියක මෙනි. රෝගීන් සිටිනා කාමර එකින් එකට එබී බැලූ මම ඊළඟ කාමරයට එබුණෙමි.

‘කරුණාකරලා කතා කරනකං ඉන්න’

වෛද්‍යවරයා පැවසුවේ මගේ කලබලකාරී උවන දුටු බැවිණි. වෛද්‍යවරයාගේ වදනත් සමඟ සේනක හා ඒ ගැහැනිය මා දෙස බැලූහ. මට උන් සිටි තැන් අමතක විය. මම ආපසු හැරුණෙමි. සියල්ල දකින්නට මගේ නෙත පව් කළෙහිය. නිවෙසට ගිය මම දරු දෙදෙනා ද කැටුව පැමිණියේ ඔළුව හැරුණ අත යන්නටය. අප ආ මග සේනක අවහිර කළේ සියලු සත්‍ය කියන්නට සූදානම් වෙමිනි.

‘ඒ අපේ නිලේෂා දූ මාලතී’

‘බොරු කියන්න එපා සේනක’

මිය ගිය නිලේෂා තවමත් ජීවත් වෙතැයි අදහන්නට මම මැළිවීමි. එය සත්‍යයකි. සේනක මා රැගෙන ගියේ ඈ අසලටය.

‘මෙයාගේ වයස තරමට මොළය වැඩිලා නෑ මාලතී’

සේනකගේ උවනෙහි වූ කැලැඹිල්ල තේරුම් ගැනීමට මට කිසිදු කාරණයක් අවශ්‍ය නොවේ. මා දියණියගේ දෑත අල්ලා ගත්තේ නැවත ඇය තනි කිරීමට නොවේ. ඇය මා ප්‍රතික්ෂේප කරන්නීය. අපි සිව් දෙනාම රථයට ගොඩ වීමු. අප රැගත් රථය පිවිසියේ නිවාස සංකීර්ණයටය.

නිවාස සංකීර්ණයට පැමිණි දෝණිට කුමක් සිදුවීද? ඒ පිළිබඳ දැනගැනීමට නම් ඔබ දෝණි චිත්‍රපටය නැරැඹිය යුතුය.